2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

විකට නාට්‍යයේ ගාස්තුව මසලවඩයයි ප්ලේන්ටියයි

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 185

ඔහු ඕනෑම විකට චරිතයක් තමන්ටම ආවේණික ශෛලියකින් රඟපෑමේ සහජ නිපුණතාවක් තිබූ කලාකරුවන් අතර අපට ඉන්න වටිනාම සම්පතක්, ඒ වගේම  50 වසරකට අධික කාලයක් ශ්‍රී ලාංකික කලා ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් සටහන් කළ අපූරු රංගනවේදියෙක්, විනෝද  සමයෙන් රටක් ප්‍රමෝදයට පත් කළ මොහු නමින් ප්‍රවීණ කලාකරු බර්ටි ගුණතිලක.

අපි පාසැල් කාලයෙන් කතාව පටන් ගමු 
මම  මහනුවර සංඝරාජ පිරිවෙනෙන් තමා මූලික අධ්‍යාපනය හදෑරුවේ.

කොහොමද ළමා කල? 
ඒ කාලේ ඉතින් පෙරහරක හරි මොකක් හරි සිද්ධියක් දැක්කම ගෙදර ඇවිත් රඟපාන පුරුද්දක් මට තිබුණා. විකට නාට්‍ය බලන්න ගිහින් ගෙදර ඇවිත් ඒවා ආයේ රඟපානවා.

ඒ කියන්නේ පාසලේදීත්  කලාවට වේදිකාවට සම්බන්ධයි ද ?
අපොයි ඔව්. පාසලේදීත්  මම  රංගනයෙන්, හාස්‍ය කලාවෙන් නමක් දිනාගෙන හිටියේ. 

මුල්ම රැකියාව? 
කුලියාපිටිය ගල්පොල විද්‍යාලයේ උප ගුරුවරයකු ලෙස කටයුතු කළා.

ඉස්කෝලෙක ඉගැන්නුවා පත්තරේක වැඩකළා

ඊට පස්සේ?
ඉන්පසුව මම  සිංහල බෞද්ධයා පත‍්‍රයේ සෝදුපත් කියවන්නෙකු හා 1953 ජනතා පුවත්පත් බෙදා හැරීම් අංශයේත් වැඩ කළා. 

එතකොට කොහොමද ගුවන්විදුලියට සම්බන්ධ වුණේ?
1947 දී සිරි අයියාගේ ළමා පිටියෙන් තමා මම ගුවන් විදුලියට ආවේ. මගේ තාත්තා තමා මාව ඒ සඳහා යොමු කළේ, 

එතකොට මේ විකට චරිත පටන් ගත්තේ කොයි කාලෙද ?
1954 වර්ෂයේ දී එච්. ඩී. විජයදාස මහතා විසින් ගුවන් විදුලියේ ආරම්භ කළ විහිළු තහළු වැඩසටහනට තමා මුලින්ම සහභාගී වුණේ. මා එක්ක  ඇනස්ලි, සැමුවෙල් මුලින්ම හිටියා. ඊට පස්සේ  ගැමුණු විජේසූරිය, ජෝෂප් සෙනෙවිරත්න, ඇල්ෆ‍්‍රඩ් පෙරේරා ද ඒ වගේම  මර්සි එදිරිසිංහත් අපි එක්ක වැඩ කළා. 

කොහොමද ඒ කාල?
 අපි ආව මුල් අවධියේ නම් විකට රංගන වැඩසටහනක්‌ වෙනුවෙන් ලැබුණේ මසල වඩේ එකයි ප්ලේන්ටියයි. ඊට දශකයට විතර පසුව ගත්තොත් 1950 වර්ෂයේදී විඡේදාස මහතා එක්‌ වැඩසටහනකට  රු. 5 ක්‌ ගෙව්වා. එතැනින් පස්සේ කාලයක්‌ ගත වෙද්දී වැඩසටහනක්‌ වෙනුවෙන් රුපියල් දහය, විස්‌ස, පනහ, සියය, දෙසීය, පන්සීය සහ දාහක්‌ වශයෙන් වැඩිවුණා. දැන් නම් ඉතින්  අප ගැන සොයා බලන්නවත් කෙනෙක්‌ නැහැ.
රූපවාහිනිය හරහාත් අතිශය ඔබ ජනප්‍රිය චරිතයක්.
ඔව් 1983 දී රූපවාහිනිය ආරම්භ වීමත් එක්කම  ‘නන්දන වින්දන’ විකට වැඩසටහන පටන් ගත්තා. ඒ හරහා තමා අපි ප්‍රේක්ෂකයින් අතරට ගියේ.

එදා රටක්ම හිනැස්සුවා. අද අපි ගැන බලන්න කවුරුත්ම නෑ.. අද මම අඬන්න බැරිකමට හිනාවෙන තවත් මනුස්සයෙක් විතරයි.

සිනමාවටත් ඔබ එනවා. 

ඔව්. මුලින්ම 1951 වර්ෂයේ දී   බණ්‌ඩා නගරයට පැමිණීම චිත්‍රපටයෙන් තමා මම සිනමාවට එන්නේ. ඊට පස්සේ  සිකුරුලියා, ජීවන ගංගා, සමාජ සතුරෝ, චූඩා මාණික්‍ය, සමුගනිමි සැමියනි, ශීත සමීරේ ඇතුළු චිත්‍රපට හැටක විතර මම රඟපාලා තියෙනවා.

කොහොමද කලාව එක්ක ගෙවුණු කාලය?
හ්ම්.. සුන්දරයි. මම නොගිය රටක් නැහැ. රාජ්‍ය නායකයන්ගෙන් වගේ ම සෑම තරාතිරකම රසිකයන්ගෙන් පුදුම ආදරයක් මම ලැබුවා. මේ සියල්ල ඉතින් කලාව නිසා තමයි. 

ලැබුණු ඇගයීම් එහෙම 
සම්මාන ඉතින්  මාධ්‍ය කලා කීර්ති, නාට්‍ය සූරී, දේශබන්ධු, කලාභූෂණ යන සම්මාන මට ලැබිලා තියෙනවා. 

අද මොකද හිතෙන්නේ ජීවිතය ගැන?
මගේ සාමාන්‍ය ජීවිතය ගත්තොත් නම් මම  ගොඩක් නිහඬ කෙනෙක්. මිනිස්සු වෙච්චි අපි නිතරම ඉන්නෙ ප්‍රශ්න එක්ක. එදා මිනිස්සු හිනැස්සූ මම අද අඬන්න බැරිකමට හිනාවෙන තවත් මනුස්සයෙක් විතරයි. 
ආදරණීය බර්ටි ගුණතිලක කලාකරුවාණන්ට නිරෝගිසුව... දිගාසිරි.. දේශය හදසර අපි හැමෝගේම ප්‍රාර්ථනාවයි...

► Text – Anusha Ranasinghe   / Pic - Internet

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00