2017 ජනවාරි 07 වන සෙනසුරාදා

මැස්සා කයිද රෝස් පාන්

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 101

අපේ මීමැසි බාප්පගේ දුවට කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකක් කරන්න ඇවිල්ලා. මී මැසි බාප්පා නංගිත් එක්ක ඇවිල්ලා මට මෙහෙම කිව්වා.
- අනේ පුතේ මෙන්න මේ නංගිට වැඩ වගයක් තියෙනවා. උඹ මේ නංගිව එක්ක පලයං කියන කියන තැන්වලට. උඹ විතරයි ඉන්නෙ රටේ ලෝකේ ගැන දන්න එකෙක් මේ අහළ පහළ.
බාප්පා එහෙම කියද්දී මට පොඩි ගැම්මකුත් ආවා. හැබැයි ඒත් එක්කම බාප්පා නංගිගෙත් කනට කරලා කියපු කතාව මට ඇහුණා. 
- ඕකා ඇවිල්ලා රටේ ලෝකෙ ගැන දන්න නිසාම ඕකා රට ලෝකේ කාලා වතුර බීපු එකෙක්. ඒ නිසා මොන දේ වුණත් උඹ පරිස්සම්වෙලා ගෙදර වරෙන් හරි.
බාප්පා ගියාට පස්සේ මම ඇහුවා කොහෙද යන්න ඕන, මොනවද කෙරෙන්න ඕන වගේ දේවල්. 
- මෙහෙමයි අයියා. මට යන්න ඕන මුලින්ම කෞතුක වස්තු තියෙන තැනකට. 

- කෞතුක වස්තු කිව්වේ?
- ඇයි අනේ පරණ දේවල්. ඇන්ටික් දේවල්.
- අප්පද බොල මැස්සා කයිද රෝස් පාන් කිව්වලු. නංගි අපේ ආච්චිගෙයි සීයගෙයි ෆොටෝ එකක් ගහගත්තෙ නැද්ද?
- ඇයි?
- ඇයි බං ඒ දෙන්නනේ ගෙදර ඉන්න කෞතුක වස්තු දෙක. පරණම අය...
නංගි මගේ දිහා බැලූවේ මාර ගරු බැල්මකින්. කොහොම හරි අපි කෞතුක වස්තු තියෙන තැනකට ගියා. අපි ඉතින් මැස්සො නිසා ටිකට් ගන්න ඕනත් නෑ. එතන තිබුණේ අපි හීනෙකින්වත් හිතන්නෙ නැති කෞතුක වස්තු. අනාගත පරපුරට දැනගැනීම පිණිස ඒවා නම් කරලා යටින් පොඩි පොඩි කැප්ෂන් කෑලිත් තිබුණා.

උදැල්ල -  
උදැල්ල වනාහී අතීතයේ විවිධ වැඩ සඳහා භාවිත කළේය. කඹුරු වැඩ සඳහාද වත්තේ පිටියේ වලක් කපා ගැනීම සඳහාද වත්තේ බල්ලෙක් කැත කර ගිය විට වැලි පොඩ්ඩක් උඩින් දමා ගැනීම සඳහාද උදැල්ල භාවිත කරන ලදී. එහෙත් මේ උදැල්ල දැන් සම්ප‍්‍රදායික වැඩවලට යොදාගන්නේම නැත. දැන් උදලු ඉඳ හිට දැකගන්නට ලැබෙතත් ඒවායින් කරන්නේ කුඹුරැ කෙටීම හෝ වල් පැල රැහීම නොවේ. දැන් උදැල්ලෙන් කෙරෙන එකම දෙය නම් කවුරැන් හෝ වැඩක් කරමින් සිටින කල්හී උදැල්ල දැමීමය. මේ කර්තව්‍ය සඳහා කෙළ පැමිණි දස්සයෝ සමාජයේ එමට වෙති.

බාල්දිය -  
බාල්දිය කියලා බඩුවක් (භාණ්ඩයක්) ඉස්සර තිබිණ. එය යොදාගන්නට ඇත්තේ ළිදෙන් වතුර ගන්නට යැයි දැන් දැන් පරීෂකයෝ සොයා ගනිමින් යයි. බාල්දියට ඒ නම ලැබී ඇත්තේද ඒ නිසා බව ඔවුහු කියති. ඇල් දිය බා ගන්නා උපකරණය යන අර්ථයෙන් බා -  ඇල් - දිය යන වචන තුන බාල්දිය වුණා යැයි පට්ට ප‍්‍රවීණයෙක් නළල රැළි ගන්වා කියා ඇත. එහෙත් දැන් ඇල්දියත් නැත, ළිනුත් නැත. ඉතින් බාල්දි කොයින්ද? බාල්දිත් තිබුණද දැන් ඒවාද යොදාගන්නෙ වෙනදා වාගේ ඇල්දිය බාගන්නට නොවේ. බාල්දිය පෙරළන්නටය. බාල්දි පෙරළීම ඇවිල්ලා සමහර රටවල්වල මේ වෙද්දී ජාතික ක‍්‍රීඩාව බවට පෙරළි ඇත. 

කොස්ස -  
කොස්ස වනාහී නිවාස තුළ කුණු ඇමදීම සඳහා පෙර කාලයේ අපේ ගෙවිලියෝ යොදාගත් කදිම උපකරණයකි. දැන් ඉතින් ගෙවිලියෙක් බේතකටවත් හොයගන්නට නැති කල කොහු කොහේ දැයි කියා මිනිසුන් අපෙන් අසයි. එසේ නොකියන්න. කොහු කර්මාන්තය මෑත කාලීනම දේශපාලකයන්ගේ අතට ගිය බවට ආරංචි ලැබිණි. මෑතකදී කරන ලද සමීක්‍ෂණයකින් හෙළි වුයේ වැඩේ ඇත්ත කියලාය. දේශපාලකයෙක් කොයියම්ම හෝ වැඩ කටයුත්තකට එන්න කිව්වොත් ඔවුන් ඇවිල්ලා කොස්සක් ඉතිරි කර යන්නේය. උන් ඇවිල්ලා ගිය ගමන් මිනිස්සු කියන්නේ මෙතන මොකක් හරි කොස්සක් තියෙනවා කියලාය. ඒ අනුව දේශපාලකයෝ කොතනද ඒ හැමතැනම කොහු මිටි මිටි ඇත.

කෝප්ප -  
කෝප්ප ඇවිල්ලා පෙරකාලයේ විවිධ දියර වර්ග බීම සඳහා භාවිත කරන ලද බඩුවකි. තේ, කෝපි, වතුර, සිසිල් බීම විතරක් නොවේ සමහරැ ඊටත් වඩා සැර දේවල් කෝප්ප වල දාගෙන බොති. සමහර කාලවලදී තමන්ගේ ගොවි අස්වැන්න අලෙවි කරගන්නට නොහැකි ගොවීහු වස පවා කෝප්පවල දාගෙන රෝස් පාන්වල පොඟව පොඟවා කා ඇති බව තතු දත් ආරංචි මාර්ග වලින් සනාථ වෙයි. දැන් කෝප්ප වලින් ඔය එකක්වත් කරන්නේ නැත. දැන් කෝප්ප වලින් කරන්නේ හෝදන එක පමණි. අද කාලයේ දරුවන් ඉන්න බොහෝ අම්මලාගේ ජනප‍්‍රියම සෙල්ලම කෝප්ප සේදීමය. මොන්ටිසෝරිය ඉදිරිපිට, සිස්සත්තේ පංතිය ගාව, පාසලේ ප‍්‍රාථමිකය ගාව  ආදි බොහෝ තැන් වල ගැහැනු කෝප්ප සෝදනු දැක ගත හැකිය. සමහර අය කෝප්ප මදිය කියලා මහ පාරවල් අයිනට ගෙනැවිත් හැලි වලංද සෝදන අවස්ථා නැතුවා නොවේ. ඇයි සමහර ගෑනු ඔෆිස්වලට අම්බානක කෝප්ප හෝදයි. ඇතැම් අයට ඔෆිස් වලින් පඩි ගෙවන්නේ කෝප්ප හොදනවාටය. ඒ අනුව බැලු කල කෝප්ප සේදීම පට්ට රුකියාවකි. කුඩා දරුවන් සිටින ඇතැම් අම්මලාගේ කෝප්ප සේදීම දරුවන් ලොකු වෙලා තනියම පාසැල් යන්න ගත්තාට පසුව අහෝසි වී යන්නේය. මොකද ගෙදරට වෙලා ඉඳලා කෝප්ප හෝදන්නට බැරිය. ඒ සෙල්ලම කරන්න කීප දෙනෙක්  ඕනෑය. ඉතින් එහෙම වෙලාවට කාන්සියට වාගේ වැට ගාවට සෙට් වී අල්ලපු වත්තේ ගැහැනිය සමඟ කෝප්ප හේදීම කෙරැණද එය අර තරම් සාර්ථක නැත. බොහෝ ගැහැනුන්ට නැවත මෙවැනි කෝප්ප සේදිල්ලක් උරුම වන්නේ බොහෝ වයසට ගියායින් පසු මාසෙකට පාරක් සිල් ගන්න ගියාමය. හාමුදුරැවෝ සසරින් එතෙර වන බණ කියද්දී සමහර ආච්චි අම්මලා අහුමුළුවල ටැප් ඇරගෙන පොල් මුඩු වලින් අතුල්ල අතුල්ලා හෝසෙට පම්පෝරි කෝප්ප සෝදනු දැක බලාගත හැකිය. 
තව බොහෝ දේ බලන්න තියෙනවා. ඒ නිසා ලබන සතියෙත් එන්න ඈ. අපි එතකම් කෞතුක බඩු මාලිගාවේ ඉන්නම්.

මම
හොස්ස ළඟන් ගිය මැස්සා.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00