අපේ ප්‍රවීණ රංගන ශිල්පී විකට රජා ටෙනිසන් කුරේ හිත හොඳ සොඳුරු සංවේදී මිනිසෙක් බව ඔහු ඇසුරු කරන හැමෝම දන්නා කාරණයක්.
ඕනෑම කෙනෙකුගේ දුකට සැපට ඉදිරිපත් වෙන්න ටෙනී පැකිලෙන්නෙ නැහැ.
හිතවතෙකුගේ මළගෙයක් ආරංචි වුණත් එහෙමයි. නමුත් ටෙනීගෙ හිතවතෙකුගේ පවුලේ කෙනෙක් නැතිවුණාම ඒ හිතවතුන්ම ටෙනීට කෝල් කරලා කියනවලු, ඔහුට මළගෙදරට එන්න එපා කියලා.
මොකද ටෙනී යන මළගෙවල් වෙනත් සිරියක් ගන්නවලු ඔහු ගියාට පස්සෙ.
ඒත් ටෙනීට පහුගියදා හරිම ඇබැද්දියක් සිද්ධ වුණා.
ඔහුගේම ගෙදර හිටපු ඔහුගෙ නැන්දම්මා නැතිවුණා. මේ මළගෙදර දාලානම් ටෙනීට කොහේවත් යන්න බැරිවෙලා.
කලා ලෝකයේ ඇතැම් අය පෙන්නන මුහුණු නෙවෙයි ඒවා පිටුපස තියෙන්නෙ. තියෙන්නෙ වෙනස්ම ආකෘති. ඒවා මෙලෝ මනුස්සයෙකුට වෙලාවකට හිතාගන්නවත් බැහැ.
ප්‍රවීණ ගායක ගායිකා යුවළකගේ තරුණ පුතෙකුට සිද්ධ වුණ ඇබැද්දියකුයි මේ කියන්න යන්නෙ. තරුණයා දක්ෂ ලෙස ගායනා කරනවා. ඒත් තමන්ගෙම කියලා ගීතයක් පටිගත කරලා නැහැ.
ඔහුගෙ තාත්තා තනු නිර්මාණය කරපු ගීතයක් මුලින්ම ඔහුගේ හඬින් පටිගත කරන්න පුතාට ලොකු ආසාවක් තිබුණා.
ගීතය පැරැණි එකක්. ඔහුගෙ තාත්තා වගේම ගීතය රචනා කළ ශිල්පියාත් අද ජීවතුන් අතර නැහැ. ගීපද රචකයාගේ බිරියට කතා කරලා මේ ගැන කිව්වලු.
අනේ අපෝ ඒ සින්දුව ඔයා අලුතින් කරනවනම් මට ලක්ෂයක් ගෙවන්න, කියලා ඇය ගත්කටටම කිව්වලු.
සින්දුව ලිව්වෙ ඇගේ සැමියා බව ඇත්ත. ඒත් තනුව මගේ තාත්තාගෙ. සින්දුවට මටත් අයිතිවාසිකමක් තියෙනවනෙ, ඔහු එහෙම හිතලා අපූරු වැඩක් කළා.
ඒ ගීතයේ තනුවට වෙනත් වචන දාලා ඔහු ගීතය පටිගත කළා. ප්‍රශ්නෙ එතනින්ම කෙළවර වුණා
ඔන්න පහුගිය දවසක ප්‍රවීණ රංගන ශිල්පියෙක් රූපගත කිරීමකට සම්බන්ධවෙලා හිටියලු. හරියට ෂූටිං වෙලාවෙම එයාගෙ ෆෝන් එකට කෝල් එකක් ඇවිත්. හැබැයි ෆෝන් එක තිබුණෙ සහාය අධ්‍යක්ෂක ළඟලු.
කෝල් එක ඇවිත් තියෙන්නෙ රංගන ශිල්පියාගෙ නෝනගෙන්.
අයියා ෂූට් එකේනෙ මේ වෙලාවෙ, හදිසියක්ද? සහාය අධ්‍යක්ෂක ඇහුවලු.
නැහැ මල්ලි, ෂූට් එක ඉවර වුණාම කියන්නකො පැටවු දෙන්නෙක් ලැබුණා, ගෙදර එනකොට අර කියාපු දේ ගේන්න කියලා...
ළදරු ඇඳුම් ද අක්කෙ..?
පිස්සුද මල්ලි මතක ඇතුව කංකුං මිටියක් ගේන්න කියන්න...
කංකුං? ඔහු අන්දුන් කුන්දුන්වෙලා ඇහුවලු.
අනේ මල්ලි අපේ ඉන්නවනෙ හාවො ජෝඩුවක්. හා අම්මිට දැන් පැටවු දෙන්නෙක් ලැබුණා... ඇය කිව්වලු.
පහුගිය සතිය තුළ දේශීය සිනමාවට සම්බන්ධ අපූරු, එහෙත් අදහාගත නොහැකි තරම් සිද්ධීන් කිහිපයක් වාර්තා වී තිබුණා.
කොහේ හෝ තැනකින් රිංගන්නට හිඩැසක් තියෙන්නට පුළුවන් බව පෙනෙන්නට තිබෙනවා.
ප්‍රේක්ෂකයන් විසින් ප්‍රතික්ෂේප වන චිත්‍රපටයක් හෝ ප්‍රේක්ෂකයන්ගෙ කැමැත්තට පාත්‍ර නොවන චිත්‍රපටයක් ශාලාවලින් නොගලවන ලෙස ඉල්ලා නඩුමඟට යා හැකිද? ප්‍රේක්ෂකයන් පුලපුලා බලා සිටින චිත්‍රපටයක ප්‍රදර්ශනයට එරෙහිව වාරණ නියෝගයක් ඉල්ලා සිටිය හැකිද?
සිනමා කර්මාන්තය තුළ ඇතිවී තිබෙන අර්බුදවලට අමතර මෙවැනි ගැටලුවලටත් මුහුණදීමට සිනමාවේදීන්ට සිදුවී තිබීම කෙතරම් ඛේදනීය තත්ත්වයක්ද?
ජාතික චිත්‍රපට සංස්ථාවට කළ හැකි දේවල් සීමාසහිත වීම නිසා මෙවැනි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව ඇතමුන් විශ්වාස කරනවා. එහෙත් වරද සිදුවී තිබෙන්නේ කොතැනද යන්න කාටත් ප්‍රශ්නයක්.
එහෙත් මෙවැනි නීතිමය ගැටලු, අර්බුද මතුපිටින් පෙනෙන්නට තිබියදී තිරය පිටුපස සිදුවන තවත් අපූරු දේවල්, තවත් චිත්‍රපටයක් හදන්නට තරම් අමුද්‍රව්‍ය වී තිබෙන බව තතු දත් අය කියනවා.
පහුගිය දවස්වල, සතිවල අපට වැඩවර්ජන ගැන අහන්න ලැබුණා. ඒවායෙ සාධාරණ අසාධාරණ දේවල් පැත්තක තියලා කතා කළොත් ඒවායින් සිද්ධ වුණේ අපේම මුදල්වලින් පඩි අරගෙන අපිවම අමාරුවෙ දාන්න හදපු එකනෙ.
ඔන්න මේ කතාව මතක් වුණේ දුම්රිය වර්ජනයක් තිබියදී කොළඹ පිටකොටුව ප්‍රධාන බස් නැවතුම්පොළේ වාර්තා වුණු සිද්ධියක් නිසා.
ගමට යන්න කෝච්චි නැතුව බස් රථයක් එනතුරු බලන් හිටපු සෙනඟ ගොඩේ එක මුහුණක් මිනිස්සු අඳුරගත්තලු.
ඔයා නේද අද හවස ප්‍රවෘත්ති කිව්වෙ අර ටී.වී. චැනල් එකේ. ඔයා කතා කළේ ජනතාවගෙ පැත්ත ගැන හිතලද? අර දේශපාලන අතකොලු වෙච්ච කට්ටිය කියන දේවල් උලුප්පලා, මිනිස්සුන්ගෙ පැත්ත ගැන මායිම් නොකළ ඔයාම දැන් ඇවිත් මෙතන බස් ස්ටෑන්ඩ් එකේ ළතවෙනවා. මාධ්‍යයටත් අමතකවෙලා ඒගොල්ලො ජනතාවගෙ හඬක් වෙන්න ඕනෙ කියලා,
දැනුම් තේරුම් ඇති කෙනෙක් ඔහුට එහෙම කියපු ගමන් ඔහු වාෂ්පවෙලා ගියාලු.
► Text - Mithra