සුදත් කලාවට ආසාවක් කැමැත්තක් ඇතිවුණේ කුඩා කල සිටමද?
ඔව්... මම ඉගෙනගත්තේ මිනුවන්ගොඩ නාලන්ද මධ්‍ය මහා විද්‍යාලයේ. ඉස්කෝලෙ යන කාලෙම තමයි කලාවට මොකද්දෝ ආසාවක් මගේ ඇතිවුණේ. පාසැලේදී අපිට වඩා වැඩිමහල් අයියලා නාට්‍ය පුහුණුවීම් කරන දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ මම පහ වසරේ ඉඳිද්දී තව යාළුවෝ කීපදෙනෙක් එකතු කරගෙන යුගයක පෙරළියක් කියලා නාට්‍යයක් කළා. ඊට පස්සේ මම පාසැල් නාට්‍ය කීපයක්ම නිෂ්පාදනය කළා.
සුදත් පසුකාලයකදී වැඩි නැඹුරුවක් දැක්වූයේ සිනමාකරණයට... එහෙම නේද?
ඔව්... ළමා අවධියේදී මට වාලම්පුරි කියන චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මට තාම තමකයි එක්තරා පුවත්පතක දැන්වීමක් තිබුණා. ඒකට මම අයඳුම්පතක් ගෙදරට හොරා දැම්මා. මට කැඳවීම් ලිපිය ආවට පස්සේ මම ඒක ගෙදරට පෙන්නන්න බය වුණා. ඒ නිසා මම යාළුවෙක් එක්ක ගෙදරට හොරා ඒ සම්මුඛ පරීක්ෂණයට ආවා. ජීවිතේට තනියම කොළඹ ආපු පළවෙනි වතාව තමයි ඒ. ටික දවසකට පස්සේ ආයෙත් ලිපියක් ආවා. ඒ වතාවේ කොළඹ ආවේ අම්මලාගේ කැමැත්ත මත අම්මලත් එක්කයි. ඒ චිත්‍රපටයේ විජය කුමාරණතුංගයන්ගේ බාල කාලයට තෝරා ගත්තේ මාවයි. හැබැයි මොකද්දෝ අවාසනාවකටද වාසනාවකටද මන්දා ඒ චිත්‍රපටයේ ඒ චරිතය රූපගතකිරීම් කරද්දී මට ඉස්කෝලේ වාර අවසාන විභාග නිසා ගෙදරින් යැව්වෙ නෑ. ඒ නිසා මට ඒ චරිතය අහිමි වුණා.
ඒ වෙනුවට වෙනත් චරිතයක් සුදත්ට ලැබුණද?
ඔව්... ඒ චිත්‍රපටයේ වෙනත් පිරිමි ළමයෙක්ගේ චරිතයක් කරන්න මට ලැබුණා. ඒක රූගත කිරීම් බොහෝ වෙලාවට කළේ මුහුදු වෙරළ ආශ්‍රිතවයි. අනිත් ළමයි විවේක වේලාවේදී එකතුවෙලා වෙරළේ සෙල්ලම් කරද්දී මගේ ආසාව තිබුණේ කැමරාව පිටිපස්සට වෙලා ඒ වෙන අත්දැකීම් විඳගන්නයි. මට මොකද්දෝ ආත්මගත බැඳීමක් නිසාද මන්දා මම ඒ හැම දෙයක් දිහාම ඇහිපිල්ලමක්වත් නොගහ බලාගෙන හිටියා. එතකොට මගේ වයස අවුරුදු දොළහක් විතර ඇති.
පස්සේ තිස්ස අබේසේකරයන් ඔබේ හීන සැබෑ කරන්න පාර පෙන්නුවා නේද?
ඔව්... ඒක ඇත්ත. කලාව ගැන ආසාව තිබුණ මම දවසක් පත්තර කොළ කෑල්ලක තිස්ස අබේසේකරයන්ගේ ගෙදර ලිපිනය තියනවා දැක්කා. මම ඒ ගෙදර හොයාගෙන යද්දී එතුමා ගෙදර හිටියේ නෑ. ආයෙමත් මම ඒ ගෙදරට ගියා. මට තාම මතකයි ඒ මහත්තයා පඩිපෙළ බැහැලා මගේ ළඟට ඇවිත් මගෙන් කාරණාව ඇහුවා. අර ප්‍රතාපවත් මිනිසා මගේ ඉදිරියේ. මම මගේ කාරණාව කියද්දී පිටපතක් අරගෙන එන්නකො බලන්න. මම බලලා මොකක්හරි කරන්නම් එහෙම කියලා තිස්ස මහත්තයා මට දවසකුයි, වෙලාවකුයි කිව්වා.
ඒ දවසට සුදත් පිටපතක් අරගෙන ගියාද?
ගියානම් තමයි. හැබැයි බස් එකේ ගිහින් පාරේ ඇවිදගෙ යනකොට පැය බාගයක් පරක්කුයි. මොනදේ කරන්නත් කලින් වෙලාවට වැඩ කරන්න ඉගෙන ගන්න කියලා තිස්ස මහත්තයා මාව ගණන්වත් ගන්නේ නැතිව වාහනයට නැගලා ගියා. ගිහින් ටික දුරක් ගිහින් නවත්තලා මට කතා කළා... මම එක පිම්මේ වාහනේ ළඟට දිව්වා. තමුසේ කොහේ ඉඳන්ද ආවේ? කියලා ඇහුවා. මම මිනුවන්ගොඩ කියලා කිව්වා. කොච්චර දුර ඉඳන් ආවත් වෙලාවට වැඩ කරන්න පුරුදු වෙනවා කියලා තව දවසක් දුන්නා. මම එතුමාගෙන් ඉගෙන ගන්න පළවෙනි පාඩම තමයි ඒ. නැවතත් මම අර දෙවැනි දවසේ වෙලාවට ගිහින් පිටපත දීලා ඒකේ අඩුපාඩු අහගෙන බොහෝ දේවල් කතා කළා. හැබැයි එදාට පස්සේ මම අවුරුදු එකක් එකහමාරක් එතුමාට ලියනවා ලියනවා. ඒත් වැඩක් වුණේ නෑ. ඉස්සර අද වගේ ෆෝන් නෑ. බොහෝම අමාරුවෙන් කාසි හොයාගෙන දුරකථන කුටිවලින් කතා කරනවා. ඒත් වැඩක් වුණේ නෑ. හැබැයි මම ඒ උත්සාය අත්හැරියේම නෑ. කාලයක් යද්දී තිස්ස මහත්තයාට මාව වදයක් වගේම කරදරයක් වුණා.
ඒ කරදරයම සුදත්ට වාසියක් වුණා නේද?
ඔව්... දවසක් තිස්ස මහත්තයා මට පොඩි ලියුම් කෑල්ලක් දීලා මේක සෝමදාස මල්දෙනියට ගිහින් දෙනවා කියලා කීවා. සෝමදාස මල්දෙනිය කියන්නේ තිස්ස මහත්තයාගේ සහය අධ්‍යක්ෂකවරයා. මම හරිම ආසාවෙන් බෑග් එකකට ඇඳුම් ටිකකුත් දාගෙන කප්පින වලව්වට ගියා. ඒ යන අතරතුරේ මම අර ලියපු ලියුම කියවලා බලනවා. හිතවත් මල්දෙනිය. මෙය රැගෙන එන සුදත් සිනමාවට ළැදියාවක් දක්වන අයෙක්. මොහුව සහායකයකු වශයෙන් සම්බන්ධ කරගන්න. මොහුට ඉන්න තැනක් සාදා දෙන්න. තිස්ස කියලා ලියුමේ තිබුණා. මල්දෙනියට මම ලියුම දීලා එයා දිහා බලාන ඉන්නවා. ඇත්තම කිව්වොත් මම ගෙදරින් ආවේ ගොඩක් දුක් ගැහැට විඳින්න බලාගෙනයි. හැබැයි මල්දෙනිය මාව කාරුණිකව පිළිගෙන මට හොඳ කාමරයක් හදලා දුන්නා. මට ඒක හරිම පුදුමයි. මට මල්දෙනිය තිර පිටපතක් දීලා මම ඒක බලනවා. ටික වෙලාවක් ඇඳට වෙලා නිදාගන්නවා. තිස්ස මහත්තයත් දවස් කීපයක්ම කප්පින වලව්වට ඇවිත් රූගත කිරීම් කළා.
ඒ විරාගය චිත්‍රපටයේ නේද?
ඔව්... විරාගය චිත්‍රපටයේ තමයි. දවස් කීපයක් ගියාම මල්දෙනියගෙන් තිස්ස මහත්තයා මාව අහලා තිබුණා. එදා හවස මල්දෙනිය මහත්තයා මගේ ළඟට ඇවිත් මල්ලිගේ ඇඳුම් බෑග් එක ලෑස්ති කරගන්නකො කියලා කිව්වා. ඉතින් මම ඇඳුම් බෑග් එක ලෑස්ති කරගෙන ගියාම මාව ඒ ළඟ තිබුණ ගෙදරට ගිහින් දැම්මා. ඒක හොඳ පහසුකම් තියෙන ගෙයක්. හිටිය තැනට වඩා ගොඩක් පහසුකම් තියෙන තැනක්. ඒකත් මට පුදුමයි.
ඒ කියන්නේ විරාගය පුරාම සහාය අධ්‍යක්ෂකයෙකු විදිහට වැඩ කරපු සුදත් වින්දෙම සැප පහසුකම්?
නැහැනේ... ටික දවසක් ගියාම මම අර විදිහටම බෑග් එකට ඇඳුම් ටිකත් හදාගෙන මල්දෙනිය පිටිපස්සෙන් ආවා. ඒ වතාවේ කඩමළු වෙච්චි පැදුරු කෑල්ලක් ඉස්තෝප්පුවේ දාලා මට එතන නිදාගන්න කිව්වා. මට කප්පින වලව්වේ ඉස්තෝප්පුවේ බූරු ඇඳකට පැඳුරු කෑල්ලක් දාලා මට නිදාගන්න දුන්නා. රෑට මහ කළුවරේ. රැහැයියෝ කෑගහනවා. පාළු කප්පින වලව්වේ මම ඉස්තොප්පුවේ දවස් ගාණක් ගෙව්වා. ඒ දුක හරි කටුකයි. මේ හැම දෙයක්ම දමලා ගහල ගෙදර යන්න හිතුණ දවස් තිබ්බා. ඒත්... දුක විඳින්න තිස්ස මහත්තයා මට හුරු කළා. හැම වැඩකටම මම හුරු වුණා. පැය විසිහතරේම මම වැඩ. අවසානයේදී විරාගයේ මම නැතිවම බැරි කාර්මිකයෙක් වුණා. විරාගය චිත්‍රපටය අවසානයේදී මම සහාය සංස්කරණ ශිල්පියා විදිහටත් කටයුතු කළා.
කාලයක් යද්දී ඔබේ පළවෙනි ටෙලි නාට්‍යයේ තිස්ස අබේසේකරයන් රඟපෑවා. ඔබ අධ්‍යක්ෂක. මේ ගනුදෙනුව ගැන යමක් කිව්වොත්?
ඔව්... ඇත්ත. මන්දාරම් එළි ටෙලි නාට්‍යයේ තිස්ස සර් රඟපෑවා. ඒත් මට ඔහුව අධ්‍යක්ෂණය කරන්න බැහැ. ඔයා මට කියලා දෙනකම් මම කිසි දෙයක් කරන්නේ නැහැ කියලා තිස්ස මහත්තයා මට කිව්වා. එතුමාව මෙහෙයවන්න මට බැහැ. ඒත්... එතුමා මට ඒ අවස්ථාව ලබලා දුන්නා. මම රූපගත කිරීම් කරපු ආකාරය ගැන තිස්ස මහත්තයා බොහෝම පැහැදීමෙන් කතා කළා. ඊට පස්සේ මම අධ්‍යක්ෂණය කරපු නාට්‍ය කීපයකම තිස්ස මහත්තයා රඟපෑවා.
රටේ කලබල කාලේදී යුද විලක්කුව වැනි ටෙලිනාට්‍යය යාපනයට ගිහින්ම රූගත කිරීම් කරන අභියෝගය සුදත් බාරගත්තා?
ඔව්... අපි ගොඩක් වෙලාවට ඒ ඒ පැතිවලට සමීප තැන් රූගතකිරීම් කරන්න යොදා ගත්තා. ඉතින් මට ඕන වුණා යුද්ධය පවතින මොහොතක යාපනයටම ගිහින් මේ ටෙලිනාට්‍ය කරන්න. ඒ වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශය මට අවසරය ලබලා දුන්නා. හැබැයි මුලින් අවසර ලැබුණෙත් නෑ. කොහෝමහරි මුලින්ම ඒ පැත්ත බලාගන්න කියලා ගෙදරට කියන්නෙත් නැතුව ජීවිත අවදානම අපි ගන්නවා කියලා ආරක්ෂක අමාත්‍යංශයේ අත්සන් කරලා අපි යාපනයට ගියා. ඒක ලොකු අත්දැකීමක්. උදේ කතා කරපු නිලධාරියා හවස මළකඳක් විදිහට දැකපු අවස්ථා තිබුණා. යුද්ධයේ තිබුණු භායානකත්වය අපි යාපනයේදී වින්දා. යුද්දෙ සැබෑ තත්ත්වය අත්වින්දා. යාපනයේ රූපගත කිරීම් කරද්දී අපිට වටේටම ආරක්ෂාව ලබලා දුන්නා. එකපාරක් අපිව රත්මලානෙන් යාපනයට ගුවන් යානාවකින් අරගෙන ගිහින් යාපනයට අපිව බස්සලා ගුවන් යානය ආයෙත් එද්දි ඒකට බෝම්බ ගහලා තිබුණා.
සුදත්ගේ නිර්මාණ බොහෝමයක් ගැමි හුරුවට නැඹුරු වුණ නිර්මාණයන්. මේකට විශේෂ හේතුවක් තියෙනවද?
මට මේ ඒකාකාරී රටාවෙන් මිදෙන්න ඕන වුණා. මම දකුණට ප්‍රියයි. ඒ භාෂාවට, ඇඳුම් පැලඳුම්වලට ප්‍රියයි. හැබැයි මම දකුණේ මිනිහෙක් නෙමේ. ඉතින් මට ඕන වුණේ විනෝදය විතරක්ම නෙමේ. ජීවිතයට රසවින්දනයක්, දැනුමක් ලැබිය යුතු නිර්මාණ කරන්නයි. ගැමි නිර්මාණ කරද්දී විශාල වියදමක්, මහන්සියක් ගන්න ඕන. ඒත් මම අභියෝගයන් බාර ගත්තා. නිරානන්දය, බැද්දෙ ගෙදර, උතුවන්කන්දේ සරදියෙල්, කරුවල ගෙදර, ස්වයංජාත වගේ නිර්මාණ ඒ හරහා මම අධ්‍යක්ෂණය කළා.
මේවනවිට ඔබ නිර්මාණ කොපමණ සංඛ්‍යාවක් කරලා තියෙනවද?
මේවනවිට මම ටෙලි නාට්‍ය විසි එකකුත්, වාර්තාමය රූපවාහිනී නිර්මාණ විසි එකකුත් සිනමා නිර්මාණයකුත් කෙටි චිත්‍රපට දෙකකුත් ප්‍රචාරක නිර්මාණ සියයකට වැඩි ප්‍රමාණයකුත් නිර්මාණය කරලා තියෙනවා.
දශකත්‍රයක සුදත් රෝහණ නිර්මාණාලංකාරය ප්‍රසංගය පිළිබඳවත් යමක් කිව්වොත්?
මේ ප්‍රසංගය මගේ බොහෝම ළඟම හිතවතුන් කීපදෙනෙක් එකතුවෙලා කරන කටයුත්තක්. දැන් මගේ කලා ජීවිතයට දශක තුනක් සම්පූර්ණ වෙනවා. මේ කටයුත්තට ආචාර්ය එඩ්වින් ආරියදාස, සෝමවීර සේනානායකය, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, දීප්ති විජේතුංග මහත්වරැන් ගොඩාක් මහන්සි වෙනවා. ඒක නොවැම්බර් මාසේ විසි හයවැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සවස 6.00ට පවත්වන්න කටයුතු සංවිධානය කරලා තියෙනවා. නිර්මාණවේදීන් පිළිබඳව කතා කරන්න තවත් නිර්මාණවේදීන් පිරිසක් එකතු වෙලා. ඒක තමයි මේ කටයුත්තේ විශේෂත්වය විදිහට මමනම් දකින්නේ. තමන්ගේ සහෝදර කලා ශිල්පියෙක් විදිහට මේ කරන කටයුත්තට මම ඒ මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට හිස නමා ආචාර කරනවා.
► Text – Dishani / Pic – Sumudu