2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

මට හර්ෂණ ගැනවත් හර්ෂණට මා ගැනවත් හාෙයන්න දෙයක් තිබුණෙ නෑ....

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 94

වොල්ගා... ඉතින් කියමුකො.. මේ දවස්වල දෙන්නත් එක්ක එකතුවෙලා මොනවද කරන්නෙ?
පහුගිය දිනවලදි ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ හිරු දියණි කියන නාට්‍යයේ මායි හර්ෂණයි දෙන්නම රඟපෑවා. ඊට අමතරව තව නාට්‍ය කීපයකම මම රඟපෑවා. හැබැයි ඒ නාට්‍යවල මම රඟපෑවේ හර්ෂණත් එක්ක නෙවෙයි. ඊට අමතරව අපි දෙන්නා එකතුවෙලා ආරම්භ කරපු මීඩියා හවුස් එකේ වැඩ කරගෙන කලා කටයුතුවලට සහභාගි වෙමින් අපි අපේ පාඩුවේ වැඩ ටික කරගෙන යනවා.

අපි ඔය දෙන්නා අලුතින් පටන් ගත්තු මීඩියා හවුස් එක ගැනත් කතා කරමු..?
ඔව්.. අපි දෙන්නා අලුතින් පටන් ගත්තු මීඩියා හවුස් එකේ නම Volanro media house. ඒක ටික කාලයක් තිස්සෙ හර්ෂණගේ හිතේ තිබුණු හීනයක්. එයා ගොඩාක් ආසාවෙන් තමයි හිටියෙ මේ වගේ එකක් පටන් ගන්න. ඉතින්... මීට මාස තුනකට කලින් අපි ඒක පටන් ගත්තා. ඒකෙ office එක තියෙන්නෙ කිරුළපන. ඒකෙන් වෙළෙඳ දැන්වීම් ආදිය කරන්න අපි හිතාගෙන ඉන්නවා. තාම ඒක පටන් ගත්තා විතරයි.

කොහොමද අලුත් ජීවිතේ..?
ම්... අලුත් ජීවිතේ හොඳයි... සතුටින් ඒ ජීවිතේ ගෙනියනවා. හැබැයි හර්ෂණව මට අලුත් කෙනෙක් නෙමේ. එයාව මම දන්නෙ දැන් අවුරුදු දාහතක කාලයක් තිස්සෙ. ඉතින්... ඒ නිසා හර්ෂණට මාව නුහුරු කෙනෙක් වුණෙත් නෑ. මට හර්ෂණව නුහුරු කෙනෙක් වුණෙත් නෑ.

ඔය දෙන්නම ඔය කියන විදිහට කාර්යබහුලයිනෙ... මොනවද දෙන්නා විවේකයක් ලැබුණාම කරන්නෙ...?
අපි දෙන්නම බුදුන් දෙවියන් අදහන දෙන්නෙක්. ඉතින් විවේකයක් ලැබුණාම අපි දෙන්නම හරි ආසයි ඇවිදින්න යන්න. සමහරදාට අපි දෙන්නා යන තැන තීරණය කරන්නෙත් යන දවසෙම උදෙයි. ගොඩාක් ගොඩාක් වෙලාවට ඒ වගේ ගමන් බිමන් යන්නෙ අපි දෙන්නා තනියමයි. සමහරදාට මගේ අක්කගෙ family එක අපේ අම්මලා හර්ෂණගේ අම්මලා එහෙමත් යනවා. හැබැයි ගොඩාක් වෙලාවට අපි දෙන්නා විතරක් යන ගමනුත් තියෙනවා. පහුගිය දවස්වල අපි කුරුණෑගල ගිහින් ආවා.

අපි දෙන්නම බුදුන් දෙවියන් අදහන දෙන්නෙක්  

වොල්ගා.. ඔයා විවාහ වෙද්දි ගෙදර වැඩ කටයුතු, උයන පිහන දේවල් එහෙම පුරුදුයිද...?
ඔව්.. ඔව්... ඒ දේවල් ඒ වෙද්දි මට ෂේප් එකේ කරගෙන යන්න පුළුවන්. මායි හර්ෂණයි විවාහ වුණේ 2016 අගෝස්තු මාසෙ 10 වැනිදා. ඉතින්... අදටත් අපි දෙන්නා ගෙදර ඉන්න වෙලාවට තනියම ඒ දේවල් කරගන්නවා. හර්ෂණත් මට ඒ දේවල්වලට උදවු වෙනවා. උයන පිහන දේකදි වුණත් මම උයද්දි හර්ෂණ මට උදවු කරනවා. දෙන්නගේ උදවුවෙන් අපි අපේ දේවල් සහයෝගයෙන් කරගන්නවා.

මොනවද මේ දවස්වල කරන වැඩ..?
මේ දවස්වල මම ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතාගේ ආදර ගීතය කියන ටෙලිනාට්‍යයේ වැඩ කරනවා. අනිත් එක තමයි ජනක මගල්පන් මහත්මයාගේ යටිනුවර මැණිකේ කියන නාට්‍යයෙත් වැඩ කරනවා.

හර්ෂණව ඔයා මුලින්ම හඳුනා ගත්තෙ මීට අවුරුදු ගණනාවකට උඩදි යහළුවෙක් විදිහට නේද..?
ඔව්.. හර්ෂණයි මායි පොඩි කාලේ එකට ළමා වැඩසටහනක් කළා. ඉතින් ඒ දවස්වල තමයි මට මුලින්ම හර්ෂණව මුණගැහෙන්නෙ. අපි ගොඩක් කල් හොඳම හොඳ යාළුවෝ වෙලා හිටියා. ඊටපස්සෙ අපි අවුරුදු තුනහමාරක් හතරක් වගේ කාලයක් ආදරේ කරලා තමයි කසාද බැන්දේ.

හොඳම යාළුවාට ආදරේ කරන්න.. කසාද බඳින්න තරම් තිබුණු සුවිශේෂීකම මොකක්ද..?
මෙහෙමයි... හර්ෂණට මගේ ගැන කියලා දෙන්න ඕනකමක් තිබුණේ නෑ. මට හර්ෂණ ගැන කියලා දෙන්න ඕනකමක් තිබුණේ නෑ. අපි දෙන්නට දෙන්නා හොඳටම දන්නවා. අනික එයාගේ තිබුණු සුවිශේෂීම දේ තමයි එයා හරි ඉක්මනින්ම තේරුම් ගැනීම. ඉතින් ඒවා තමයි  අපි දෙන්නා ආදරේ කරන්න... කසාද බඳින්න තිබුණු සුවිශේෂීම කාරණාව වුණේ.

මොනවද හර්ෂණගෙත් වොල්ගාගෙත් හිත්වල තියෙන බලාපොරොත්තු?
අපි දෙන්නට අපේම කියලා ගෙයක් හදාගන්න ආසයි. හැබැයි අපි අපේ ව්‍යාපාරය පටන් ගත්තෙත් මෑතකදියි. ඒ නිසා ගේ හදන එක හදිස්සියෙම කරන්න අමාරැයි. ඒත්... ගෙයක් හදන්න ඕනෙ... ඉතින්... තියෙන ලොකුම බලාපොරොත්තුව ගෙයක් එහෙම හදලා කාටවත් කරදරයක් නැතිව අපේ මවුපියන්ටත් සලකගෙන හර්ෂණත් එක්ක සතුටින් ජීවත් වෙන්නයි. ඕනෑම විවාහ වුණු දෙන්නෙක්ගෙ පැතුම තමයි දරුපැටියෙක්. ඉතින්... මගෙත් හර්ෂණගෙත් ප්‍රාර්ථනාවත් ඒකයි. දෙවියන් අපිට හැම සතුටක්ම දෙනවා වගේම ඒ සතුටත් නිසි කාලයේදී දේවි කියලා අපි දෙන්නම බලාපොරොත්තු වෙනවා.

► Text – Jayamali / Pic - Internet 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00