2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

රටක් නැලවූ මගේ තාත්තා දැන් දැඩිසත්කාරයේ

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

අයිවෝ ඩෙනිස් නම් ප්‍රවීණ කලාකරුවා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් පවතී. මේ පිළිබඳව ඔහුගේ ආදරණීය පුතනුවන් වූ තුසිත පැස්කුවල්ගෙන් විමසීමක් කළෙමු. 

තුසිත දැන් කොහොමද තාත්තාට...?
තාත්තාට තාමත් එතරම් ගුණයක් නෑ. තාමත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තාත්තා ප්‍රතිකාර ගන්නවා.


මොකද්ද තාත්තාට එකපාරටම වුණේ...?
තාත්තා ස්නායු ආබාධයකට ප්‍රතිකාර ගනිමින් හිටියේ. වයසත් එක්ක තාත්තා නිතරම විසිවෙන තත්ත්වයකයි හිටියේ. මේ නිසා තාත්තා ගැන අපි හැමවෙලේම සොයා බලමිනුයි හිටියේ. රෝග තත්ත්වය නිසාම තාත්තා වැඩිපුර එළියට ගියෙත් නෑ. ගේ ඇතුළේ තමයි ඇවිද ඇවිද හිටියෙත්. කොහේ හරි ගියත් තාත්තා එක්ක මාත් ළඟින්ම ගියා. හැමදාමත් රෑට මගේ ඇහැ පියවෙන්නේම නෑ. මම නිදියන්නේ තාත්තා ළඟින්මයි. ඒ තරමටම අපි බයේ හිටියේ. කොහොමහරි 30 වැනිදා උදේ මහන්සියටම ඇහැ පියවෙච්චි වෙලාවේ තාත්තා එළියට යන්න ගිහින්. ඒ වෙලාවේ තාත්තා මට කතා කළේ නෑ. කොහොම හරි තාත්තාව වැටිලා. ඒ වැටිච්ච පාර තාත්තාගේ ඔළුව වැදිලා ලේ ගැලීමක් වුණා.

අයිවෝ ඩෙනිස් ගැනපුතු තුසිත හැඟුම්බරව කියන කතාව

ඊට කලින් තාත්තා හොඳට කතා කළාද...?
අනේ ඔව්... තිස් වැනිදා උදේ නැගිටලා මම තාත්තාට කිරි එකක් හදලා දුන්නා. අපේ තාත්තා කිරි බොන්නේ නිවලා. තාත්තා ඒකත් බිව්වා. බීලා ඉවරවෙලා ඉදිද්දී තමයි මම රෑ නිදි මරපු නිසාම දෝ මන්දා මට පොඩ්ඩක් නින්ද ගියා.

ඩෙනිස් මහත්තයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා නේද...?
ඔව්... මට අක්කා කෙනෙක් ඉන්නවා. එයාගේ නම ගීතා නිමානි. අක්කා විවාහවෙලා ඉන්නේ. එයාට එක දරුවෙක් ඉන්නවා. මම විවාහ වෙලා නෑ. අපේ අම්මත් අසනීප වෙලා කාලයක් හිටියා. අම්මයි, තාත්තයි ළඟින් ඉඳගෙන මම තමයි බලාගන්නේ. ඉස්සර මම රස්සාවක් කළා. ඒත්... අම්මගේ අසනීපයත් එක්ක අම්මා එකතැන් වුණා... ඒ නිසා අම්මව බලාගන්න ඕන නිසා මම ගෙදර නතර වුණා. මීට අවුරුද්දකට විතර උඩදී අම්මත් නැතිවුණා. අම්මගේ නැතිවීමත් එක්ක තාත්තා හිතින් ගොඩාක් දුක් වුණා.

කලාකරුවෙක් විදිහට තාත්තා හම්බ කරගත්ත දෙයක් නෑ

ගෙදර ඉන්න දවස්වල ඩෙනිස් මහත්තයා එයාගේ සින්දු එහෙම ගායනා කරනවා නේද...?
ඔව්... ඔව්... තාත්තා හරි ආසාවෙන් විනෝදෙන් ඉන්න කෙනෙක්. එයා අපිත් එක්ක ඉස්සර වෙච්චි දේවල් කියනවා. සින්දු කියනවා. අක්කගේ දරුවට වුණත් තාත්තා හරි ආදරෙයි. ඒ දුවටත් ලස්සනට සින්දු කියන්න පුළුවන්. ඒ ගැනත් තාත්තා හිටියේ හරි සතුටින්.

මුලින්ම තාත්තාව නතර කළේ පෞද්ගලික රෝහලක නේද...?
ඔව්... 30 වැනිදා අපි ඉක්මනට තාත්තාව කොළඹ පෞද්ගලික රෝහලක නතර කළා. එතනදී තාත්තාට ඉක්මනින්ම සැත්කමක් කළා. ඊට පස්සේ තාත්තා දැඩි සත්කාර ඒකකයට මාරුකළා දවස් කීපයක්ම තාත්තා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර කළා. ඒත්... ඇත්තම කියනවානම්... තාත්තාව අපිට ජීවත් කරගන්න ඕනේ... පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයක තියන්න අපිට වත්කමක් නෑ... අපි ගොඩාක් අසරණ වුණා... කලාකරුවෙක් විදිහට තාත්තාට ලොකුවට හම්බකරගත්තු දෙයක් නෑ... ඉතින්... අන්තිමට අපි තාත්තාව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කරගත්තා.

ඔබේ පියා ගොඩාක්ම කිව්වේ සුනිල් ශාන්තයන්ගේ ගීත...? එහෙම නේද...?
ඔව්... සුනිල් ශාන්තයන්ගේ මිහිකත නලවාලා, ඕලු පිපීලා, කෝකිලයන්ගේ වැනි ගීතවලට තාත්තා ගොඩාක් ඇළුම්කළා. ගෙදර ඉන්න දවස්වලත් තාත්තා ඒ ගීත නිතරම මිමිනුවා. ඊට අමතරව තාත්තාගේම ගීත වුණු “දිය ඇල්ලේ ගීතාවේ, පුතුනේ* වගේ ගීතවලටත් තාත්තා ගොඩාක් කැමැතියි.

තාත්තා අසනීප වුණාට පස්සේ කලා ක්ෂේත්‍රයේ අය තාත්තා බලන්න ආවාද...?
මෙහෙමයි... වෛද්‍යවරු අපිට තාත්තා බලන්න එන අයව සීමා කළා. තාත්තා ඉන්නේ දැඩි සත්කාර ඒකකයේ. ඒ නිසා හැමෝටම බලන්න යන්නත් බෑ. හැබැයි කලා ක්ෂේත්‍රයේ කීපදෙනෙක්ම අපිට දුරකථන ඇමතුම් දීලා තාත්තා ගැන විස්තර ඇහුවා. තාත්තට දැන් වයස අවුරුදු අසූපහක් වෙනවා. තාත්තා කලාකරුවෙක් වීම ගැන හැමවෙලේම සතුටු වුණා. තාත්තා ගොඩාක් ආසයි කලාවට. ඒවගේ තාත්තා කලාවට ගොඩාක් ආදරය කරන කෙනෙක්.

► Text -Jayamali

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00