2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

තාත්තේ කියාගෙන අැවිත් පොඩි එකෙක් මගේ කකුලෙ එල්ලුණා Wifeටත් ෆුල් හාෙල්මන්

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 93

මේ සිදුවීම වුණේ මගේ ඒකපුද්ගල ගී ප්‍රසංගයක් නුවර තිබුණු වෙලාවකයි. ඒක තිබුණේ මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ. ඒ 1989 අවුරුද්දේ. මේ ප්‍රසංගයෙදි මම ගීතයක් කියලා ඉවරවෙද්දි හැමෝම අත්පුඩි ගහනවා. ඒ අතරින් ස්ටේජ් එකට මට ඇහෙනවා කවුදෝ පොඩි පිරිමි ළමයෙක් තාත්තේ කියලා කෑගහනවා.

දැන් මේක මට ප්‍රශ්නයක්. අත්පුඩි අස්සෙන් ඒ කටහඬ ඇහෙද්දි හැමෝම ඒ දරුවා දිහා බලනවා... තවත් සමහරු මා දිහා බලනවා. දෙවැනි සින්දුවත් කිව්වා. ඒ සින්දුව කියලා ඉවර කළා. කට්ටියම මහ හයියෙන් අත්පුඩි ගහනවා. ඊට වඩා හයියෙන් ආයෙත් අර පිරිමි ළමයා තාත්තේ කියනවා. තුන්වැනි සින්දුව කිව්වා... ඒ වගේමයි... හතරවැනි සින්දුව කිව්වා. ඒත් ඒ වගේමයි. ඔය විදිහට සින්දු කීපයක්ම කියලා ඉවරවෙද්දි අර පිරිමි ළමයා තාත්තේ කියලා කෑගහනවා.

නැමිලා බලද්දි තමයි මම දැක්කෙ මගේ සපත්තුව කිඹුලා කට ඇරියා වගේ ඇරිලා. සපත්තුවේ අඩිය ගැලවිලා

ඒ වෙද්දි මගේ බිරියත් ප්‍රසංගය බලන්න ඇවිත් හිටියා. එයත් ඉස්සරහ පේළියේ ඉඳන් ප්‍රසංගය බලද්දි අර විදිහට පිටිපස්සෙන් තාත්තේ කියලා ළමයා කෑගහද්දි ඒ පැත්ත බලනවා. ආයේ මගේ දිහා බලනවා. ඒ මදිවට මගේ ගමත් නුවරනෙ. ඉතින් කට්ටියත් ටික ටික කසුකුසු ගානවා. ඉතින් කොහොමහරි විවේක කාලය වෙනකම් ඉවසගෙන ඉඳලා විවේක වෙලාවේදි මම ස්ටේජ් එක පිටිපස්සට ගිහින් ප්‍රසංගයේ සංවිධායක අයට කිව්වා, ඒ දරුවාව එක්ක එන්න කියලා. ඒ අය ඒ දරුවවයි දරුවගේ අම්මවයි මා ළඟට එක්ක ආවා. දරුවා මා ළඟට ආවා විතරයි මා දිහා බලාගෙන ඉඳලා තාත්තේ කියලා මගේ කකුලෙ එල්ලිලා. මටත් පුදුමයි. දරුවාගේ අම්මා ඇස්වල කඳුළු පුරෝගෙන හරි සංවේදී කතාවක් කිව්වා. ඒ දරුවගේ තාත්තා රාජකාරි කරලා තියෙන්නෙ යුද හමුදාවේ. දරුවා ලැබෙන්න ඉඳිද්දි තාත්තා රාජකාරි සේවයේ ඉඳිද්දි නැතිවෙලා. දරුවගේ තාත්තා මා වගේමලු. හැබැයි දරුවා කවදාවත් තාත්තා දැකලා නෑ. දරුවා තාත්තා කියලා උදේ හවස දකින්නෙ සුදු මල් මාලාවක් දාපු තාත්තාගේ පින්තූරයයි. ඒක මා වගේ නිසා දරුවාට මාව දැක්කාම හරි පුදුම හිතිලා. සතුටු හිතිලා. එයා ටී.වී. එකෙන් මාව දකිද්දි ටී.වී. එක ළඟටම ගිහින් බලාගෙන ඉන්නවලු. ඉතින් එදා ඒ දරුවාට මාව දකිද්දි ලොකු සතුටක් ඇතිවෙලා. විවේකයෙන් පස්සෙ ඒ දරුවා මගේ ප්‍රසංගය බැලුවේ ඉදිරියේම අසුනක වාඩිවෙලයි. මම ළඟට අරගෙන ඒ දරුවාව හුරතල් කරද්දි එයා ගොඩාක් සතුටු වුණා.

අයිස් වතුරෙන් මූණ හෝද හෝදා සින්දු කීවා

තවත් සිදුවීමක් ඕමාන්වල සංචාරය කරද්දි මට සිදුවුණා... ඒ ප්‍රසංගය පැවැත්වුණේ එළිමහන් වේදිකාවකයි. මේ සිදුවීම වුණේ මම තරුණ කාලේ. එතකොට මම හිටියේ ෆෝචූන්ස් සංගීත කණ්ඩායමේ. ඒ කාලේ අධික රස්නෙ කාලයක්. ප්‍රසංගය තිබුණෙත් දවල් කාලෙදි. කවුරුවත් ඒ අධික උෂ්ණත්ව කාලෙදි දවාලෙදි එළිමහන් ප්‍රසංග තියන්නෙ නෑ. හැබැයි මේ ප්‍රසංගය බොහෝ දෙනෙක් බලන්න ඇවිත් හිටියා. ප්‍රසංගය කරන තැන අයිස් වතුර තියලා ටවල් ළඟ තියාගෙන තමයි ප්‍රසංගය කළේ. ටවල්වලින් වතුර ගාගෙන ඒවා වලින් මුහුණ පිහදදා තමයි ප්‍රසංගය කළේ. ඒ තරම් අමාරුයි.

ප්‍රසංගය කරන අතරතුරේදි මම සින්දුවක් කිය කියා ප්‍රසංගය බලන්න ආපු අය අතරට ගියා. ඒ අය මාව වටකරගෙන සමරු පොත් අත්සන් කරවාගන්නවා. මාව අල්ලනවා. මගේ අතින් අදිනවා. අන්තිමට කට්ටිය නිසා මට හුස්මගන්න විදිහක් නෑ. මට මතක එච්චරයි. කට්ටියම මාව උස්සගෙන එළියට ගිහින්. ආයේ මාව නැවත හොඳ සිහියට සෑහෙන වෙලාවක් ගිහින්. දාඩිය වැඩිකම නිසාම මට දාඩිය දාලා ක්ලාන්තය හැදිලා.

පහුගිය කාලයක නුගේගොඩ සුජාතා බාලිකාවේ එක්තරා කලා ප්‍රසංගයක ප්‍රධාන ආරාධිත අමුත්තා වුණේ මම. ඉතින් මම ආරාධනාව පිළිගෙන නියමිත වෙලාවට පාසලට ගියා. පාසල් ගේට්ටුව ළඟින් මට පොඩි දරුවෙක් මල්මාලාවක් කරට දාලා පිළිගත්තා. පාසලේ තූර්ය වාදක කණ්ඩායමත් මාව පිළිගෙන ඒ සංගීතය අනුව ශාලාවට අරගෙන ගියා. දැන් මම විදුහල්පතිනිය ඇතුළු ගුරු මණ්ඩලයත් අනිකුත් ආරාධිත අමුත්තන් එක්ක ටික දුරක් ගියා. එකපාරටම මට තේරුණා මගේ එක කකුලක් හරි බරයි කියලා. පොඩ්ඩක් නැමිලා බලද්දි තමයි මම දැක්කෙ මගේ සපත්තුව කිඹුලා කට ඇරියා වගේ ඇරිලා. සපත්තුවේ අඩිය ගැලවිලා. ආයේ කකුල ඉස්සුවොත් සපත්තුවේ අඩිය බිම. මම හෙමිහිට ළඟ හිටපු ගුරුතුමියකට විස්තරේ කිව්වා. ඒ ගුරුතුමිය ඒ ළඟම තිබුණු පන්ති කාමරයට මාව එක්කගෙන ගියා. ඒ ගියෙත් මම කකුල අද්ද අද්දායි. කොහොමහරි තව ගුරතුමියන් දෙන්නෙකුයි තාත්තා කෙනෙකුයි ඇවිත් ඉක්මනට සපත්තු අලවන ගම් එකක් කඩෙන් ගෙනල්ලා මගේ සපත්තුවේ ගාලා ටික වේලාවක් මේසයක් උස්සලා ඒක යට බරට තියලා වේලුණාට පස්සෙ තමයි මාව උත්සව ශාලාවට එක්කරගෙන ගියේ. කොහොමටත් ඒ වැඩේ නිසා උත්සව ශාලාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ගියේ පැය භාගයක් පරක්කුවෙලා. හැබැයි මේ සිදුවීම එදා මගේ කතාවේදි මම කිව්වා. සපත්තුවක් කළ හදියක්...

(තවත් අකරතැබ්බයක් එක්ක තවත් කලාකරුවෙක් ලබන සතියෙත් )

► Text – Jayamali /  Pic – Sumudu