2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

නිළි නංගිගෙ ටින්ට් කිරිල්ලෙන් අධ්‍යක්ෂකට මලේ මල

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 124

අපි පහුගිය සතියෙත් කතා කළේ අද කලා ක්ෂේත්‍රයේ නියැලී සිටින ශිල්පීන් ශිල්පිනියන් බොහෝ දෙනෙකුගේ කැපවීම හා වෘත්තියට තිබෙන ගරුත්වය ගැනනෙ.
මේ පරපුරේ ඇතැම් අයගේ ක්‍රියාකාරකම් ගැන කතා කරලා වැඩක් නැහැ.

ඔන්න පහුගිය දවසක එක්තරා තරුණ නිළියක් දර්ශන තලයට ඇවිත් තියෙන්නෙ කොණ්ඩෙ ටින්ට් කරගෙන. ඒකෙ එයා රඟපාන්නෙ ගැමි කෙල්ලෙක්ගේ චරිතයක්. ඒකෙ ෂූටිං භාගයක් කරලත් ඉවරයි.
අධ්‍යක්ෂකට මල පනින එක අහන්න දෙයක් නෙවෙයිනෙ.

ඇයි නංගි මේ වගේ ගොන් වැඩ කරන්නෙ. මේකෙ ෂූටිං ඉවරවෙලා ඔයාගෙ කොණ්ඩෙ ටින්ට් කරගන්න බැරිනම් ඔයාගෙ මූණෙ ටැටූ ඇඳගත්තත් මට කමක් නැහැ. ඒත් මේ වැඩේ අවුල් කරගන්න එපා. අපි කොහොමද කොන්ටිනියුටි තියාගෙන ඔයාගෙ ෂූට් එක ඉස්සරහට ගෙනියන්නෙ... 

අයියෝ ඒක ලොකුවට හිතන්න එපා අයියෙ, ඕකට මොනවා හරි විකල්පයක් හොයාගනියි. ආට් ඩිරෙක්ටර්ට කිව්වොත්, කෙල්ල කිව්වලු.
මගේ කොණ්ඩෙ ටින්ට් කරගන්න මම කාගෙන්වත් අවසර ගන්න ඕනෙ නැහැනෙ.. කියාගෙන මේ නිළිය කොස්ටියුම් මාරුකරගන්න ගියාලු.

 

කාටවත් ඇහෙන්න කියන්න එපා ඕයි..

මේ දිනවල අලුත්ම චිත්‍රපටයක වැඩ කටයුතු කරගෙන යනවලු උඩ පළාතෙ දර්ශන තල කීපයක. ඒත් වැස්ස නිසා කලින් සැලසුම් කළ විදිහට වැඩ ටික කරගෙන යන්නෙ අමාරුවෙන්.
දවසකට සීන් දෙක තුනක් අරගෙන කට්ටිය ඉතින් විවේකීව නොයෙකුත් විදිහට කාලය ගත කරනවලු.

ඔන්න ඔය වගේ විවේකීව ඉන්න වෙලාවක තරුණ ශිල්පියෙක් එකපාරටම කිව්වලු, මට හොඳ අදහසක් ආවා. වැස්ස නිසා අපි වැඩ නොකර ඉන්න ඕන නැහැ. අපි මේ කතාවෙ වැස්ස සීන් ටික තෝරලා ඒවා ගමුකො, කියලා.
ඔතන හිටිය ප්‍රවීණයෙක් ඇහුවලු වැස්සෙ වැඩ කරන්නෙ කොහොමද කියලා.

ඕවා පිට මිනිස්සු ඉස්සරහ එහෙම කියනවා නෙවෙයි, තමුසෙට පිස්සු හැදීගෙන එනවා කියලා හිතයි, ඒ ප්‍රවීණයා ඔහුට කිව්වලු.

 

සර් නොකිව්වොත් බඩුම තමයි

එක්තරා කාලෙක ඉහළින්ම වැජඹුණු රජයේ ඇතැම් රූපවලට ප්‍රසිද්ධ ආයතන පසුකලෙක දැඩි කඩාවැටීමකට පත්වුණේ දේශපාලන මැදිහත්වීම් නිසා කියලයි බොහෝ අය විශ්වාස කරන්නෙ. 
ඒත් ඒවා නිවැරදි කරන්නට ඉදිරිපත් වුණු අලුත් පාර්ශ්වයන් විසින් ද එවැනි වැරදි සිදුවන බව අකමැත්තෙන් වුවද පිළිගන්නට වෙනවා.

විශේෂයෙන් රජයේ විද්‍යුත් ආයතනයක, ඒ කියන්නෙ මුලින් කී රූපවලට ප්‍රසිද්ධ ආයතනයකට පත් වී සිටින චරිතයක් නටන පිස්සුව නිසා එම ආයතනය දැඩි පිරිහීමකට ලක්වෙලා.
ඒත් අර ඉහළ නිලධාරියා ඉහළින්ම පත්වුණු නිසා ආයතනයේ සෙසු ලොක්කොත් කිසිම දෙයක් කරකියාගන්නට බැරි විදිහට අසරණ වෙලා.

මේ නිලධාරියාට පුදුම සර් පිස්සුවක්ලු තියෙන්නෙ. එයාගෙ ඩ්‍රයිවර්ට, පියන් මහත්තුරුන්ට එයාම කියනවලු උදෙන්ම එයා එනකොට ගුඩ් මෝනිං සර් කියන්න කියලා.
ගුඩ් මෝනිං කෑල්ල හෙමින් කිව්වට කාරි නැහැ, හැබැයි සර් කෑල්ල ඇහෙන්න කියනවා එහෙමලු තරවටු කරන්නෙ.

ඔන්න ඊයෙ පෙරේදා එහෙම නොකරපු පියන් මහත්තයෙකුට වැඩේ වැරදිලා. විධායක නිලධාරීන්ගෙන් එවැනි ප්‍රතිචාර නොලැබෙන විට ඔවුන් මොනවහරි චෝදනාවකට ලක්කරලා නොයෙක් තැන්වලට තල්ලු කරනවලු.

 

අනේ අනිච්චං කලාකාරයෝ...

අපේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් මේ රටේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරලා තියෙනවා හදිසි රෝගාබාධ තත්ත්වයක් නිසා. දවස් දෙක තුනක් යද්දි හොඳටම අමාරුවෙලා ICU එකට දාලලු. කලබල වෙච්ච පවුලෙ කට්ටිය ප්‍රසිද්ධ පුද්ගලයෙකු ලවා රෝහල් බිල අඩු කරගන්න බැලුවලු, ඒත් එයාව අල්ලගන්නම බැහැ. බැරිම තැන ICU එකෙන් බලෙන්ම ටිකට් කපාගෙන, මේ නිළියගෙ දරුවෙක් ලක්ෂ 6ක බිල ගෙව්වලු.

කල්ලිවලට අයිති නොවුණොත් කලාකරුවන්ට ඉතින් තමන්ගෙ හිසට තමන්ගෙ අත තමයි. මීට අවුරුදු ගාණකට කලින් ප්‍රවීණ, ජනප්‍රිය ගායන ශිල්පියෙකුත් රෝහල්ගත කරලා, බිල නැග්ගලු ලොකු ගාණකට.
මුළු බිල නොගෙවා රෝහලෙන් ටිකට් කපලා ගෙදර ආපු ගායකයා පොරොන්දුවෙලා තියෙනවා ඉතිරි කොටස ඉක්මනින් ගෙවනවා කියලා.
ඒත් ගායකයාට විරුද්ධව නඩු දාලා. හරියට නඩු දවසට කලින් ගායකයා මළා.
ඒත් ඒ මුදල පවුලේ අය ගෙව්වා කියලයි ආරංචිය.

 

ඕඩීසී හිටියත් බැල්කනි වගේ

අඩි හයකටත් වඩා උස අය සමාජයේ විවිධ තැන්වලදි කැපීපේනවනෙ. කලා ලෝකයේ අයගෙ හිතවතෙකුත් ඉන්නවා ඒ වගේ උසම උස මිත්‍රයෙක්. ප්‍රිය සාදවලදි මුණගැහුණ වෙලාවට ඉතින් කවුරුත් ඔහුව බයිට් එකට ගන්නෙ ඔහුගෙ අහිංසකකම නිසාමයි.

මෑතකදි ඔය වගේ සාදයකදි කවුදෝ කෙනෙක් ඔහුගෙන් අහලා ඔයාට බොක්ස් එකේ ෆිල්ම් බලන්න බැහැ නේද කියලා.
ඔහු පටගාලා උත්තරයක් දුන්නා, දැන් හෝල්වල හයිරූෆ් බොක්ස් හදලා තියෙනවා කියලා. 
හැබැයි ලස්සනම කතාව කියවුණේ ඊටපස්සෙ.

අපේ යාළුවා ෆිල්ම් බලන්න ගියාම යන්නෙම ඕඩීසී එකට, ඒත් බලන්නෙ බැල්කනියෙන්. මොකද ඒ තරම්ම උසයිනෙ.

► Text - Mithra