2018 ජනවාරි 06 වන සෙනසුරාදා

බුදු අම්මෝ අලි ආවෝ...

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

මේකත් හබරණ පැත්තට විනෝද ගමනක් ගිය අපේ කලා ලොවේ ශිල්පීන්ට සිද්ධවුණ අකරතැබ්බයක්.

මේ කට්ටිය හබරණට ගිහින් තියෙන්නෙ ටිකක් හවස්වෙලා. හෝටලේට ගිහින් මහන්සිය ඇරලා ටිකක් ඔසුපැන්වලින් සප්පායම්වෙලා ඉන්නකොට අවටින් වෙඩි හඬ කීපයක් ඇහිලා තියෙනවා.
හෝටලේ අයිතිකාරයා කියලා තියෙනවා බයවෙන්න දෙයක් නැහැ, ඕවා අවට ගම්වලට එන වල් අලි එලවන්න පත්තු කරන ඒවායෙ සද්ද තමයි කියලා.

ඔන්න එතනින් පස්සෙ මේ කට්ටියගෙම ප්‍රධාන මාතෘකාව වුණේ වල් අලි හා ඔවුන්ගෙන් වෙන හානි ගැනලු. හෝටලේ අයිතිකාරයා අවට ගම්වල මෑතකදී සිදුවුණ බියකරු සිද්ධි ගැනත් මේ අයට කියලා.
මේ කතාවෙන් පස්සෙ කට්ටියම කාමරවලට ගිහින් තියෙන්නෙ පුදුම බයකින්.

එක කාමරේක හිටිය කලා ශිල්පීන් දෙන්නෙක් එකපාරටම පාන්දර දෙකට විතර නැඟිටලා විලාප දෙනවලු, බුදු අම්මෝ අලි ආවෝ... අලි ආවෝ කියලා.

සද්දෙට කට්ටියම කාමරේ දොර ඇරගෙන ආවලු බලන්න.
බැලින්නම් මේගොල්ලන්ගෙ මදුරු නෙට් එක, උඩ ෆෑන් එකට කොහොමහරි පැටලිලා කාමරේ ඒ මේ අත වැදිලා තියෙනවා. මේගොල්ලො හිතලා තියෙන්නෙ අලියෙක්ගෙ වැඩක් කියලා.

 

අග -මුල නැති කලාකාක්කෝ

මාධ්‍යවලින් කලාවට හා කලා ශිල්පීන්ට සිදුකෙරෙන සුවිශාල මෙහෙවර කලාවේ නියැලිලා ඉන්න සමහර අයට තේරෙන්නෙ නැති නිසා ඒවා ගැන අගේකුත් නැහැ. එහෙත් මේ රටේ ප්‍රවීණ කලා ශිල්පීන් ශිල්පිනියන් මාධ්‍යයත් එක්ක ඉතාම සුහදව ගනුදෙනු කරනවා.

නව පරපුරේත් එහෙම බොහෝ ශිල්පීන් ශිල්පිනියන් ඉන්නවා. ඒත් ඇතැම් අයට නම් තමන් නියැලිලා ඉන්න ක්ෂේත්‍රය ගැනවත් මාධ්‍යයෙන් ලැබෙන සහයෝගය ගැනවත් හරි අවබෝධයක් නැහැ.

සමහර කලාකරුවො ගැන පත්තරේට ලියලා ඒවා පළකළාම යන දවස කියන්න ඕනෙ. එහෙම නැත්නම් පත්තරයක්වත් ගන්නෙ නෑ. අඩුම ගාණෙ කලා පත්තරයක්වත් කියවන්නෙ නෑ.

අහවල් දවසෙ පත්තරේ බලන්න කියලා කිව්වම සමහරු අහනවා මොනවද මා ගැන පත්තරේ යන්නෙ, පින්තූර කීයක් පළවෙලාද, ඒවා ලොකුද පොඩිද කියලා.

 

මුරලි කොපි කරලා නිළියක් ඉස්පිරිතාලේ

අපේ කලා ලොවේ බොහෝ දෙනෙක් පහුගිය මාසයේ විනෝද ගමන් ගියේ ඒ මාසය තුළ වැඩ කෙරුණෙ බොහොම අඩුවෙන් නිසා.
ඒ වගේ නිවාඩු කාලවලින් ප්‍රයෝජන ගත්තු බොහෝ දෙනෙක් පිටරට සවාරි දාගත්තා. තවත් සමහරු අපේම රටේ නොයෙක් තැන්වලට ට්‍රිප් දාගත්තා.

ඔන්න අපේ තරුණ නිළියො සෙට් එකක් ට්‍රිප් එකක් දාගත්තා ත්‍රිකුණාමලය පැත්තෙ. දවස් තුනක් හොඳටම විනෝද වෙලා කොළඹ ආවට, එක නිළියක් නම් කෙළින්ම ගියේ ගෙදර නෙවෙයි, ඉස්පිරිතාලෙට.
බැලින්නම් වෙලා තියෙන්නෙ මේකයි. ත්‍රිකුණාමලේ ගිය වෙලාවෙ මේ නිළියො සෙට් එක ඇතිවෙන්න ක්‍රිකට් ගහලා. අර ඉස්පිරිතාලෙට ගිය නිළිය බෝල් කරලා තියෙන්නෙ මුරලිගෙ ඇක්ෂන් එකෙන්ලු.
අන්තිමේදි මුරලි වගේ බෝලෙ අඹරන්න ගිහින් මේ කෙල්ල එයාගෙ අත අඹරගෙන තියෙනවා.

 

හොයනවා......හොයනවා නෑලු

එක්තරා කලා ශිල්පියෙක් මේ පාර දෙසැම්බර් 31රෑ කිසිම පාටියකට නොයන්න තීරණය කරලා ගෙදරටම වෙලා හිටියලු.
වෙනදාට නම් 31 හවස යාළුවො එක්ක සෙට්වෙන්න ගියාම ගෙදර එන්නෙ පළවැනිදා පාන්දර හතර ගාතෙන්ලු. මිනිස්සු ඉතින් තමුන්ගෙ වැරැද්ද තේරුම් අරන් හැදෙන්න උත්සාහ කරනවනම් කොච්චර ලොකු දෙයක්ද?
දැන් අපේ මිත්‍රයා රෑ කෑම එහෙම කාලා ටීවී එක බලද්දි පොඩි නිදිමතක් ආවලු.

හරියට රෑ 12 ලබද්දිම යාළුවන්ට සුබ පැතුම් SMS යවන්න හිතාගෙන මෙයා පොඩ්ඩක් ඇඳේ ඇලවුණාල ෆෝන් එක ළඟම තියාගෙන.
මේ ශිල්පියා, අර දර්ශනතලවල පුරුද්දට ෆෝන් එක හැමදාම සයිලන්ට් දාලා තමයි තියන්නෙ. රෑ 12ට ඇහැරෙන්න බලාගෙන ඇලවෙච්ච මෙයාට දන්නෙම නැතුව නින්ද ගිහින් ඇහැරිලා තියෙන්නෙ පාන්දරටලු.
කලබලෙන් නැඟිට්ට මොහු හැමතැනම ෆෝන් එක හොයනවලු. ගෙදර කට්ටියත් ඒ නම්බරේට කෝල් දෙනවා, ඒත් සයිලන්ට් දාලා තියෙන නිසා හොයාගන්න බැහැ.

දවල් කෑම කන්නෙත් නැතුව මෙයා ෆෝන් එක හොයනවා. පස්සෙ තමයි මතක්වෙලා ඇඳ යට හොයලා තියෙන්නෙ. රෑ නින්දෙන් මෙයාගෙ අතින් ෆෝන් එක ඇඳ යටට වැටිලා.
බැලින්නම් ෆෝන් එකට සුබ පැතුම් පණිවිඩ සිය ගාණක් ඇවිල්ලලු. ඒවාට පිළිතුරු එවලා ඉවරවෙනකොට මෙයාගෙ දවසම ඉවරවෙලාලු.

 

මුණුපුරු මිණිපිරියන් රවට්ටන්න බැහැලු

මේක නම් මීට ටික කලකට පෙර සිදුවුණ අපූරු සිදුවීමක්.

ජනප්‍රිය වූ චිත්‍රපටයක ත්‍රාසජනක සටන් ජවනිකා රැසක් රූපගත කෙරුණෙ බලංගොඩ පැත්තෙ. ප්‍රධාන සටන් නළුවා ජනප්‍රිය චරිතයක්.
ඔන්න දැන් සටන් නළුවාට තියෙනවා අඩි ගණනාවක් උසින් තිබෙන කන්දකින් පහළින් දුවන ලොරියකට පනින්න. අධ්‍යක්ෂවරයා අර පනින දර්ශනයට අර ජනප්‍රිය සටන් නළුවා වෙනුවට පෙනීහිටින්න ඩබල් කෙනෙක් (අතිරේක නළුවෙක්) යොදාගෙන තිබුණා.

ඒත් අර ජනප්‍රිය සටන් නළුවා ඒකට අකමැති වෙනවා. අධ්‍යක්ෂකවරයා එම දර්ශනයේ ඇති භයානකකම පුනපුනා නළුවාට කිව්වත් ඔහු ඒ කිසිමදෙයක් ගණන් ගත්තෙ නැහැ.
මට මගේ මුණුපුරු මිණිපිරියන්ට බොරු කරන්න බැහැ. කවදාහරි දවසක මගෙ ළමයි බැඳලා ඒගොල්ලන්ට දරුවො ලැබුණ කාලෙට, ඒ අය ලොකුවෙලා සීයගෙ චිත්‍රපට බලයි. අන්න එදාට මේ දර්ශනය කළේ මම නෙවෙයි ‍කියලා අහුවුණොත් මම රැවටිලිකාරයෙක්  වේවි, ඔහු අධ්‍යක්ෂකට කිව්වලු.

 


► Text - Mithra