2018 ජනවාරි 06 වන සෙනසුරාදා

පින්තූරේ වෙනුවට ලැබුණේ පා පහර

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 104

ළැම විතරක් ලොවට පෙනෙන... ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ....

ගණිකාවටත් ගණිකා වෘත්තියටත් අපේ සමාජයේ මෙන්ම ඕනෑම රටක සමාජයකදී හිමිවන්නේ පහත්ම තැනක්. නමුත් අමරසිරි පීරිස්ගේ හඬින් ගැයෙන ගීය වැනි නිර්මාණ බිහිකළ කලාකරුවන්ට ගණිකාවකගේ ජීවිතය වුණත් විනිවිද දකින්නට හැකියාව ලැබී තිබෙනවා. එවන් කලාකාමී ඡායාරුප ශිල්පියෙකු පිළිබඳ විස්තරයක් පසුගියදා බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් සඟරාවෙන් හඳුන්වා දීලා තිබුණා. 

ඔහු නමින් මාර්ක් මැක්ඇන්ඩෘ. අමෙරිකානු ජාතිකයෙක් වන ඔහු 2012 අවුරුද්දේ සිට අවුරුදු පහක් පුරාවට නෙවාඩා ප්‍රාන්තයේ ගණිකා නිවාස සිය ගණනකට යමින් ලබාගත් ඡායාරූපත් සමඟ ඔහු ගණිකාවන්ගේ ජීවිතයේ අපි කවුරුත් නොදත් පැත්තක් හෙළිකරන්නට සමත් වුණා. ඔහු Nevada Rose නමින් මේ ගැන පොතක් පවා පළකරලා. 

මම ඔවුන්ගේ ජීවිතවලට එබී බැලීම ගැනත් ඒවා ලෝකය ඉදිරියේ නිරාවරණය කිරීම ගැනත් මේ කිසිම කාන්තාවකගෙන් මට විරුද්ධත්වයක් ආවෙ නෑ. මොකද මම උත්සාහ කළේ ඔවුන්ගේ ජීවිත උත්කර්ෂයට නඟන්නවත් එහෙම නැත්නම් ඒ ජීවිත පොඩිකරලා පාගලා දාන්නවත් නෙමේ. සියල්ල ඇති සැටියෙන්ම වාර්තා කරන්නයි මට ඕන කළේ. 

නෙවාඩා ප්‍රාන්තය තමයි අමෙරිකා එක්සත් ජනපදය තුළ ගණිකා වෘත්තිය නීතිගත කරපු එකම ප්‍රාන්තය. කැසිනෝ වැනි වෙනත් විනෝදාංග පවතින ලාස් වේගාස් නුවර පිහිටලා තියෙන්නේත් මේ නෙවාඩා ප්‍රාන්තයේම තමයි. කොහොම වුණත් මාර්ක්ට මේ වැඩේ ආරම්භ කරද්දි නම් ඒක එච්චර ලේසි පහසු වැඩක් වෙලා නැහැ. ඔහුගේම වචනවලට අනුව කිව්වොත් පළවෙනි ගණිකා මධ්‍යස්ථානයේදී ඔහුට පයින් ගහලා තමයි එලවලා තියෙන්නෙ. මොකද ගණිකා මධ්‍යස්ථානයකට ඕනෙ පාරිභෝගිකයෝ මිසක් වාර්තාකාරයෝ නෙමෙයිනෙ. 

හැබැයි මාර්ක් ඒකෙන් අධෛර්ය වෙලා නැහැ. ඔහු ප්‍රතික්ෂේපවීම් මැද්දේම තවදුරටත් ගණිකා මධ්‍යස්ථානවලට ගිහින්. අන්තිමේදී තමන්ගේ කැමැත්තෙන්ම මාර්ක්ගේ පින්තූරවලට පෙනී ඉන්න පවා මේ ගණිකාවන්ගේ කැමැත්ත හිමිවෙලා. ගණිකාවන්ගේ ජීවිතය හෙළිකරන අතරේදීම ගණිකා මධ්‍යස්ථානයක් තුළ පිළිගැනීමේ කවුන්ටරයේ සිට මුළුතැන්ගෙයි සිටින සුළු සේවකයින් සමඟ පවා මාර්කා කතාබස් කර තිබෙනවා. නෙවාඩා රෝස් බිහිවන්නේ ඒ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙසිනුයි.‍
මේ පොත පිරී ඇත්තේ ඡායාරූපවලිනි. වචන දහසකින් කිව හැකි දෑ එක් ඡායාරූපයකින් කිවහැකි යැයි කියැවේ. මාර්ක් උත්සාහ දරා ඇත්තේත් වචනවලට පෙරළන්නට අපහසු ගැඹුරු මානව හැඟීම් තම කැමරා කාචය ඔස්සේ ලෝකය හමුවේ තැබීමටයි. 

► Text — Rajitha