බාබි එහෙමත් නැත්නම් බාබිඩෝල් කියන්නේ පුංචි ගැහැනු දරුවන් අතර අතිශයින්ම ජනප්‍රිය සෙල්ලම් බෝනික්කන් විශේෂයකි.
සුරංගනාවියන්ගේ පෙනුමෙන් යුත් සුන්දර බොනික්කන් නිෂ්පාදනය කරන අමෙරිකා එක්සත් ජනපදයේ බාබිඩෝල් සමාගම පහුගියදා තමන්ගේ අවුරුදු 58ක ඉතිහාසය තුළ විප්ලවීය බාබිඩෝල් බෝනික්කියක හඳුන්වා දීමට පියවර ගත්තේය. ඒ අමෙරිකානු ඔලිම්පික් කඩු සටන් ක්‍රීඩිකාවක වන ඉබ්තිහාජ් මොහොමඩ්ගේ අනුරුව සහිත බාබිඩෝල් රුවය. මේ බොනික්කියගේ විශේෂත්වය වන්නේ, හිජාබයක් පැළැඳි ලොව මුල්ම බාබිඩෝල් බෝනික්කා එය වීමය.
බාබිඩෝල් සමාගම පසුගිය කාලය පුරා වීර කාන්තා චරිත යොදාගනිමින් ඉදිරිපත් කළ බොනික්කන් පෙළට විශාල ජනප්‍රියත්වයක් හිමිවුණි. ඉබ්තිහාජ්ගේ රුව රැගත් බාබිඩෝල් හඳුන්වාදෙනු ලැබුවේ එම වීර චරිත පෙළේ අලුත්ම බෝනික්කා ලෙසිනි.
ඉබ්තිහාජ් පසුගිය වසරේ බ්‍රසීලයේ රියෝ ද ජැනැයිරෝ නුවර පැවැති ඔලිම්පික් උළෙලේදී අමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් කඩු සටන් ක්‍රීඩාව නියෝජනය කළාය. එහිදී ඇයට හිමිවූයේ ලෝකඩ සම්මානයයි. කෙසේ නමුත් අදාළ තරගාවලිය මුළුල්ලේ ඇයට විශේෂ අවධානයක් හිමිවූයේ හිජාබයක් පැළැඳ ඔලිම්පික් තරගයකට සහභාගී වූ පළමු අමෙරිකානු ක්‍රීඩිකාව ලෙසිනි.
ඇගේ සාමාන්‍ය ක්‍රීඩා ඇඳුම වන සුදු පැහැ කලිසමත්, අත්දිග කමිසයත් මෙම බාබිඩෝල් බොනික්කියගේද ඇඳුම වන අතර දකුණු අතින් ක්‍රීඩාව සඳහා භාවිත කරන කඩුවද වම් අතින් තම ආරක්ෂිත හිස්වැස්මද බොනික්කිය දරා සිටී. ඒ සියල්ල අතරින් වැඩියෙන්ම කැපී පෙනෙන්නේ සුදු පැහැ හිජාබය අතරින් පෙනෙන සුන්දර සිනහවකින් මුව සරසාගත් ඉබ්තිහාජ්ගේ රුවයි. ඇගේ සැබෑ සමේ වර්ණය හා මනාව ගැලපෙන ලෙස බෝනික්කියගේද මුහුණ වර්ණ ගන්වා තිබේ.
“මගේම රූපය තියෙන, මගේ ක්‍රීඩා ඇඳුමින් සැරසුණු, බාබිඩෝල් කෙනෙක් දකින්න ලැබීම ගැන මට තියෙන්නේ පුදුම තරම් සතුටක්. ආරක්ෂිත හිස්වැස්ම, කඩුව වගේම එහි පිටුපස මගේ නමත් ලියැවී තිබෙනවා. මම ඒකට ගොඩක් ගොඩක් කැමතියි” ඉබ්තිහාජ් පවසන්නීය.
“මගේ අනිත් සතුට තමයි මෙච්චර කාලයකට හිජාබයක් ඇඳපු බාබිඩෝල් බෝනික්කෝ හිටියේ නැහැ. ඉතින් හිජාබයක් පළඳින කුඩා ගැහැනු ළමුන්ට තමන්ගෙ වගේම පෙනුමක් තියෙන බාබිඩෝල් බෝනික්කෙක් මිලදී අරන් සෙල්ලම් කරන්න දැන් අවස්ථාව තියෙනවා”.
ඇගේ රුව රැගත් බාබිඩෝල් නිර්මාණය කිරීමේ දී ශරීරයේ හැඩය පවා ඇයට සමාන වන ලෙසින් නිෂ්පාදනය කිරීමට බාබිඩෝල් සමාගම සැළකිලිමත් වී තිබේ. එනම් ඇගේ ඇහි බැම තාත්වික අයුරින් නිර්මාණය කිරීමටත් ශක්තිමත් කලවා සහිත දෙපා නිර්මාණය කිරීමටත් වැඩි අවධානයක් යොමුකොට තිබේ.
තම බෝනික්කිය හඳුන්වාදීමේ උත්සවයට එක්වෙමින් ඈ විශේෂයෙන්ම සඳහන් කර සිටියේ වීර කාන්තා චරිත ලෙස එළිදකින මේ බෝනික්කියන් පෙළට මීළඟට මලාලා යූසුෆ්සායි ඇතුළත් වනු ඇත යන්න තම විශ්වාසය බවයි.
ඩේලිමේල් ඇසුරෙන්
Text — Rajitha