1940 අගෝස්‌තු 25 වැනිදා කොළඹ කොටහේනේ කොච්චිකඩේ දී ජන්මලාභය ලැබූ ජෝශප් මැනුවෙල් ඇලෙක්‌සැන්ඩර් ප්‍රනාන්දු හෙළ සිනමා තිරයේ අප කවුරුත් හඳුනන්නේ ඇලෙක්‌සැන්ඩර් ප්‍රනාන්දු නමිනි. මෙරට සිනමාවේ ස්‌වර්ණමය යුගයේ දී තිරයේ අතිශයින් තාත්වීය සටන් ජවනිකා මැවූ ඔහු චරිතාංග නළුවකු ලෙස ද දක්‌ෂතා දක්‌වන්නට සමත් වුණා.
කොහොමද පාසල් කාලය ගත වුණේ?
මම පාසල් ගියේ කොටහේනේ ශාන්ත බෙනඩික්‌ට් විද්‍යාලයට. පසුව ශාන්ත අන්තෝනි විදුහලින් අධ්‍යාපනය ලැබුවා. පාසල් කාලයේ නම් ක්‍රීඩාවට තමා මම උනන්දුවක් දැක්‌වුයේ.
විශේෂ දක්ෂතා දැක්වූයේ මොන ක්‍රීඩාවන්ටද?
මල්ලව පොර, බොක්‌සිං හා පිහිනුම් ක්‍රීඩාවේ මම වඩාත් කැපීපෙනුණු ශිෂ්‍යයෙකු වුණා. ඊට අමතරව කරාතේ, ජූඩෝ, ශාරීරික අභ්‍යාස පවා ප්‍රගුණ කළා. ඒ වගේම තමා මම 1960 දශකයේ අපරාජිත ජාතික මල්ලවපොර ශූරයා ලෙස කීර්තිය පවා දිනාගත්තා. ඊට පස්සේ 1962 පොදු රාජ්‍ය මණ්‌ඩලීය තරගවලදී කැපීපෙනෙන දක්‌ෂතා දක්වන්නත් අවස්ථාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි 1964 ටෝකියෝ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීමට සුදුසුකම් ලැබුවා. 1966 බැංකොක් නිපොන් ආසියානු ක්‍රීඩා තරගයට ද සහභාගි වුණා.
කොහොමද අවස්ථාව ලැබෙන්නෙ සිනමාවට?
1962 දී ඔස්ට්‍රේලියාවේ ගිහින් ආවට පස්සේ ලෙනින් මොරායස් මට හම්බවෙලා කිව්වා, සටන් ජවනිකාවක් තියෙනවා කරමු කියලා. එහෙම සිනමාව මාව හොයාගෙන ආවා මිසක් මම සිනමාව හොයාගෙන ගියේ නැහැ.
හරි අපි කියමු සිනමාවේ ආරම්භය ගැන තව ටිකක්?
1963 දී සෝමසේකරන් විසින් අධ්‍යක්‍ෂණය කරන්නට යෙදුණු ලෙනින් මොරායස් කැමරාව මෙහෙය වූ වෙන ස්‌වර්ගයක් කුමටද? චිත්‍රපටයේ සටන් නළුවාගේ චරිතය හරහා තමා සිනමාවට එන්නෙ. නමුත් හැටේ දශකයේ මුල් භාගයේ දී මේ චිත්‍රපටය තිරගත වන්නෙ මගේ ඒ ජවනිකාව නැතිව. ඊටපස්සේ ලෙනින් මොරායස්ගේ ඇරයුමින් රුහුණු කුමාරි චිත්‍රපටය තුළින් තමා ආයේ සිනමාවට ආවේ.
කොහොමද මුල්ම සිනමා අත්දැකීමේ මතකය?
අපෝ.. ඒ මතකය නම් අමතක වෙන්නේ නැහැ. 1963 නිපදවූ වෙන ස්‌වර්ගයක් කුමටද? චිත්‍රපටය රූගත කළ අයුරු මට අද වගේ මතකයි. එහි හෙන්රි ජයසේන මහතා ෆ්ලොරීඩා ජයලත් සමඟ උස්‌වැටකෙයියාව මුහුදු තීරයේ පෙම්සුව විඳිමින් සිටින දර්ශනයක් තිබුණා. මට එතැන දී ජයසේන මහතා සමඟ සටන් කරන ජවනිකාවක් තිබුණා. එය තමයි මට ලැබුණු පළමු රඟපෑම. චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ සෝමසේකරන් මහතායි. මගේ මතකය නිවැරදි නම් එහි සහාය කැමරා ශිල්පියා වුණේ ලෙනින් මොරායස් මහතා. මා නිතරම ව්‍යායාම කරමින් ශරීර සෞඛ්‍ය පවත්වාගෙන යාමට බෙහෙවින් ප්‍රිය කළා. මේ චිත්‍රපටය අවසානයේ සෝමසේකරන් මහතා බිත්තර බොන්න යැයි කියා මගේ සාක්‌කුවට රුපියල් දහයක් දැම්මා. එය මා රංගනයෙන් ඉපැයූ මුල්ම මුදලයි.
ඇත්තටම මොනවද ඒ මුදලින් ඔබ ගත්තෙ?
ඔහු කියූ පරිද්දෙන්ම මම එයින් බිත්තර 10කුත් නෙස්‌ටමෝල්ට් ටින් එකකුත් කෙසෙල් ගෙඩි කිහිපයකුත් මිලදී ගත්තා.
එතැනින් පස්සෙ?
කොහොමහරි මට මුලින්ම ප්‍රධාන චරිතයක් දුන්නෙ සතිශ්චන්ද්‍ර එදිරිසිංහ. ඒ ශ්‍රී මදාරා චිත්‍රපටයේ. ශ්‍රියානි පෙරේරා තමයි ඒකෙ ප්‍රධාන නිළිය. ඉන් පස්සේ නීල් රූපසිංහගේ සරදියෙල්ගේ පුතා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කළා. ඒකෙ ප්‍රධාන නිළිය වුණේ මාලිනී ෆොන්සේකා. රසිකයො ගොඩක් කැමති වුණේ සරදියෙල්ගෙ පුතාටයි. ඊටත් පසු කාලයක ආනන්ද හේවගේ සැදූ පසමිතුරෝ චිත්‍රපටයෙත් මම රඟපෑවා මර්වින් ජයතුංගත් එක්ක. එක මාංචුවකින් බැඳුණු සිංහල හා දෙමළ සිරකරුවන් දෙදෙනෙකු ලෙස තමා අපි රඟපෑවේ. ඒ වෙනුවෙන් මට කුසලතා සහතික ලැබුණා.
ඔබ විසින් සිනමාවේ සටන් පුහුණු කළ නළුවන් ඉන්නවා නේද?
ඔව්, ඕනෑ තරම් ඉන්නවා. රෝයි ද සිල්වා, සනත් ගුණතිලකටත් මම සටන් පුහුණු කර තිබෙනවා. ගාමිණී ෆෝන්සේකා මහත්තයාට පවා මම සටන් පුහුණු කළා, සූරයන්ගෙත් සූරයා චිත්‍රපටයට. ඔහු මා ගැන කොතෙක් පැහැදුණේදැයි කිවහොත් ඔහු රඟපෑ චිත්‍රපට බොහෝමයකට මාව ඇතුළු කරගත්තා. ගාමිණී මහත්මයා මා සමඟ සටන් කිරීමට පවා විශේෂ කැමැත්තක් දැක්‌වුවා. ඒ තාත්විකව සටන් කිරීමට ඔහු තුළ තිබූ ආශාව නිසා. මිරිඟුව චිත්‍රපටය රූගත කරන කාලයේ ගාමිණී මහතාගේ පහරකෑමකට ලක් වී දින 3 ක් කට ඇරගැනීමටවත් නොහැකිව සිටියා. ගාමිණී මහත්තයා නිතර මගේ දුක සැප සොයා බැලුවා. අපේ චිත්‍රපටවල සටන් තාත්වික නිසා ප්‍රේක්‌ෂකයන් අපිට ආදරේ කළා.
දැනට චිත්‍රපට කීයක රඟපාලා තියෙනවද?
චිත්‍රපට 105ක විතර රඟපාලා තියනවා. ඒවයින් ප්‍රධාන චරිත 6 ක් කරලා තියනවා.
මෑතකදිත් චිත්‍රපටයකට සම්බන්ධ වුණා නේද?
ඔව්. වසර ගණනාවකට පසුව සනත් ආවා මාව මුණගැහෙන්න. ඒ මංගල තෑග්ග - 2 සඳහා නළු නිළියන් තෝරද්දි. සනෝජා විදෙස්ගත වී විවාහ වන පුද්ගලයාගේ චරිතයට සනත් මාව ගන්න තීරණය කරලා. ඊටපස්සේ ඒ චරිතය ගැන කතා කිරීමෙන් පස්සෙ මම කැමති වුණා.
අමතක නොවන අත්දැකීම් ඇති?
අපෝ.. අමතක නොවන සිද්ධිනම් ගොඩක් තියෙනවා, ඒ අතර එකක් මතක් කරනවානම් රක්තා චිත්‍රපටය රූගත කරන කාලේ සිදුවුණු අකරතැබ්බයක් නිසා මගේ අත කැඩුණා. ඒක සෑහෙන කාලයක් යනකම් මට සුව කරගන්න බැරිව තිබ්බා. එදා ඒ සිදුවීම මට අමතක වෙන්නෙ නැහැ.
ඉදිරියටත් කලාව වෙනුවෙන් ද කාලය කැප කරන්නෙ?
ඔව්. අපි හැමදාම කලාව එක්ක තමා ඉන්නෙ. තාමත් අපිට මොනවහරි කරන්න පුළුවන්. හැබැයි නිකම් උඩ බලාගෙන ඉන්න එක තමයි දැන් කරන්නෙ. මොකද අපෙන් ප්‍රයෝජන ගන්න දැනගන්න ඕන. රඟපාන්න ගන්න බැරිනම් අපිට උගන්වන්න දෙන්න පුළුවන්. රජයෙන් මැදිහත්වෙලා සිනමා පාසලක් පටන් ගත්තොත් අපිට පුළුවන් අපි දන්නා දේ කියලා දෙන්න. නිකම්ම අපිට සල්ලි දෙන්න ආධාර දෙන්න කියලා අපි ඉල්ලන්නෙ නෑ.
රංගනය උදෙසා ලැබුණු ඇගයීම් සම්මාන පිළිබඳව කතා කළොත්?
1984 ජනාධිපති සම්මානයත්, ජාතික ක්‍රීඩාවට කළ මෙහෙවර වෙනුවෙන් 2009 වසරේ ක්‍රීඩා අමාත්‍යංශයෙන් පුදකළ සම්මානයත් ඇතුළුව ඇගයීම් කිහිපයක්‌ම ලැබුණා. එච්චරයි.
එදා සහ අද සිනමාව කොහොමද දකින්නෙ?
අපි කරන කාලේ සිංහල මිනිස්සු විතරක් නෙවෙයි, දමිළ මිනිස්සු පවා සිංහල චිත්‍රපට බැලුවා. අද අඩු ගාණේ සිංහල මිනිස්සුවත් දැන් හැදෙන සිංහල චිත්‍රපට බලන්නෙ නැහැනෙ. ඔන්න ඕකයි මම දකින වෙනස.
කලාකරුවෙකු වීම ගැන තෘප්තියක් නැද්ද?
තෘප්තියක් කියන්නෙ අද මට තියෙන්නෙ දුකක්. මොකද අපි කලාව සිනමාව වෙනුවෙන් ජීවිත කාලයම කැප කළ අය. හැබැයි අද මට ලැබෙන්නෙ චිත්‍රපට සංස්ථාවෙන් ලැබෙන රුපියල් 2000ක මුදලක් පමණයි. හැබැයි මම වෙන රැකියාවක් කරලා තිබ්බනම් අඩුම ගාණේ අද මට විශ්‍රාම වැටුපක්වත් ලැබෙන්න තිබ්බා කියලා හිතෙනවා.
► Text — Anusha Ranasinghe / Pic - Internet