2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

රටවල් 35ක අැවිද්දත් හිත නැවතුණේ පන්සලේ

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 313

එදා සෝමසිරි අලකොලාංග - අද හාරිස්පත්තුවේ සෝමානන්ද හිමි දේශයට කතා කරයි

සතුට ඇත්තේ ගමනේ කෙළවර නොව යන මඟ දෙපසය .... විශ්වය නම් අනන්තයේ සංසාරය නම් මහ පාර දිගේ ජීවිතය දෙවුර දරමින් අපි ඇවිදින්නෙමු. සංසාරය මහා ගංඟාවක් නම් ඒ ගං දෑල ඇත්තේ ජීවිතය හා මරණය මිස අන් කවරක්ද? සියලු හමුවීම් වෙන්වීම් හිමිවීම් අහිමිවීම් අතරේ අපි මේ භව කතර සරන්නෙමු. ඒ සංසාර ආරණ්‍යයේ සත්‍ය වූ සැනසීම මුණගැසෙන්නේ ප්‍රේමය හෝ බන්ධනය තුළ නොව සියල්ල මනස නම් විසල් මන්දිරයේ සියලු ද්වාරයන්ගෙන් පිටමං කර හැරි සඳ නොවේද? සැකෙවින්ම සැනසිල්ල ඇත්තේ සියල්ල අල්ලා ගැනීම තුළ නොව අත්හැරීම තුළ නොවේද? මේ අහස පොළොව අතර පෙනෙන නොපෙනෙන සියලු සංසිද්ධීන්වලට වඩා, නොපෙනෙන නොදකින ඉරණමට වඩා බලවත් වෙන්නේ මනස නොවේද? තමන්ගේ නොහිම් ආත්ම ශක්තිය තරම් තමා අත්හැර නොයෙන තවත් කළණ මිතුරෙකු ඔබට තවත් හමුවීද?
මේ බණ පද අපි අසා උන්නෙමු. එදා නෙත් අයා අපි ඔහුගේ රංගනය දෙස බලා උන්නෙමු. අද අපි මන යොමා උන්වහන්සේගේ මුවින් ශාන්ත ස්වරයෙන් නික්මෙන බණ පද අසා උන්නෙමු. මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන මියැදෙන ලෝකයේ යථාර්ථයට අවසඟව යා හැක්කේ කාටද? එදා ඔහු සෝමසිරි අලකොලාංගේය. අද උන්වහන්සේ හාරිස්පත්තුවේ සෝමානන්ද හාමුදුරුවෝය. එදා ජීවිතය ස්නේහයෙන් අල්ලා ගත් ඔහු අද සැනසිල්ලෙන් සියල්ල අත්හරින්නට ප්‍රයත්න දරන යතිවරයෙකි. වෙනස සුන්දරය. වෙසෙසින්ම සිත නිවන මනාය.

ගාල්ල බද්දේගම පාරේ ටික දුරක් ගිය විට හමුවෙන උළුවිටිකේ ජයසුමනාරාමයට අප ගියේ උන්වහන්සේ දකින්නටය. කතා කරන්නටය.

 ස්වාමීන්වහන්ස ඇයි ඔබ වහන්සේ යතිවරයාණන් වහන්සේ කෙනෙක් ලෙස සිවුරු දරන්න තීරණය කළේ?
බුද්ධ ධර්මයට අනුව මම ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීම තමා හේතුව. ඒ ගැන මට ඊට වඩා කියන්න කිසිම දෙයක් නෑ.

 කලාකරුවෙක් ලෙස ජීවිතය සාමිස ආසාවන් සමඟ ගෙවූ ඔබවහන්සේ නිරාමිස සුව සහිත පැවිදි මාර්ගය තෝරා ගැනීමට වඩා ආසන්න හේතුවකුත් තිබුණද කියන එක අපිට තව ටිකක් තේරුම් කරලා විස්තර කරලා කියන්න පුළුවන්ද?
මම හැමදාමත් කලාව තෝරා ගත්තේ මගේ ජීවිතයේ එක විනෝදාංශයක් විදිහට මිස රැකියාවක් හෝ ජීවනෝපායක් විදිහට නෙවෙයි. මම ඉගෙන ගත්තෙ පේරාදෙණිය සරසවියෙ. මගේ සරසවි ජීවිතයේ පළවැනි ගුරු තමා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර. ඔය 1965 කාලය. මගේ කලා ජීවිතයේ ඊළඟ ගුරු හෙන්රි ජයසේන මහත්මයා. ඒ කාලෙ වේදිකා නාට්‍ය තමා තිබුණෙ. 1965 දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ එලොව ගිහින් මෙලොව ආවා කියන නාට්‍යයේ මම රඟපෑවේ පේරාදෙණිය විශ්වවිද්‍යාල වළේ. හැටපහේ ඉඳන් 2015 වෙනකම් අවුරුදු පනහක් තෝරාබේරාගත් නිර්මාණවල මම රඟපෑවා. චිත්‍රපට 40ක 50ක විතර ටෙලිනාට්‍ය 200 ක විතර අවුරුදු පනහක රංගන ජීවිතයේදී මම රඟපාලා ඇති. නාට්‍ය කලාවේ හසල විශාරදයන් වෙතින් ලද ආභාෂයම තමා මට ටෙලිනාට්‍ය සහ චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න පාර හදලා දුන්නෙත්. රැකියාවට බාධා නොවන ලෙස විනෝදාංශයක් විදිහට මම රඟපෑවට මට ඒ කිසිදෙයකට ගැලවෙන්නට බැරි තරම් ඇල්මක් තිබුණෙ නෑ... කලාකරුවෙක් නළුවෙක් ලෙස දැන් මගේ දිහා බලන්නත් ඒ යටගියාව ගැන කතා කරන්නත් මම දැන් අකමැති දැන් මා ඒ සියල්ලෙන් මිඳුණු බොහෝම නිහඬ ජීවිතයක් ගත කරන නිසා. ජීවිතය ගැන අවබෝධය පුළුල් වෙන්න වෙන්න මම හිතුවා මම නවතින්න ඕන තැන මෙතන කියලා.

 මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර වැනි විද්වතුන් ඇසුරෙ ගෙවූ යුගය අදටත් සුන්දර මතකයක් නොවෙන්න විදිහක් නෑ නේද ස්වාමීන්වහන්ස?
ඒ යුගය ගෙවුණෙම පොත්පත් ඇසුරෙ... ඒ කාලයෙත් මම බොදු පොත්පත් හුඟක් පරිශීලනය කළා. පේරාදෙණිය සරසවි බිම ස්වභාවධර්මය අතිනුත් බොහෝම චමත්කාරයි නිස්කලංකයි... ඒ ශිෂ්‍ය ජීවිතය බොහෝම වටිනාකම් ජීවිතයට එකතු කළා.

 ඔබ වහන්සේ මුලින්ම රැකියාව කළේ කොහෙද?
මුලින්ම මම රැකියාව කළේ බැංකුවක. ඊට පසු මම ගුවන් සේවකයෙකු ලෙස රුකියාව කළා එයාර් සිලෝන් (ශ්‍රී ලංකා ගුවන් සේවය ශ්‍රීලංකන් ගුවන් සේවය බවට පත්වීමට පෙර යුගය) ආයතනයේ.

 ඔබ වහන්සේ භාෂා කිහිපයක්ම කතා කරන්න ලියන්න ඉගෙන ගත්තේ ගුවන් සේවකයෙකු ලෙස රාජකාරි කළ යුගයේදීද?

ඔව්. ඉංග්‍රීසි, දෙමළ, ප්‍රංශ, ජර්මන්, ජපන් භාෂා මම ඉගෙන ගත්තා. ගුවන් සේවකයෙකු ලෙස භාෂා කිහිපයක්ම ඉගෙන ගන්න එක හොඳයි කියලා මම ඒ කාලයේ කල්පනා කළා.

 ස්වාමීන් වහන්ස ඔබවහන්සේට අයිතිව තිබූ ගිහි ජීවිතය තුළ ඔබ වහන්සේ ස්වාමි පුරුෂයෙක්... තාත්තා කෙනෙක්... ගිහි ජීවිතයෙන් පිටමං වුණත් ඒ බැඳීම් සියල්ල හිතෙන් එක්වරම පිටමං කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස?
මට ඉන්නෙ දූවරු තුන් දෙනෙක්. ඒ හැමෝම හොඳට ඉගෙන ගෙන හොඳ රැකියාවන් කරනවා. ගිහි කල මගේ බිරිය රූපලාවන්‍ය ශිල්පිනියක්. මම ඒ කිසි කෙනෙක් එක්වරම අමතක කර ආත්මාර්ථකාමී විදිහට පැවිදි ජීවිතයට ආවෙ නෑ. ඒ හැමදෙනා වෙනුවෙන්ම මම ගිහි භූමිකාව තුළදී සියලු යුතුකම් වගකීම් ඉටු කළා. ජීවිතේ ගැන අවබෝධයක් ලබා ගත්තම මනසින් සියලු දේ කෙරේ ඇති දැඩි බැඳීමෙන් මිදෙන්න හරි ලේසියි... මම දැන් යෙදී ඉන්නෙ ඒ උත්සාහයේ.

 ඔබ වහන්සේ ජීවිතය ගැන ඇති වූ කලකිරීමක් නිසා නෙවෙයිද ඇත්තටම මේ පැවිදි ජීවිතයට පිවිසුණේ?
නැහැ... කිසිසේත්ම නෑ... මට යහපත් ගිහි ජීවිතයක් තිබුණා. ඒ ජීවිතය ගැන මට කලකිරෙන්න දෙයක් තිබුණෙ නෑ... ඒත් බෞද්ධ දර්ශනය ගැඹුරින් තේරුම් ගනිද්දී මේ ජීවිතය මේ බැඳීම් මේ සංසාරය සියල්ල අවසාන අර්ථයෙන් ගත්තම දුකක්... ජරාවක්... අනිත්‍ය දෙයක්... ඒ ජීවිත අවබෝධය විසින් තමා මාව මේ පැවිදි ජීවිතයට යොමු කළේ.

 ඒ යොමුවීම ප්‍රායෝගිකව සිද්ධ වුණේ කොහොමද හාමුදුරුවනේ?
මම බොහෝ කාලයක සිට ගිහියෙකු ලෙසින් සිටියදීම වන සෙනසුනක භාවනා කළා. කැලිෆෝනියාවේ සංඝනායක හිමිනමක් ලෙස වැඩ හිඳින නායක හාමුදුරුවන් වහන්සේ කෙනෙක් ඉන්නවා වසර තිහක් පමණ තිස්සේ මම අඳුරන මාත් එක්ක බොහෝම හිතවත්. වන සෙනසුන්හි භාවනා කරද්දී වරෙක නොයෙක් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න වෙන නිසා උන්වහන්සේ මට කීවා නිස්කාන්සු සුවයෙන් භාවනා කරන්න නිසි තැනක් මට පිළියෙල කරලා දෙන්නම් කියලා. ඒ අනුව මම උළුවිටිකේ මේ විහාරයට ඇවිත් ගිහි කාලයේදීම භාවනාවේ යෙදුණා.
අවුරුදු පහළොවක් විතර තිස්සේ මම භාවනා කරපු නිසා මට පැවිදි ජීවිතය එක්වරම අලුත් අත්දැකීමක් වුණේ නෑ... භාවනාව සහ බෞද්ධ දර්ශනය කෙරේ තිබුණු නැඹුරුව නිසා ගිහියෙක් ලෙස සිටියදීත් මම ජීවිතය බොහොම උපේක්ෂාවෙන් විඳ දරාගත්ත කෙනෙක්.

 පෙරදී භාවනාවට යොමු වී සිටියත් ගිහි ජීවිතයෙන් පැවිදි ජීවිතයට එළඹෙද්දී ඔබ වහන්සේට නුහුරු නුපුරුදු බවක් දැනුණේම නැද්ද?
පැවිදි ජීවිතයට පිවිසෙන්න පෙර කාලයක් මුළුල්ලේම  මම මේ පන්සලට ඇවිත් සති ගණන් නැවතී සිට ගිහියෙකු ලෙස සිටියදීම පැවිදි ජීවිතයට හුරු වුණා. මම හිතුවා පෙර පුහුණුවක් ලබාගෙනම පුරුදුවෙලා පැවිදි ජීවිතයට එන එක වඩා හොඳයි කියලා. මම දන්නේ නැහැ මට මේ සියල්ලට හේතුවන සසර පුරුද්දක් තියෙනවාද නැද්ද කියලා. භික්ෂූන් වහන්සේ කෙනෙක් ආහාර වළඳන්නේ දවසකට දෙපාරයි .මම ගිහි ජීවිතය තුළම ඒකට හුරු වුණා .ඒ වගේම භික්ෂුන් වහන්සේ කෙනෙක්ට නියමිත ඇවතුම් පැවතුම් හැසිරීම් පිරිත් කියන්න බණ කියන්න මේ හැමදේම ගැන මම හොඳ අවබෝධයක් මහණ වෙන්න ඉස්සරම ලබා ගත්තා. මෙතන බොහොම නිස්කලංක තැනක්. මම මහණ දම් පුරන්න සුදුසුම තැන තෝරා ගත්තා කියලයි මම හිතන්නේ.

 අකමැත්තක් නැත්නම් අපි කැමතියි ඔබ වහන්සේගේ වයස කීයද කියලා දැනගන්න?
දැන් මට වයස අවුරුදු 72ක් වෙනවා.

 මාර්ග ඵලයට නොපැමිණි කවර හිතක හෝ බැඳීම් ක්ලේශ හට ගන්න පුළුවන්. එය ස්වභාවික සංසිද්ධියක්. ඔබ වහන්සේගේ පුංචි මිණිබිරියගේ සුරතල් ආදරය ඔබවහන්සේ ගිහි කල වින්ද මතකය ඔස්සේ සිත යළි අතීතයට යන්නෙ නැද්ද? ඔබේ බිරිඳ දියණිවරු මේ හැමෝටම වඩා පුංචි මිණිබිරිය ඔබවහන්සේට දැන් සිහිපත් වෙන්නෙ නැද්ද?
ඒ හැමෝම වෙනුවෙන් ස්වාමි පුරුෂයෙක් විදිහට තාත්තා කෙනෙක් විදිහට වගේම සීයා කෙනෙක් විදිහටත් යුතුකම් ඉටු කළ නිසා මට පසුතැවෙන්න අතීතයක් නෑ. මට සිහිපත් වුණත් මම ඒ බැඳීම් තදින් අල්ලා ගන්නෙ නෑ. මම පැවිදි ජීවිතයට එනවා කීවම මුලදී එයාලා පොඩි කනගාටුවකට පත් වුණා. ඒත් මගේ අරමුණ පැහැදිලි කරලා දුන්නම එයාලා ඒක තේරුම් ගත්තා. මගේ පුංචි මිණිබිරි පහුගිය 21 වැනිදාත් හවස මාව බලන්න ආවා. එයාට දැන් වයස අවුරුදු 10ක් වෙනවා. මගේ ලොකු දුව විවාහවෙලා ඉන්නෙත් ස්වීඩන් ජාතික දරුවෙක් සමඟ. දුව මගේ මිණිබිරියට මුලින්ම කීවම සීයා මහණ වෙන්න යන බව ඇය ඇහුවේ සීයා ගියාම කවුද මට ඉස්කෝලේ වැඩ කරගන්න උදවු කරන්නේ කියලා. ඒත් එයාගේ අම්මා තේරුම් කරලා දුන්නම එයත් අන්තිමට එයාගෙ සීයව තේරුම් ගත්තා.

 ගුවන් සේවකයෙක් විදිහට ඔබ වහන්සේගේ තරුණ අවධියේදී ලෝකයේ රට රටවල ඇවිද්දා. ලෝකය දැක්කා. නා නා ප්‍රකාරව ලෝකය වින්දා. කලාකරුවෙක් ලෙස ජනප්‍රියත්වය රසික ප්‍රසාදය මේ හැමදේම ඔබ වහන්සේට ලැබුණා. ඒ නිදහස ඒ සැප ඒ කාමභෝගී ජීවිතයත් පැවිදි ජීවිතයත් අතර වෙනස ඔබවහන්සේට දැනෙන්නෙ කොයි විදිහටද? පැවිදි ජීවිතය ඒකාකාරී සම්ප්‍රදායික ජීවිතයකට කොටුවීමක් ලෙස ඔබ වහන්සේට දැනෙන්නෙම නැද්ද?
ගුවන් සේවකයෙක් ලෙස මම රටවල් තිස්පහක පමණ ඇවිද්දා... ලෝකයේ තියෙන රස කෑමජාති ඕනතරම් කෑවා... ලෝකයේ ලස්සන තැන් බලන්න ගියා... මම හුඟක් මත්පැන් බීමට පුරුදු වූ කෙනෙක් නොවුණත් ලෝකයේ තියෙන ඉස්තරම්ම වර්ගයේ මත්පැන් වර්ග හැම වර්ගයක්ම වගේ මම බීලා තියෙනවා. හොඳ ඇඳුම් ඇන්දා... නොයෙක් විදිහෙ මිනිස්සු මුණගැහිලා තියෙනවා... ආශ්‍රය කරලා තියෙනවා. ඒත් භාවනාව කෙරේ යොමු වෙන්න යොමුවෙන්න මට දැනුණා මේ හැමදේම මොනතරම් නම් අනිත්‍යද කියලා. දැනට අවුරුදු විසිපහක ඉඳන් මම මස් මාළු කන්නෙ නෑ... මත්පැන් බොන්නෙ නෑ... දැන් මම හරි සැහැල්ලුවෙන් සමබර මනසකින් ජීවත් වෙනවා... ඊටත් වඩා සතුටක් තියෙනවද මනුස්සයෙකුට කායිකවත් අධ්‍යාත්මිකවත් ලබන්න. භෞතික දේවල් අත්හරින්න අත්හරින්න තමා සැනසිල්ල ලැබෙන්නෙ.

 ඔබ වහන්සේගේ ළමා කාලය ගැන සිහිපත් කරන්න කැමතිද?
මම ඉපදුණේ නුවර... මගේ තාත්තා රැකියාව කළේ ලංකා ගමනාගමන මණ්ඩලයේ... ඒ කාලෙ හුඟාක් අම්මලා රැකියා කළේ නෑනෙ. මගේ අම්මා හැම පෝයටම සිල්ගත්ත කෙනෙක් පින් දහම් කළ කෙනෙක්... මට සහෝදරයෙක් සහ සහෝදරියක් ඉන්නවා... ඒ අයටවත් මම කීවේ නෑ මම පැවිදිවෙනවා කියලා.

මම පින් කරන්නෙ නැහැ කුසල් වඩනවා  

 රංගන ක්ෂේත්‍රයේ ඔබ වහන්සේගේ හිත මිතුරන්ටවත් ඇයි ඔබවහන්සේ පැවිදි දිවියට ඇතුළත් ෙවන බව නොකීවේ?
මම කලාකරුවෙක් විදිහට ඉද්දීවත් ප්‍රසිද්ධියට අකමැති කෙනෙක්... මගේ ෂොප් එකක් තිබුණා චමත්කාර් කියලා... ලංකාවේ වැඩිම අලෙවියක් ඇති සති අන්ත ජාතික පත්තරයක කලා අතිරේකයක ඡායාරූප ශිල්පියෙක් ඒ දවස්වල නළු නිළියන්ව එක්ක එනවා මගේ ෂොප් එකට එයාලගේ කවරවල පසුතලය සඳහා... ඔහු මට කතා කරනවා පත්තරේ සම්මුඛ සාකච්ඡාවලට. ඒත් මම එය ප්‍රතික්ෂේප කරනවා. මම පැවිදි දිවියට ආවේ මීට මාස දෙකකට විතර පෙර. මම ඒක කිය කියා ආවා නම් ඒක අනවශ්‍යම ප්‍රසිද්ධියක් වෙනවා. ඒක නිසා මම මේ ගමන මගේ දරුවන්ට බිරියට හැරෙන්න කාටවත්ම නොකියා ආව ගමනක්. කැලිෆෝනියාවේ මගේ හිතවත් හාමුදුරුවන් දැනගෙන හිටියා මම පැවිදි දිවියට ඇතුළත් වෙන්න නැකත් එහෙම බැලූ බව. ඒත් පැවිදිවෙනවා කියලා මම උන්වහන්සේටවත් කීවේ නෑ. ඒත් පිංකමකදී මම නොදැන කවුදෝ ගත්ත ඡායාරූපයක් එක්තරා වෙබ් අඩවියක පලවීම නිසා මම මහණ වෙලා කියන ආරංචිය පැතිරුණා. මම භාවනා කරන බව කලා ක්ෂේත්‍රයේ සමහර අය දැනගෙන හිටියත් මේ තීරණය ගැන කවුරුත් දැනගෙන හිටියෙ නෑ... ඒත් මම මහණ වෙලා කියලා දැනගත්තම මාධ්‍ය ආයතන රැසක දරුවෝ ආවා මා සමඟ කතා කරන්න. ඒ සියල්ලම පාහේ මම කාරුණිකව ප්‍රතික්ෂේප කළා. සමහර අය මගේ ගෙදරට කතා කරලා අහලා තිබුණා මම මොකක් හෝ නාට්‍යයක චිත්‍රපටයක චරිතයක් සඳහා මේ විදිහට මහණ වෙලාද කියලත්...

 අද දවසේ ඔබ වහන්සේගේ දින චරියාව ගත වෙන්නෙ කොහොමද?
මගේ පැවිදි ගුරුවරයා වූ දකුණු පළාතේ අධිකරණ සංඝනායක උළුවිටිකේ ජයසුමනාරාමාධිපති ශාස්ත්‍රපති ආචාර්ය මාබොටුවන පියරතන නා හිමිපාණන් වහන්සේ. උන්වහන්සේගේ අනුශාසනා පරිදි මම කටයුතු කරනවා. මම පැවිදි ජීවිතයට ආවේ දාන, පංශුකූලවලට වඩින්න නෙවෙයි. භාවනාව ඔස්සේ සිත දියුණු කරගෙන අධ්‍යාත්මික ශක්තීන් වැඩි දියුණු කරගන්න. පාන්දර තුනට මම අවදි වෙනවා. ඉන්පසු භාවනා කරනවා. 5.30ට බුද්ධ වන්දනාවේ යෙදෙනවා. හවසට බණ භාවනා කරනවා.

 ඔබ වහන්සේගේ පුළුල් භාෂා දැනුමෙන් මෙහි වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලාට -ගම්මානයේ දරුවන්ට සේවාවක් කරන්න කල්පනාවක් නැද්ද?
ලෝකය දිනන්න ඉංග්‍රීසි නැතුව බෑ. පන්සලේ වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලාට වගේම මේ ගම්මානයේ දරුවන්ටත් මම ඉංග්‍රීසි දැනුම ලබාදෙනවා. ගමේ දරුවන්ට මම ඉංග්‍රීසි පන්තියක් කරනවා. ඒ දරුවෝ ඉගෙන ගන්නවා දකිද්දී හරි සතුටක්.

 ඔබවහන්සේ මේ එකතු කරගන්න හදන්නෙ පින්ද? කුසල්ද?
මිනිස්සු පින් කරන්නෙ ප්‍රාර්ථනා එක්ක. ඒ සසර මඟ සැපවත් කරගන්න. කුසල් වඩන්නේ සසර මඟ කෙටි කරගන්න. සසර සුගතිය පිණිස. මම පෙරුම් පුරන්නේ කුසල් වඩන්න.

 ජ්‍යෝතිෂය ඔබවහන්සේ විශ්වාස කරනවද? ඔබවහන්සේගේ කේන්දරයේ ඔබවහන්සේ පැවිදි ජීවිතයට පිවිසෙන බව සඳහන්ද?
මම හුඟක් ‍ජ්‍යෝතිෂය විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. මම දන්නෙ නැහැ මගේ හඳහනේ මොනවා ලියවිලා තියෙනවද කියලා. මම පැවිදි ජීවිතයට එද්දී මගේ ගුරු හාමුදුරුවෝ මගේ කේන්දරය ඉල්ලුවා. මම ගෙනත් දුන්නා. උන්වහන්සේ බැලුවා. මම දන්නෙ නෑ ඒකෙ මොනවා තියෙනවද කියලා. ජීවිතයේ අපි හිතන දේවල් වගේම නොහිතන දේවලුත් වෙන්න පුළුවන්. හඳහන නෙවෙයි තමන්ව, තමන්ගෙ චිත්ත ශක්තිය තමා විශ්වාස කළ යුතු වෙන්නෙ.

 සෝමසිරි අලකොලාංග කියන නළුවගේ රසිකයන්ට, හාරිස්පත්තුවේ සෝමානන්ද කියන හිමියන්ගේ ශ්‍රාවකයන්ට කියන්න පණිවිඩයක් තියෙනවද ඔබවහන්සේට?
බැඳීම් ගැට ලිහාගන්න හුඟක් අයට අමාරුයි... අධ්‍යාත්මික ජීවිතයට කෙනෙක්ව බලෙන් ඇදලා ගන්න බෑ... ඒක අවබෝධය හා තේරුම් ගැනීම මත ආ යුතු ගමනක්... හැබැයි සැබෑ සැනසීම ඒ ගැට ලිහෙන්න ලිහෙන්න ඇති වෙනවා කියන එක සත්‍යක්. මට ඊට වඩා කියන්න දෙයක් නෑ.

 

► Text -Sanju / Pic- channa kassapa & Internet 

 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00