දුෂ්‍යන්ත්... ඔමරිලතා මියුසික් වීඩියෝව ළඟදී අපි දැක්කා ඔමරිලතා සින්දුව ටිකක් පරණයි... එහෙම නේද...?
ඔව්... ඔමරිලතා සින්දුව පටන්ගන්නේ නම් අවුරුදු දෙකකට විතර උඩදී ඩුබායිවලදී. ඒ කාලේදී මම ඩුබායිවලට මගේ වෙන මියුසික් වීඩියෝවක් රූගත කිරීම් කරන්න ගියා. ඒ ගමනේදී මට ලංකාවේ තරුණයෝ සෙට් එකක් මුණගැහුණා. ඒ අතරින් ශාමේන්ද්‍ර ජෝසප් කියලා තරුණයෙකුත් හිටියා. ඒ කණ්ඩයාම මට ගොඩාක් උදව් කළා. අපි දවස් හතක් විතර ඩුබායි හිටියා. ශාමේන්ද්‍රටත් ඩුබායිවල බෑන්ඩ් එකක් තිබුණා. එයා කරපු මියුසික් වගයක් මට පෙන්නුවා. ඒ අතරෙන් දුෂ්‍යන්ත් කැමති එකක් තියනවානම් ඔයා අරන් කරන්න කිව්වා.
ඒ අතරේද ඔමරිලතා තිබ්බේ...?
ඔව්නේ... “ඔමරිලතා* කියන නම කිව්වම මට “මරු* කියලා කියවුණා. ඒත් ඒක බයිලා ටයිප් සින්දුවක්. ඒ වෙද්දී මට හොඳට රහට, හැඩවෙන, නැටවෙන සින්දුවක් ඕනවෙලා තිබුණා. ඒ නිසා මම ශාමේන්ද්‍රගෙන් ඔමරිලතා සින්දුව ඉල්ලා ගත්තා. ශාමේන්ද්‍රටත් විශ්වාසයක් තිබ්බේ නෑ ඔමරිලතාට මම සාධාරණයක් කරාවි කියලා. ඒ නිසා ශමේන්ද්‍ර “සින්දුව කරලා එළියට දාන්න කලින් පොඩ්ඩක් පෙන්නන්න. කියලා මගෙන් ඉල්ලීමක් කළා. ඉතින් ඔමරිලතාවත් අරගෙන මම ඩුබායි ඉඳලා ලංකාවට ආවා...
ඊට පස්සේ දුෂ්‍යන්ත් ශමේන්ද්‍රට ඔමරිලතාව පෙන්නුවද...?
ඔව්නේ... වචනේ නම් වචනේ තමයි. හැබැයි ඒ වෙනකොට මට ඔමරිලතාගේ රහ වැටිලා ඉවරයි. මාස දෙකක් ගියාට පස්සේ මම ඔමරිලතා සින්දුව හැදුවා. ශාමේන්ද්‍රටත් යැව්වා. ඌට මාර සතුටුයි. බයිලා රහක් සින්දුවේ තියෙනවා කියලයි ශාමේන්ද්‍ර කිව්වේ. ඒ වෙනකොට සින්දුවක් කරන්න ආසාව වීඩියෝවක් කරන්න එහෙම ලොකු ආසාවක් තිබුණේ නෑ.
ඇයි ඒ...?
අද ලංකාවේ යන රුල්ලක් එක්ක මට ආස නැතිවුණා. මේ මියුසික්වල සංස්කෘතියි, මේ කර්මාන්තයේ තියෙන සංස්කෘතියක් එක්ක මට කලකිරීමක් තිබුණා. මේ දවස්වල ලංකාව ලොකු පටලැවිල්ලකනේ ඉන්නේ. ඒ නිසා මියුසික් වීඩියෝවක් කරන්න මට ලොකු ආසාවක් තිබුණේ නෑ. හැබැයි මම සින්දුව කරලා ඔමරිලතා හිට් කළා. ඒක බයිලා වර්ෂන් එකක්.
එතකොට ඔමරිලතා වීඩියෝව කරන්න හිතුණේ පියුමිගේ ඔමරිලතා දැක්කට පස්සෙද...?
නෑ... ඊට කලින් ඉඳන්ම මට ඒ අයිඩියාඑක ආවා. ඒ නිසා ටික කාලයකට පස්සේ ඔමරිලතා “Remake* එකක් කරන්න මගේ හිතේ අදහසක් තිබුණා. ඒ සින්දුවට ඒ දවස්වල පූජා උමාශංකර් හරි ආස වුණා... පූජා මේ සින්දුව අහලා “අනේ දුෂා... මේක කාටවත් කරන්න බෑ... මාත් එක්ක කරන්න... කියලා කිව්වා. හැබැයි ඉතින් පූජාගේ පෞද්ගලික ජීවිතේ වෙනස්වීම් එක්ක ඒක කල්ගැහුණා. ඒත් එක්කම ඔමරිලතා පස්ස ගැහුණා.
එතකොට පියුමි ඔමරිලතා වුණේ කොහොමද...?
එක දවසක් මම රෑ මගේ යාළුවෝ කීපදෙනෙක් එක්ක වැඩක් ඉවරවෙලා රෑවෙලා එද්දී සිනමන් ලේක් සයිඩ් එකේ හොටෙල් එකක Breakfast එක රෑ දොළහේ ඉඳන් උදේ හය වෙනකන් තියෙන තැනකින් කෑම කෑවා. එතන උණු උණුවේ රෝස් පාන් තියෙනවා. හරි රස කිරිබත්, කොත්තු තියනවා. අපි කෑවා කෑවා අපිට එහා මේසේ තව පිරිමි ළමයි ගැහැනු ළමයි එහෙම ඇවිත් කෑවා. ඒ අතරේ හුරුපුරුදු මුහුණකුත් තිබ්බා. හැබැයි මම කවුද කියලා දැනන් හිටියේ නෑ.
ඒ පියුමිද...?
ඔව්... එයාලා අපි එක්ක හිනා වුණා. අපිත් හිනා වුණා... ඒ අතරේ හිටපු පිරිමි ළමයි දෙන්නෙකුයි, ගැහැනු ළමයි දෙන්නෙකුයි අපි ගාවට ඇවිත් සෙල්ෆියක් ගමුද කියලා මගෙන් ඇහුවා. මාත් ගත්තා. ඒක සාමාන්‍ය දෙයක්නේ... ඒක එතනින් ඉවරයි. හැබැයි අපි කෑම කළා ගෙදර යන ගමන් මට යාළුවෙක් කෝල් කරලා “ඒ මචං... උඹ පියුම් හංසමාලි එක්ක දැන් ෆොටෝ එකක් ගත්තද ඇහුවා. ඇත්තටම මම පියුමිගේ මූණ හුරුපුරුදු වුණාට පියුමි හංසමාලී කියන නම දැනන් හිටියේ නෑ. යාළුවා මට බැණලා ෆෝන්එක තිබ්බා.
ඒ කියන්නේ දුෂ්‍යන්ත් එක්ක ගත්තු ෆොටෝඑක පියුමි මුහුණු පොතට දාලා?
ඔව්නේ... මම පියුමිගේ FB එකට ගිහින් බලද්දී දවස් දෙක තුනකදී පියුමිගේ ඒ ෆොටෝ එකට ලයික් 5000ක් තිබ්බා. එතකොට මට හිතුණ දෙයක් තමයි පියුමිට මොකක්දෝ ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා මම ඒ ෆොටෝ එක අරගෙන මගේ FB එකේ දැම්මා. දවස් තුනහතරක් යද්දී ඒ ෆොටෝ එකට ලයික් 40,000ක් ආවා. ඒ වෙලාවේ මම උඩගියා. ඒ වෙලාවේ තමයි මම හොයලා බැලුවේ කවුද මේ පියුමි හංසමාලී කියලා. ඒ වෙලාවේ තමයි මම දැනගත්තේ පියුමි බැණුම් එහෙමත් අහගෙන කොල්ලන්ව චූන් කරන කෙල්ලෙක් කියලා. මිනිස්සු කැමති වුණාට ආන්දෝලනාත්මක චරිතයක් කියලා මට තේරුණා. බොහෝ දෙනා ඒ ෆොටෝ එකට කැමැත්ත පලකළාට දාලා තිබුණේ අයියේ උඹ බේරිලා හිටපන්... අනේ අපේ දුෂ්‍යන්ත් අයියත් ඉවරයි... මගේ කමෙන්ට් බොහෝ දෙනෙක් පියුමිට බැණලා තිබුණා. කැමැත්ත 40,000ක් තියෙනවා. හැබැයි එයාට බැණලා 1000 කුත් තියෙනවා. මේක මට ලොකු ප්‍රශ්නයක් වුණා.
මුහුණුපොතේ බොහෝ දෙනෙක් ඉන්නේ තමන්ගේ නමින් නෙමෙයිනේ... නේද...?
ඔව්... ඒක ඇත්ත. අපේ FB එකේ වැඩිදෙනෙක් කාඩ්බෝඩ් වීරයෝ. අඩුම තරමේ තමන්ගේ ඇත්ත මුහුණත් දාන්නේ නැති, තමන්ගේ නමවත් හරියට දාන්නේ නැතිව ව්‍යාජ නම්වලින් FB ඉඳලා අනුන්ගේ දේවල් හොයන ඒ දේවල්වලට ගරහන කොන්ද පණ නැති කාඩ්බෝඩ් වීරයෝ තමයි FB එකේ වැඩිහරියක් ඉන්නේ... මේ කොන්ද පණ නැති එවුන්ගේ වැඩේම අනිත් අයට ගරහන එකයි. ඒ නිසා මට ඕන වුණා පියුමි එක්ක වෙනසක් කරන්න.
පියුමි එක්ක ඒ වෙනස කරන්න... ස්ටෙෆ්නි දුෂ්‍යන්තට කැමැත්ත දුන්නාද...?
ස්ටෙෆ්නි කියන්නේ වෙනස් කෙනෙක්. සමහර විට මේ වගේ දෙයක් කරන්න වෙන කෙනෙක්ට එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉඩ දෙන්නෙත් නැතිවෙන්න තිබුණා. හැබැයි ස්ටෙෆ්නි කියන්නේ කාන්තා හිංසනයට එරෙහිව වැඩකරන කෙනෙක්. හිංසනයට පත්වුණ කාන්තාවන්ට අධ්‍යාපනය දීමට, දිරිගැන්වීමට, බලගැන්වීමට ක්‍රියාකරන කෙනෙක්. ඒ වෙනුවෙන් දැන් අවුරුදු ගාණකට කලින් “ස්ටෙෆ්නි සිරිවර්ධන පදනම ආරම්භ කළා. ඒ පදනමින් හිංසාවට පත්වුණු කාන්තාවන් වෙනුවෙන් බොහෝ දේවල් කළා. ඒ නිසා මේ වගේ හිංසනයට පත්වුණු කාන්තාවන්ට පිහිට වන පදනමකට යම්කිසි ආධාරයක් ලබාදෙන්න පුළුවන් යම්කිසි දෙයක් පියුමි එක්ක එකතු වෙලා කරන්න මට ඕනවුණා. ඒකට ස්ටෙෆ්නි මට උපරිම උදවු කළා.
පියුමිත් ඒකට කැමති වුණා...?
ඔව්... මගේ ඔමරිලතා කියන සින්දුවේ ඔමරිලතා පියුමි හොඳටම ගැලපෙනවා. හැමෝටම ඕනේ පියුමි එක්ක ෆොටෝ ගන්න. හැබැයි FB එකේ Comment දාන එක්කෙනෙක්වත් පියුමිට බය නෑ. එයා දැක්කම අර Comment දාන බොහෝ දෙනා එන්නේ පියුමි එක්ක සෙල්ෆි ගන්නයි. “මගේ මැණික දුටු කඹරයා පැනලා ගියාලු කියලා තියෙනවනේ. FB එකේ ඉන්න හුගක්අය කඹරගොයි. ඔය කවුරුත් පියුමි දැක්කම බණින්නේ නෑ. ඒ නිසා කොච්චර දුරට ඔමරිලතාට පියුමිය ගැලපෙනවා ද කියලා මම තේරැම් ගත්තා. ඒ නිසා මම පියුමිව මේකට ගත්තා. පියුමිව ගත්තාම මිනිස්සු මේක බලන්න ආසයි. මේකට බණින්නත් ආසයි කියලා මම දැනන් හිටියා.
හිතපු තරම් ජනප්‍රිය වුණාද...?
මේක යූ ටියුබ් හරහා යම්කිසි මුදලක් මට ගන්න පුළුවන් නම් පියුමි හංසමාලි දාලා ඔමරිලතා කරපු වීඩියෝවෙන් ස්ටෙෆ්නි සිරිවර්ධන පදනමට මුදල් යොමු කරනවා. හැබැයි මම මියුසික් වීඩියෝව දාන්න කලින්ම “ගෑනුන්ට ගරු කරන්න ඉගෙන ගනින්... කාන්තා හිංසනයට එරෙහි වෙමු.* ස්ටෙෆ්නි සිරිවර්ධන පදනම වෙනුවෙන්... කියලා සතියක් විකාශනය කරලයි ඔමරිලතා වීඩියෝව දැම්මේ. මේ වැඩේ මිනිස්සු අතරට යවන්න මම යූ ටියුබ් එකේ දැවැන්ත චරිත තියෙන ගොඩාක් අය එක්ක මම කතා කළා. හැමෝම කැමති වුණා... ඒත් ඒ එක්කෙනෙක්වත් කැමති වුණේ නෑ... පියුමි හංසමාලිගෙන් මේ වැෙඩන් සල්ලි අරගෙන කාන්තා හිංසනයට එරෙහිවෙන ස්ටෙෆ්නි සිරිවර්ධන පදනමට යවන්න ඒ අය කැමති වුණේ නෑ. විශ්වාස කරන්න ඒ කවුරුවත් පියුමි හංසමාලිව යොදන්න කැමති වුණේ නෑ. මිනිස්සු ගරහන පියුමි හංසමාලි අතින් සමාජයට හොඳ වැඩක් කරද්දී ඒකට මිනිස්සු කැමති වුණේ නෑ... අන්තිමේදී මම මගේ චැනල් එකෙන්ම සින්දුව එළියට දැම්මා. අද මට ඒ ගැන දුකක් නෑ. පියුමියි, මායි, ස්ටෙෆ්නියි එකතුවෙලා කළේ හොඳ දෙයක් නිසා මට ඒ ගැන ලොකු දුකක් නෑ...
► Text – Dishani / Pic - Internet