2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

හැංගි හැංගි කාඩ් හැදිල්ල අපේ එක සෙල්ලමක්

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 234

කොහොමද කුශ්ලානි... ඔයාගෙයි රොෂාන්ගෙයි නත්තලට සූදානම..?
කොහොමටත් අපි නත්තලට ගොඩාක් කාලයක ඉඳන් ලෑස්ති වෙනවා. දෙසැම්බර් මාසය කියන්නෙ ගොඩාක් කාර්යබහුල මාසයක්. ඉතින් අපි දෙන්නා දැන් විවාහවෙලා අවුරුදු තුනක් වෙනවා. කලින් අවුරුදුවල නත්තලට ගොඩාක්ම ළංවෙලා සූදානම් වෙන්න ගිහින් අපිට ගොඩාක් එක එක දේවල් අතපසු වුණා. ඉතින් ඒ නිසා මේ සැරේ අපි නොවැම්බර් මාසේ ඉඳන් නත්තලට සූදානම් වුණා. ඒ නිසා අපිට දෙසැම්බර් මාසේ උත්සවවලට සහ අනිත් දේවල් කරගන්න ටිකක් වැඩිපුර කාලය තියෙනවා.

ඔය දෙන්නගෙ ගෙදර ලස්සනට සරසලා.. මේ සැරසිලි ගෙනාවේ කොහෙන්ද..?
මට වගේ රොෂානුත් ගේ ලස්සනට සරසන්න ආසයි. මම කතෝලික. රොෂාන් බෞද්ධ. ඒ වුණත් මට වඩා රොෂාන් හරි ආසයි ලස්සනට සරසන්න. රට ගියාමත් රොෂාන් මුලින්ම කරන්නෙ ගෙදරට බඩු ගන්න එකයි. එයාට ගන්න කලින් එයා ගෙදරට තමයි ගන්නෙ. මේ සරසලා තියෙන බොහෝ සැරසිලි අපි එක එක රටවල්වලින් ගෙනාපුවා. ලෝකෙ රටවල් බොහොමයක තිබුණු පුංචි සැරසිල්ලක් හරි මේ නත්තලට අපේ ගෙදර කොහේහරි කොණක තියෙනවා. 

සැරසිලි කරන්න කුශ්ලානිගේ මවගෙන් ලැබෙන සහයෝගය ලේසි පහසු දෙයක් නෙමෙයි නේද..?
අම්මෝ... ඔව්.. ඒක ඇත්ත. මාත් රැකියාවට යනවා. මේ දවස්වල රොෂානුත් ෂූටිං යනවා. ඉතින් මගේ අම්මා තමයි ගෙදර අස්පස් කරලා නත්තලට මුලින්ම සූදානම් වුණේ. පහුගිය දවස් කීපයක්ම රොෂාන්ටත් එකදිගට ගෙදර ඉන්න පුංචි නිවාඩුවක් ලැබුණා. ඉතින් රොෂානුයි අම්මයි තමයි ගෙදර සරසන එක වැඩිපුරම කළේ. අම්මා කිව්වට පස්සෙ ගෙදරට ඕන සමහර දේවල් රොෂාන් ගිහින් තනියමත් ගේනවා. ඇත්තටම මටයි රොෂාන්ටයි අම්මා ලොකු හයියක්.

දෙසැම්බර් 25 වැනිදා ඔයයි අම්මයි රොෂානුයි පල්ලි යනවා නේද..?
ඔව්.. නත්තල් දවසට රොෂාන් මොනම හේතුවක් නිසාවත් වැඩ දාගන්නෙ නෑ. ඉතින් අපි 24 වැනිදා නත්තලට සූදානම්වෙලා කෑම ලෑස්ති කරලා රෑ දොළහේ පූජාවට යනවා. මම පුංචි කාලේ ඉඳන්ම ඒක මට හරි හුරුයි. රෑ දොළහේ පූජාවට ගිහින් නත්තල් සීයා තෑගි දෙනකම් ඒ කාලේ අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් මේ අවුරුද්දෙත් අපි රෑ පූජාවට පල්ලි යනවා. රොෂානුත් දැන් පල්ලියේ කටයුතු ගැන දන්නවා. ඒ නිසා රොෂාන් පල්ලි යනවා වගේම මම පන්සල් යනවා. මම ගාථා එහෙමත් හොඳට දන්නවා.

එහෙට මෙහෙට යන ගමන් රොෂාන් කුකීස් දෙක තුනක් කටේ දාගන්නවා

කොහොමද සුභ පැතුම්පත් ගැන එහෙම තියෙන අදහස.. කුශ්ලානිත් සුභ පැතුම්පත් යවනවාද..?
ඔව්.. ඔව්.. ඒ දේවල් අපි තාමත් කරනවා. ගොඩාක් වෙලාවට මායි රොෂානුයි උපන්දිනවලට නත්තල්වලට කාඩ් හදනවා. රොෂාන් මට එකක් හදනවා. මම රොෂාන්ට එකක් හදනවා. හැබැයි දෙන්නට දෙන්නා ඒවා හදන්නෙ හොරෙන්. අපි දෙන්නා ඒ දේවල් කලින්ම හදනවා. හැබැයි පෙන්නන්නෙ නෑ. මේ සැරේ එකක් මම හදලා හංගලයි තියෙන්නෙ. එක එක අත්කම්වලින් අපි ඒ කාඩ් හදනවා. හැබැයි ඒවා එකිනෙකට වෙනස්. එහෙම හදලා ඉවරවුණාට පස්සෙ ඔය එක එක දේවල් ලියලා අපි ඒ කාඩ් හැඩවැඩ කරනවා. හැබැයි දෙන්නගෙ කාඩ්වලින් ලස්සන කාඩ් එක මොකක්ද කියලා කියන්න නම් අමාරුයි. ඒ තරමටම ඒ දෙක එකිනෙකට වෙනස්.

නත්තලට හදන විශේෂ කෑම බීම හදන්නෙ කවුද..?
අපි සිංහල අලුත් අවුරුද්දට වගේම නත්තලටත් ඒ සම්ප්‍රදායික කෑම හදනවා. හැම අවුරැද්දෙම මායි රොෂානුයි ආසම දේ තමයි කුකීස් හදන එක. මේ නත්තලටත් අපි X-mas කුකීස් හැදුවා. ඒවා එක එක ලස්සන ලස්සන හැඩවලට තමයි අපි හදන්නෙ. කොහොමටත් අපි නත්තල් කාලෙදි පොඩි කාලසටහනක් සකස් කරගන්නවා, මේ දවස් වෙනකොට ගේ සරසලා තියෙනවා මේ දවස්වලට කෑම හදනවා කියලා. අපි 23 රූ තමයි X-mas කුකීස් හැදුවේ. එහෙම හදලා ලොකු ටින් එකකට දැම්මා. හැබැයි ඉතින් ගෙදර එහාට මෙහාට යද්දි ටින් එක ඇරලා රොෂාන් කුකීස් එකක් දෙකක් කනවා. ඒ වෙලාවට මම දන්නෙ නෑ... විසිටර්ස්ලා එනවා... කියලා කිව්වාම රොෂාන් හෙමිහිට එතනින් යනවා. අපි X-mas කුකීස් වැඩියෙන් හදපු නිසා එහෙම අඩුවෙන්නෙත් නෑ. නත්තල් කේක් එක හැදුවේ අම්මයි මායි රොෂානුයි තුන්දෙනාම එකතුවෙලා. අම්මා තමයි හැමදෙයක්ම ගාණට මිම්මට දාලා නත්තල් කේක් එක හැදුවේ. රොෂානුයි මායි පළතුරැ කපලා දීලා අම්මාට උදවු කළා. කොහොමටත් නත්තල් කේක් එක දාන දවසේ රොෂාන් කිසිම වැඩක් දාගත්තේ නෑ.

නත්තලට මුලින්ම සුභ පතන්නෙ කවුද...?

එදාට අපි පල්ලියෙනෙ ඉන්නෙ. ඉතින් රෑ දොළහ පූජාව ඉවරවෙලා මගේ එහා පැත්තෙ ඉන්නෙ රොෂාන්නෙ. ඉතින් මම එයාට විෂ් කරනවා. එයා මට විෂ් කරනවා.

කවදාද රොෂාන්ගෙයි කුශ්ලානිගෙයි ගෙදර නත්තල් පාටිය තියෙන්නෙ?
25 වැනිදා උදේ මාධ්‍ය නාලිකාවක වැඩසටහනකට සහභාගි වෙනවා. ඊටපස්සෙ දවල්ට අපි හැම අවුරුද්දෙම රොෂාන්ගෙ ගෙදර යනවා. රොෂාන්ගෙ තාත්තා කතෝලික. අම්මා බුද්ධාගමේ. කොහොමටත් මම විවාහවෙන්නත් කලින් ඉඳන්ම 25 වැනිදා දවල්ට ගියේ රොෂාන්ගෙ ගෙදරයි. ඒ නිසා අපේ ගෙදර පාටිය තියෙන්නෙ නත්තල් දවසේ නෙවෙයි. ඒක තියෙන්නෙ විසිපහත් තිහත් අතර එක දවසක රැක අපේ නෑදෑයො එක්ක කොහොමටත් හැත්තෑවක් අසූවක් විතර කට්ටියක් එදාට අපේ ගෙදරට එනවා.

රොෂාන් පල්ලි යනවා වගේම මම පන්සල් යනවා. මම ගාථා එහෙමත් හොඳට දන්නවා

නත්තලට ඇඳුම් පැළඳුම් ගත්තෙ කවද්ද..?
අපි දෙන්නා හැමතිස්සෙම ඇඳුම් අඳිද්දි එක පාටක් තමයි අපි අඳින්නෙ. මැච් කරලා තමයි අපි අඳින්නෙ. ඒකට අවුරැදු ගාණක් තිස්සෙ අපි හුරුවෙලා තියෙන්නෙ. ඉතින් අපි දෙන්නා ඇඳුම් ගන්න යන්නෙ ගොඩාක් වෙලාවට එකටයි. නත්තලටත් අපි ඒ ආවේණික ඇඳුම් තමයි වැඩිපුරම ගත්තෙ. අපි පිටරට ගියාම නිදහසේ ඇඳුම් තෝරාගන්නවා.

මේ නත්තල වෙනුවෙන් සුභ පතන්න කියලා කිව්වොත්..?
රොෂානුයි මායි හැමදාමත් හැමවෙලේම කියන්න හදන්නෙ පවුලක් වුණාම එකමුතුව ඉන්න ඕනෙ. එක එක කාලවලදී තියෙන දේවල් එකට විඳින්න ඕනෙ. නැත්නම් ජීවිතේ ආයෙ දවසක හැරිලා බලද්දි කිසිම දෙයක් නැතිවේවි. බොහෝදෙනා කාලය ගත කරන්නෙ තම පවුලේ අයත් එක්ක නෙමේ. සමහරුන්ගෙ සතුට තියෙන්නෙ වෙනත් තැනක. ඒත්... සැබෑ සතුට තියෙන්නෙ තමන්ගෙ නිවහනේ. ඉතින්... මේ ලබන්නා වූ නත්තල සුභම සුභ නත්තලක් වේවායි රොෂානුයි මායි ප්‍රාර්ථනා කරනවා.

► Text - Dishani  /   Pic- Sumudu