2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

මිදිවත්තේ   මධුසමය ගෙවන කෝලි

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 109

රබ්නේ බනාදි ජෝඩි (දෙවියන් මැවූ යුවලකගේ) එක්වීම පසුගිය සතියේ ක්‍රිකට් ලෝකයේත් බොලිවුඩ් ලෝකයේත් අංක එකේ පුවත වූ බවට සැකයක් නැත. ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලිගේත් බොලිවුඩයේ සුපිරි තාරකාවක් වන අනුෂ්කාගේත් ප්‍රේමය දැන් වසර කිහිපයක් පැරැණිය. සෑහෙන කාලයක් ආදරවන්තයින් ලෙස කල් ගෙවූ මේ දෙදෙනා පසුගියදා එකම කූඩුවකට එකතුවුණේ ඔවුන්ට ආදරය කරන කෝටි සංඛ්‍යාත රසිකයින්ගේ ආශීර්වාද මධ්‍යයේ ය. 

ලොව ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සැලකෙන කෝලිගේත් අනුෂ්කාගේත් විවාහය පැවැතියේ ඉතාලියේ වීමද විශේෂත්වයකි. ඒ ඉතාලියේ ෆ්ලෝරන්ස් නුවරට පැයක දුරින් පිහිටි බෝර්ගෝ ෆිනෙෂියොටෝ නම් බංගලාවකදී ය. මිදි වතු මැද පිහිටි මේ බංගලාවේ කාමර 22ක ආගන්තුකයින් 44 දෙනෙකුට නවාතැන් ගැනීමේ පහසුකම් පවතී. සතියක් සඳහා එහි මිල ඉන්දියානු රුපියල් කෝටියකට (ශ්‍රී ලංකා මුදලින් කෝටි දෙකහමාරකට) අධික ය.

“ජීවිතයේ දිගටම එකිනෙකා සමඟ ආදරයෙන් බැඳී ඉන්න අපි පොරොන්දුවක් වුණා. ඒ බව ඔබ සියලුදෙනා සමඟ බෙදාගන්න ලැබීම ගොඩක් ලොකු සතුටක්. අපේ රසිකයන්ගේත් සුබ පතන්නන්ගේත් ආශීර්වාදයෙන් මේ දවස තව තවත් ලස්සන වේවි. අපේ ජීවිතය තුළ එතරම් වැදගත් කෙනෙකු වූවාට ස්තූතියි!” යැයි කෝලි මෙන්ම අනුෂ්කා ද තම ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබුණි. 

කෙසේ වෙතත් මොවුන් දෙදෙනාගේ නම් එකට එකතු කර හඳුන්වන විරුෂ්කා මංගල්‍යය දින තුනක් පුරා ඉන්දියාවේ පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අනුව දෙසැම්බර් 21වැනිදා දිල්ලියේ උත්සවය දෙපසම නෑයින් වෙනුවෙන් වෙන්වේ. දෙසැම්බර් 25 වැනිදා බොලිවුඩ් තරුවලට ද දෙසැම්බර් 26 වැනිදා ක්‍රිකට් තරුවලට ද උත්සවය වෙන් වේ. එම උත්සවවලින් අනතුරැව නව යුවල දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට නියමිත ය. අනතුරැව එහිදී පැවැත්වෙන ඉන්දීය දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය සඳහා කෝලි ඉන්දීය පිලත් සමඟ එක්වීමට නියමිතය.

මේ විවාහය පැවැතියේ ඉතාලියේ වුවද සැබෑ සැමරුම පැවැතියේ ට්විටර් අවකාශය තුළ ය. ඉන්දියාවේ සිටි බොහෝ බොලිවුඩ් තාරකාවන් නව යුවලට සුබ පැතුවේ ට්විටර් මගින් වීම ඊට හේතුවයි. කෝලිත් අනුෂ්කාත් ලද ප්‍රේමයේ අසිරිය විඳගන්නට ඔවුන්ට හැමදාමත් නොවෙනස් අවකාශයක් ලැබේවා යන්න ඔවුන්ට සුබපැතුම් එක්කළ හැමගේම ප්‍රාර්ථනාවන්හි අරුත විය. 

අභිෂේක් බච්චන්

විවාහකයන්ගේ සංගමයට දෙන්නවම සාදරයෙන් පිළිගන්නවා. 

රිටිෂ් දේශ්මුක්

ඔන්න දැන් ඉඳන් විරාට්ගේ නායකකම ඉවරයි. එයා දැන් උපනායක. අනුෂ්කා තමයි අලුත්ම නායකයා. 

නේහා ඩුපියා

විරාට්ගෙන් අගනා පන්දු රැකීමක් (What a catch) අනුෂ්කාගෙන් දර්ශනීය පහරක් (What a shot) !

ශ්‍රී දේවි බොනී කපූර්

මේ පාට්නර්ෂිප් එක (ක්‍රිකට්) හැමදාටම පවතීවා!

► Text — Rajitha 

 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00