2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

කෙල්ලක් එක පාරටම අැවිත් මාව ඉම්බා

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 170

අම්මා කෙනෙක් 
හනි හනිකට අැවිත් මට දණ ගහලා වැන්දා

 
ඔන්න ඉතින් අපි පොරොන්දු වුණා වගේම මේ පාරත් වේදිකාවේ ගී ගයන ගායකයෙක්ට Top story විශේෂාංගයට එකතු කරගත්තා. ඒ තමයි ප්‍රසංග වේදිකාවේ නැතිවම බැරි කලාකරුවෙක් වූ භාචි සූසෑන්.
 
එකපාරක් මම සනිධප සංගීත කණ්ඩායමත් එක්ක කොරියාවේ ප්‍රසංගයකට සහභාගි වුණා. ඒ එළිමහන් ප්‍රසංගයට ලොකු ජනකායක් ඇවිත් හිටියා. ඔන්න ඉතින් මම පළවැනි සින්දුවත් කිව්වා. කොරියාව කියන්නෙ හරි විනෝදකාමී ශ්‍රී ලාංකික තරුණ පිරිසක් රැකියා කරන රටක්. ඉතින් ඔන්න මම දෙවැනි සින්දුවත් කියන්න පටන් ගත්තා. ස්ටේජ් එකේදි මම නටනවා. ඉස්සරහ ඉන්න තරුණ අයට මගේ අත වද්ද වද්ද ගියා. එක පිරිමි ළමයෙක් මගේ අත හයියෙන් අල්ලලා මාව ඇදලා ගත්තා. මම එකපාරටම බය වුණා. මගේ අනිත් අතේ මයික් එක. හැබැයි විශ්වාස කරන්න, මාව ඒගොල්ලො ටික බිමට වැට්ටුවේ නෑ. ඒ අය මාව එයාලගේ අත් උඩ තියාගෙන ලොකු රවුමක් අරගෙන ගියා. බෑන්ඩ් එක මියුසික් නැවැත්තුවෙ නෑ. මම සින්දුව නැවැත්තුවෙත් නෑ.
 
මම ඒ සින්දුව ඉවරවෙනකන්ම කිව්වෙ අර අපේ කොල්ලන්ගෙ අත්වල ඉඳලා රවුමට කැරකි කැරකි. මුළු පිට්ටනිය පුරාම ලොකු රවුමක් එදා හැදුණා. සින්දුව ඉවරවෙලා අන්තිමට ඒ සහෝදරයො ටික මාව ස්ටේජ් එක උඩින් තිබ්බා. ඇත්තටම මම ඒ වෙලාවේ හිතුවේ නෑ, මාව එහෙම ඇදලා ගනීවි කියලා. ඇත්තටම එකපාරටම ස්ටේජ් එකෙන් මාව වැටුණාම මම එකපාරටම බය වුණා. ඒත්... කොරියාවේ අපේ අයියලා මල්ලිලා මාව එදා පරිස්සම් කළා. ඒක මට කවදාවත් අමතක වෙන එකක් නෑ.
 
 
කොරියාවෙන් අපි එහෙමනම් ලංකාවට පොඩ්ඩක් එමුකො... මේක භාචිට වෙලා තියෙන්නෙ නුවර ප්‍රසංගයකදි. හැබැයි දැන් ටික කාලයකට කලින්.
 
නුවර ප්‍රසංගයකට සහභාගි වෙච්ච දවසකත් මට අමතක නොවුණු සිදුවීමක් වුණා. මම ස්ටේජ් එකේ නටනවා.. සින්දු කියද්දි එක ලස්සන ගෑනු ළමයෙක් එකපාරටම ස්ටේජ් එකට නැඟලා මාව බදාගෙන ඉම්බා. මේක පිටරටකදි සිදුවුණානම් ඒක සාමාන්‍ය සිදුවීමක් වෙනවා. හැබැයි නුවර ප්‍රසංගය බලන්න ආපු අයට ඒක සාමාන්‍ය සිදුවීමක් වුණේ නෑ. ලංකාවේ මිනිස්සු හිතන පතන විදිහ වෙනස්නෙ. ඉතින් අන්තිමට සින්දු කියාගන්න බැරිතරම් ලොකු කලබගෑනියක් වුණා. ප්‍රසංගය බලන්න ආපු අයට ඒක දරාගන්න බැරි වුණා. මම බය වුණේ තව මේක නිසා ස්ටේජ් එකට ගල් ගහලා විනාශ කරයි කියලා. හැබැයි හොඳ වෙලාවට එහෙම දෙයක් නම් වුණේ නෑ. ලංකාවේ එළිමහන් ප්‍රසංග බලන්න එන සමහරක් එන්නෙ කටගොන්නක් බීගෙන වලියක් දාගන්නම බලාගෙන. ඒ අය සංගීතය රසවිඳිනවාට වඩා එන්නෙ පරණ කෝන්තර පිරිමහගන්න, රණ්ඩුවෙන්න එහෙම බලාගෙනනෙ. එදත් මම ගොඩක් බය වුණා. කොහොම හරි සංවිධායක මණ්ඩලය මැදිහත්වෙලා ඒක සමථයකට පත් කළා. 
 
 
භාචිගේ අවසාන මොහොත මාගේ කියන සින්දුව එකපාරටම ජනප්‍රිය වුණානෙ. ඉතින් අහලා බලමුද ඒ සින්දුව නිසා භාචිට වෙච්ච අමතක නොවන සිදුවීමක් ගැනත්..
 
අවසාන මොහොත මාගේ කියන ගීතය මම කළේ හින්දි තනුවකට සිංහල වචන දාලා. මම ගායනා කළොත් කොහොම වෙයිද කියලා කරපු අත්දහාබැලීමක් තමයි ඕක. හැබැයි මට හිතන්නවත් බැරි විදිහට ඒ ගීතය ජනප්‍රිය වුණා. ඒක මම දන්නෙවත් නැතිව ජනප්‍රිය වුණ ගීතයක්. දවසක් ප්‍රසංගයකට මම ගියපු වෙලාවක මගේ අවස්ථාව එනකන් මම ස්ටේජ් එනික් පහළට වෙලා බලාගෙන හිටියා. එකපාරටම සෙනඟ අතරින් තෙරපි තෙරපි බොහොම අමාරුවෙන් මම ළඟට ආපු එක අම්මා කෙනෙක් එකපාරටම මට වැන්දා. ඇත්තටම මට හිතාගන්නවත් බැරි වුණා. මට ඒක දරාගන්න බැරි වුණා.
 
අනේ අම්මා... එහෙම කරන්න එපා.. කියලා අම්මගේ උරහිසින් අල්ලලා නැඟිට්ටවද්දි ඒ අම්මගේ කම්මුල් පුරා කඳුළු බේරුණා..
අනේ පුතේ... මම පුතාගේ කකුල් දෙක අල්ලලා වැන්ඳට පව් නෑ.. ඔයාගේ සින්දුව අහලා මගේ පුතා මට ලැබුණා පුතේ... කියලා කිව්වා.
 
ඒ අම්මගේ බාල පුතා දඩබ්බරයි. ඒ දවස්වල හොඳටම බීලා ඇවිත් මේ අම්මට වද දෙනවලු. සමහරදාට අම්මට ගහනවත් එක්කලු. මේ පුතා නිසා අම්මා ඉඳලා තියෙන්නෙ කලකිරීමෙන්. හැබැයි අම්මා පුතාට හරි ආදරෙයි. දවසක් සිහියෙන් ඉඳිද්දි අහම්බෙන් මේ පුතාට මගේ සින්දුව අහන්න ලැබිලා. එදා ඉඳන් සැරෙන් සැරේ මේ පුතා ඒ සින්දුව අහලා එකපාරටම කුස්සියට ගිහින් අම්මට වැඳලා තියෙනවා. එදා ඉඳන් පුතා කිසිමදාක අම්මට වද දීලත් නෑ. කිසිම දෙයකට ඇබ්බැහිවෙලත් නෑ. අන්තිමට මම ප්‍රසංගයේ සින්දුව කියලා ඉවර වුණාට පස්සෙ අම්මයි අම්මගේ වැඩිමල් පුතයි මගේ ළඟට ඇවිත් මගෙන් ඉල්ලීමක් කළා. ඒ.. තේ එකක් බොන්න ගෙදර එන්න කියලයි. ඒ ඉල්ලීම පිළිගෙන මම ඒ අම්මගේ ගෙදර ගියා. එදා ඒ ගෙදර කට්ටිය මට කන්න දීලා හොඳට සැලකුවා. මම ඒ ගෙදරින් එළියට බහිද්දි අම්මගේ බාල පුතා මගේ කකුල් දෙක අල්ලලා වැන්දා. ඒ සිදුවීමත් මට කවදාවත් මගේ ජීවිතේ අමතක වෙන්නෙ නෑ.
 
( තවත් අත්දැකීමක් අරන් ඊළඟ ඉරිදට එන්නම් )
 
► Text – Jayamali / Pic - Internet