රොමේෂ් සුගතපාල කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය තරැණ ගායකයෙක්. ඒ වගේම තමා ඔහු මේ දිනවල ගත කරන්නේ කාර්යබහුල ජීවිතයක්. ඒ Tunes band එක සහ Tunes Studio එකේ වැඩ කටයුතු නිසාත් හිරු මෙගා ස්ටාර් නිසාත්. හැබැයි මේ කාර්යබහුල කාලය තුළත් හදසර කතා බහට රොමේෂ් සම්බන්ධ කරගන්න අපිට හැකි වුණා.
කොහොමද රියැලිටි අත්දැකීම?
ඇත්තටම හොඳ අත්දැකීමක්. මම ඉගෙන ගත්ත ශාස්ත්‍රීය සංගීතය තුළින් ජනතාව අතරට යන්න මේ තුළින් මට අවස්ථාව ලැබුණා.
ඒ තුළින් සැගවුණු රංගන දක්ෂතා පෙන්වන්නත් අවස්ථාව ලැබුණා නේද?
අනිවාර්ෙයන්ම. මම රඟපාන්න ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. නමුත් දැන් මට ඒ ගැන වැටහීමක් තියෙනවා. මම හිතුවේවත් නැති තරම් ප්‍රතිචාර ලැබෙනවා. අද වන විට ප්‍රසංග වේදිකාව මතදී මාව හඳුන්වා දෙන්නේ විටෙක රංගන ශිල්පියෙක් කියන දේත් කියලා. ඒ වගේම මගේ කණ්ඩායමේ නම රාවන් ඒ ගැනත් කියලම තමා. ඒ තරමටම ප්‍රතිචාර තියෙනවා.
අන්තිමට කරපු ගීතය?
හමුවෙන්නේ නෑ ආයෙත්. මේක මම මුලින්ම වෙබ් release එකක් කළේ. කොහොමත් මේ මාසේ අන්තිම වෙනකොට මගේ Tunes Studio එක හරහා කරන මුල්ම වීඩියෝ එක කරන්නෙත් මේ ගීතය වෙනුවෙන්.
කොහොමද අලුත් ගීතයට ලැබෙන ප්‍රතිචාර?
ඉතා ඉහළයි. මා බලාපොරොත්තු වුණාටත් වැඩියෙන් ඉහළ රසික ප්‍රතිචාර මේ අලුත් ගීතයට ලැබෙමින් පවතිනවා. වෙබ් release එකේදී මේ වෙද්දී ලක්ෂ එකහමාරකට වැඩි පිරිසක් නරඹලා තියෙනවා ඒ ගැන සතුටුයි.
දැන් යන මේ ගීත කලාවේ වෙනසක් කරන්න අදහසක් නැද්ද?
අනිවාර්යෙන්ම. 2017 දී මම හිතා ගෙන ඉන්නවා වෙනසක් කරන්න. ගොඩක් මට ඉල්ලීම් එනවා ශාස්ත්‍රීය ගීත කරන්න කියලා මාව රවීන්ද්‍ර රන්දෙණිය මහතා හඳුන්වන්නේත් අපේ ශාස්ත්‍රීය ගායකයා හැටියට. ඉතින් ඒ වගේ ප්‍රවීණයන් එහෙම මාව හඳුන්වද්දී මට හිතෙනවා ඒ පැත්තෙන් දෙයක් කරන්න.
ඔබේ ගී අතර වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුණු සහ ඔබ කැමතිම ගීතය?
දිගු දෑස දුටුවාම... ගීතය
ආ මඟ ගැන අද මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටුයි. 2003 දී ගීතයක් කරලා කොළඹට ආවා. කොළඹට ඇවිත් ලොකු කට්ටක් කාපු කෙනෙක්. එක පාරට හතු පිපෙන්නා වගේ ජනප්‍රිය වුණු ගායකයෙක් නෙවෙයි මම. විශ්ව විද්‍යාලයට ගිහින් ගොඩක් කැපකිරීම් මැද ගොඩක් දුක් විඳලා මේ ගමන ආපු කෙනෙක්. ඒ වගේම තමා මම මේ ගමන තනියම එන්න පටන් අරන් දැන් අවුරුදු 10ක් වෙනවා.
රොමේෂ්ට මේ ගමන එන්න උදව් කළ අය මතක් කළොත්?
අනිවාර්යෙන්ම ඒ අය මතක් කරන්න ඕනේ. මගේ අම්මා සුනීතා ද සිල්වා, තාත්තා කේ.එම්. සුගතපාල (තාත්තා දැන් ජීවතුන් අතර නැහැ) ඒ වගේම මට මුලින්ම ගීතයක් ලියලා දුන්න බන්දුල මුදන්නායක මහතා. එතකොට දිගු දෑස ගීතය ඇතුළු ගීත බොහොමයක් මා වෙනුවෙන් ලියපු නන්දන වික්‍රමගේ මහතාත්, රංග දසනායක අයියා, නිසල් ගංගොඩගේ, ඉරාජ් වීරරත්න, වසන්ත දුක්ගන්නාරාල, හේම නලින් කරුණාරත්න මහතා ඇතුළු සියලුම දෙනාත් මට උදව් කළ සියලුම මාධ්‍ය මිතුරන් සහ විශේෂයෙන්ම මට ආදරය කළ සියලුම රසික රසිකාවියන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ.
හෙට දවසේ බලාපොරොත්තු මොනවද?
මගේ ස්ථාවරය අඛණ්ඩව තියාගන්න එක. හැම තිස්සෙම හොඳ නිර්මාණ කරලා ඒක ගායනයෙන් වෙන්න පුළුවන් මගේ සංගීත කණ්ඩායමෙන් වෙන්න පුළුවන්. මගේ දැනුම භාවිත කරලා මොන විදියකින් හරි මගේ ජීවිතය අවසානය දක්වා සංගීතය තුළම රැදෙන්න තමා මගේ බලාපොරොත්තුව.
පවුලේ විස්තර
මගේ බිරිය ඔමාලි හේරත්. මට පුංචි පුතෙක් ඉන්නවා එයාගේ නම සෙනිත ලිමන්.
කවදහරි දවසක ඔබ කැමති ඔබේ පුතත් ගායකයෙක් වෙනවටද?
ඒක මට හරියටම කියන්න බැහැ. මගේ තාත්තාගේ ආදර්ශය වුණේ යන පැත්තකට යන්න දෙන එක. මමත් ඉන්නේ ඒ තැන.
Text – Anusha Ranasigha