2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

පද්මාවතීට තොණ්ඩුව වැටෙද්දී ඉන්දියාවෙන් රූ රැජනක්

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 129

පැරණි හින්දු කාව්‍ය ග්‍රන්ථයක් වන පද්මාවත් කාව්‍යයේ සඳහන් රානි පද්මිණී හෙවත් පද්මාවතී චරිතය අළලා සම්මානනීය හින්දි සිනමාවේදී සංජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ පද්මාවතී චිත්‍රපටය ලබන මාසයේදී ලොව පුරා තිරගත වීමට නියමිතයි. නමුත් එම චිත්‍රපටය හරහා ඓතිහාසික පද්මාවතී චරිතයට විශාල අසාධාරණයක් හා අපහාසයක් සිදුවන බව පවසමින් ඉන්දියාව පුරා දැවැන්ත විරෝධයක් මේ වනවිටත් ගොඩනැංවී තිබෙනවා. 

මෙම සිනමා පටයට සුපිරි බොලිවුඩ් නළු නිළි කැලක් සම්බන්ධ වී සිටිනවා. ඒ අතර දීපිකා පදුකෝන්, රන්වීර් සිං මෙන්ම ෂාහිඩ් කපූර්ද වෙනවා. චිත්‍රපටය සම්බන්ධයෙන් ගොඩනැඟී ඇති විරෝධය කෙතෙක් ද යත් දීපිකා පදුකෝන්ට ජීවිත තර්ජන පවා ප්‍රසිද්ධියේම එල්ල වෙමින් පවතිනවා. අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන හර්යානා ප්‍රාන්ත නායක සුරාජ් අමු ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇත්තේ දීපිකාගේ හිස තමන්ට ගෙනවුත් දෙන අයකුට ඉන්දීය රුපියල් කෝටි 100ක් පිරිනමන බවයි. 

දීපිකාගේ හිස ගෙනත් දෙන අයකුට ඉන්දීය රුපියල් කෝටි 100ක තෑග්ගක්

අතිශය සාහසික එවන් ප්‍රකාශ සිදුකළත් මේ බොහෝමයක් දෙනාට පද්මාවතී චිත්‍රපටයේ අන්තර්ගතය ගැන ලොකු අවබෝධයක් නොමැති වීමත් කැපීපෙනෙන තත්ත්වයක්. ආරංචි වෙන ආකාරයට පද්මාවතී චිත්‍රපටය සම්බන්ධයෙන් මේ තරම් විරෝධයක් ඉන්දියාව තුළ ඇතිවෙලා තියෙන්නේ රන්වීර් සිං මාධ්‍යයට කරපු ප්‍රකාශයක් නිසායි. මේ සිනමා පටය තුළ ඔහුට හිමිවී තිබෙන්නේ දුෂ්ට චරිතයක් ද යන කාරණයට පිළිතුරු දෙමින් රන්වීර් කියා තිබුණේ, චිත්‍රපටයේ ප්‍රධාන නිළිය සමඟ සරාගී දර්ශන වාරයක් ලබාදෙන්නේ නම් දුෂ්ට චරිතයක් ද නැද්ද යන වග තමන්ට අදාළ නොවන බවයි. 

රන්වීර් සිංගේ මේ ප්‍රකාශය පද්මාවතී චරිතයට සිදුකළ අපහාසයක් ලෙස ඇතැම් පිරිස් හුවා දැක්වීමත් සමඟ මේ විරෝධය හටගත්තා. ඒ වරද නිවැරදි නොකිරීමට අධ්‍යක්ෂවරයා වගේම රන්වීර් සිං කටයුතු නොකිරීම නිසා තමයි මේ විදිහට නැති ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නෙ. 

කොහොම නමුත් හින්දු රැජනක් වන පද්මාවතිය මුස්ලිම් සුල්තාන්වරයෙකු සමඟ විවාහ වීමේ සිද්ධියක් ඇතුළත් පද්මාවතිය ඉන්දියාවේ සංහිඳියාව දියුණු කිරීම වෙනුවට සංහිඳියාව තවත් ඈත්කිරීමට මේ වනවිටත් බලපා තිබෙනවා. බහුතර ඉන්දීය ජාතිකයන්ගේ නූගත්කමත්, ජාතිය හා ආගම වැනි කාරණා පිළිබඳ අධි සංවේදී මනසත් මේ තත්ත්වයට හේතු වී තිබෙන බවයි විචාරකයින්ගේ මතය වෙලා තියෙන්නෙ. 

අසල්වැසි ඉන්දියාව කියන්නේ කිහිපවතාවක්ම ලෝක රූ රජිනියන් බිහිකරපු රටක්. අයිශ්වර්යා රායි, ප්‍රියංකා චොප්රා වගේ ජනප්‍රිය බොලිවුඩ් නිළියන් පවා සිනමාවට පිවිසෙන්න කලින් ලෝක රූ රැජන කිරැළ ජයගන්න සමත්වූවන්. කොහොම නමුත් ගෙවුණු අවුරුදු දාහත තුළදීම තමන්ගේ රටින් රූ රැජනක් බිහිකරන්න ඉන්දියාවට බැරිවුණා. 2000 වසරේදී එම කිරුළ දිනාගත් ප්‍රියංකා චොප්රා තමයි අවසානයට ඉන්දියාවෙන් බිහිවුණු ලෝක රූ රැජන. 

අවුරුදු දා හතක රූ රැජන ඉඩෝරය නිමා කරමින් අලුත් ලෝක රූ රැජනක් ඉන්දියාවෙන් බිහිවී තිබෙනවා. මනුෂි චිලාර් නම් මෙම විසි හැවිරිදි යුවතිය වෛද්‍ය සිසුවියක්. චීනයට අයත් දිවයිනක පැවැති ලෝක රූ රැජන අවසන් වටයේ තරගයේදී ලෝකයේ සෙසු සියලු රටවල රූ රැජනන් අභිභවමින් පළමු තැන දිනාගන්නට මනුෂි සමත්වුණා. 

මේ ජයග්‍රහණයත් සමඟ වෙනිසියුලාව සමඟ කරට කර හිඳිමින් වැඩිම ලෝක රූ රැජනියන් සංඛ්‍යාවක් බිහිකරපු රටවල් දෙකෙන් එකක් වන්නට ඉන්දියාවට හැකිවී තිබෙනවා. ඉන්දියාවත් වෙනිසියුලාවත් ලෝක රූ රැජනියන් හයදෙනා බැගින් බිහිකර සම තත්ත්වයේ පසුවෙනවා. 

අලුත් ලෝක රූ රැජනගේ සමාජ සත්කාර ක්ෂේත්‍රය ගොඩක් දුරට සෞඛ්‍ය හා සම්බන්ධ එකක් වේවි කියලයි ලෝක රූ රැජන වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම අති දුෂ්කර ප්‍රදේශවල ලාභ නොලබන රෝහල් පද්ධතියක් බිහිකිරීම ඇගේ අනාගත අරමුණු අතර පළමු තැනක් ගෙන තිබෙනවා. 

 

►Text — Rajitha 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00