2018 ඉස්සරලම ආවේ නවසීලන්තයට. 2018 අන්තිමට ආවේ අමෙරිකාවට. 2018 තීරණය කළේ රෑ දොළහේ කණිසම ඒ ඒ රටවල ඔරලෝසු කටු අරන් ආව විදිහට. කාලය ඇහිපිල්ලමක් ගැහෙන වේගයට වඩා වේගවත්. තත්ත්පර අසංඛ්‍ය ගණනක් අතීතය විදිහට කාලය තීරණය කරලා හමාරයි. මේ ගෙවෙන හැම තත්ත්පරයක්ම අතීතය එයාගේ ළය මඬලට තුරුල් කරගන්නවා. පරාජයේ සහ ජයග්‍රහණයේ මතක විදිහට ඒ තත්ත්පර අතීතය අස්සේ හැංඟෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද ලෝකය ඉදිරියට යද්දී මේ ලෝකයේ බහුතරයක් මිනිස්සු එක තැන එකම විදිහේ හැඟුම් කන්දරාවක් එක්ක වයසින් පමණක් වියපත් වෙන මිනිස්සු. කෝ අලුත් සිතුවිලි... කෝ අලුත් අත්හදාබැලීම්... ඒ මොකුත් නෑ... අද පරම්පරාවේ සීයට අනූවකටත් වැඩි සංඛ්‍යාවක් ඇස් අරින්නෙත් ඇස් පියන්නෙත් Facebook එක්ක.
ඒ අයගේ ලෝකයේ සියලු සන්තකයන් තියෙන්නේ එතන. උන්ගෙ ලෝකයේ වීරයන් ඉන්නේ එතන. උන් ජීවිතය උදෙසා සියලු පරමාදර්ශයන් උකහා ගන්නේ එතනින්. උන් ජීවිතය විඳින්නෙත් දකින්නෙත් එතනින්. ලෝකයේ ඉන්නවා Facebook එක්ක ඉන්න ගමන් ලෝකයත් එක්ක යාවත්කාලීන වන තරුණ පරම්පරාවක් සහ තාක්ෂණය හා සමාජ මාධ්‍ය බුද්ධිමත් ලෙස පරිහරණය කරන පරම්පරාවක්. ඒත් අර මුලින් කීව හැම සිද්ධාන්තයක්ම ලංකාවේ සීයට අනූවකටත් වඩා කොල්ලන්ට කෙල්ලන්ට සාධාරණයි. ලෝකයත් එක්ක, දේශපාලනයත් එක්ක, ආර්ථිකයත් එක්ක ප්‍රායෝගික වෙන, යාවත්කාලීන වෙන සියලු ධර්මතා සමඟ ජීවිතය ගැඹුරින් පිරික්සන තරුණ පරම්පරාවක් අද අපිට නැති තරම්. ඔවුන් වැඩිදෙනා ජීවිතය ඉගෙන ගන්න හදන්නෙත් උගන්වන්න හදන්නෙත් ආදරය ළෙන්ගතුකම අැතුලු සියලු මානවීය හැඟීම් ධාරාවන් බෙදා හදා ගන්න බලන්නෙත් Facebook එක්ක.
2018 ට හුඟක් අය සුබපැතුම් එක්කළෙත් Facebook එකෙන්. ඒ වචනයක් කතා කරන්න වෙලාවක් නැතිකමට නෙවෙයි. ඔවුන් කාර්යබහුල වුණත් ඒ වෙන්නෙත් Facebook එක්ක. හේතුව ඒ තරමටම හදවත් වියළි ගතියෙන් යුක්තවීම. කෘත්‍රීම වීම. කොල්ලෙක් හම්බවෙන පළමු දවසෙම ඒ කොල්ලත් එක්ක room එකකට ගිහින් යුවතියක ලෙස තමා සන්තක ඕනෑම වටිනාකමක් නම ලිපිනය වයස මොකක්ද කියලවත් හරියට කියන්න නොදන්නා කොල්ලෙක් වෙනුවෙන් දීලා දාන්න, කොන්දේසි විරහිතව හිනාවෙලා හා කියන වයස අවුරුදු දහතුනේ දාහතරේ යුවතියන් අපිට ඕන තරම් හම්බෙනවා. උන්ට ජීවිතය හා ජීවිතයේ වටිනාකම් ඒ තරම් සරලයි. අධ්‍යාපනය ඔවුන්ට දියාරු සංකල්පයක් විතරයි. උන්ට ජීවිතය යන්තමින් හරි තේරුම්ගන්න එකදෙයක් නෙවෙයි හුඟක් දේවල් අහිමි වෙන්න ඕන. එතකම් ජීවිතය ඔවුන්ට හුදු ෆැන්ටසියක්ම විතරයි.
ජීවිතය කියන්නේ කටු අත්තක්. ඒත් ඒ කටු අත්ත මත කුසුම් පොඩි පුබුදන්න පුළුවන්. ජීවිතය කියන්නේ නිරැදක කතරක්. ඒත් ඒ කතර මත මහා ගංඟාවන් උපද්දවන්න පුළුවන්. කිසිදෙයක් මවන්න අපිට බෑ. ඒත් හුඟක් දේවල් ඇති කරගන්න උපද්දවාගන්න අපිට පුළුවන්. ඒ සියලු ශක්තිය හැංඟී තියෙන්නෙත් මනුෂ්‍ය මනස තුළමයි. ඔබ ඔබ වෙන්න. නිස්කාරනේ නිස්සාරණ කාලකන්නි දේවල් වෙනුවෙන් වැය කරන කාලය ඔබ ඔබව අලුත් නිෂ්පාදනයක් අලුත් සොයාගැනීමක් බවට පත්කිරීම වෙනුවෙන් වැයකරන්න. දෙවියන් ඉන්න තැනක ඉඳපුදෙන්... තාරකා කැමති දෙයක් කැමති විදිහකට තීරණය කරපුදෙන්. මරණයටවත් ඔබව මිස ඔබේ හදවත මරන්න ඉඩදෙන්න එපා. ඔබ ඔබ වෙච්චදාට ඔබට ඒ සියලු ශක්තීන් හිමිවේවී.
2018 ඔබ ෆේස්බූක් එකට WhatsApp, Viberවලට නෙවෙයි ඔබ ඔබට ආදරය කරන අවුරුද්දක් කරගන්න. සන්නිවේදනය කියන්නේ මාධ්‍යක් විතරයි. ඒත් ජීවිතය කියන්නේ අනන්තයක්. හිරිවැටුණු දෙපතුල්වලින් නෙවෙයි පොළොවට දැනෙන්න වගේම පොළොව දැනෙන්නත් අඩිය තබා ඒ අනන්තයේ ඔබ ඇවිදින්න. ජීවිතයේ මඟහැරුණු දේ අනන්තයටත් වඩා අනන්ත වග ඔබට පසක් වෙන මොහොතක් එයි. ඒ මොහොත ඔබට ඔබ හමුවන ඇත්තම මොහොතයි.
I Saara