2018 ජනවාරි 13 වන සෙනසුරාදා

ත්‍රීවිල් මෝහිනී..

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 124

පහුගිය දවසක අලුත් චිත්‍රපටයකට තිරපිටපතක් හදාගෙන යන්න රචකයො දෙතුන් දෙනෙක් එකතු වුණාලු. සාමාන්‍යයෙන් උදේ පටන්ගත්තම රූ 7 වෙද්දි දවසෙ වැඩ ඉවර කරනවලු. ඒත් හරියට මේ කියන දවසෙ වැඩේ පොඩ්ඩක් ඇදිලා ගොඩක් රෑ වෙලා. මේ කණ්ඩායමේ එක්කෙනෙක් ඉන්නෙ ටිකක් දුර. එයාට යන්න වෙනම ත්‍රීවිල් එකක් ප්‍රසිද්ධ ආයතනයකින් බුක් කරලා. මේ ගේ තියෙන්නෙ හරියටම කනත්තට අල්ලපු ඉඩමක. ඉතින් ත්‍රීවිල් රියදුරුට තැන හොයාගන්න එක අමාරුත් නැහැනෙ.
මහත්තයා කොහාටද එන්න ඕනෙ, ත්‍රීවිල් රියදුරු අර ලේඛකයගෙන් ඇහුවලු.

කනත්තට අල්ලපු ඉඩමෙ තියෙන අඹ ගහත් එක්ක කොළ පාට ගේට්ටුව තියෙන ගෙදරට එන්නකො... ඔහු කිව්වෙ තරමක් සැකයෙන්.
මචං ඒ මනුස්සයගෙ කටහඬ හරියට ගෑනියෙක්ගෙ වගේ... ඔහු වෙලාව බැලුවා. රෑ 12ත් පහුවෙලා.

ත්‍රීවිල් එක ආවා. ඔහු නැඟලා ටික දුරක් යනකොට කකුල් දෙක ගැහෙන්න අරන්. ත්‍රීවිල් එක එලවන්නෙ ගෑනු කෙනෙක්. අහන්න විදිහකුත් නැහැ. කිසිම කතාබහක් නැතුව ගේ ළඟට ඇවිත් සල්ලි දීලා වේගෙන් ගෙට ඇතුළු වුණාලු. මිනිහා හරියට හුස්ම අරගෙන තියෙන්නෙ ඊටපස්සෙ.

 

සනත් දැන් කැම්පස්ලු..

ප්‍රවීණ රංගධර හා අධ්‍යක්ෂක සනත් ගුණතිලක කලා ලොවේ මෙන්ම විවිධ ක්ෂේත්‍රවලද ජනප්‍රිය චරිතයක් බව කවුරුත් දන්නවනෙ.
ඒත් මේ අලුත් අවුරුද්ද එළඹෙනවාත් එක්කම සනත්ට අලුත් චරිතයකට පණපොවන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ කැමරාව ඉදිරියේ රඟපෑමක් නොව සැබෑ දිවියේම ලැබුණු අවස්ථාවක්.

කැලණිය විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ විරාගය පිළිබඳව ඉංග්‍රීසියෙන් දේශන කීපයක් පවත්වන්නට සනත්ට අවස්ථාව ලැබුණා. ඒ වගේම සිරස තරු මාවතේ සිටි තරගකරුවන්ට දේශන මාලාවක් ද සනත් පවත්වා තිබෙනවා. සනත් ගැන දන්නා බොහෝ දෙනෙක් ඔහුගේ වාග් චාතුර්ය ගැනත් දන්නවා ඇතිනෙ. ඉතින් මෙවැනි දේවල් කිරීම ඔහුට අපහසු දේවල් නෙවෙයි.

ඒත් වැඩේ කියන්නෙ ඊයෙ පෙරේදා පවුල් සංවිධාන සංගමය විසින් පවත්වපු උත්සවයකට ප්‍රධාන ආරාධිත අමුත්තා හැටියට ඇරයුම් ලබල තියෙන්නෙත් මේ සනත් ගුණතිලකමලු.
උත්සවය පවත්වලා තියෙන්නෙ අලුත්ම උපත් පාලන කොපු වර්ගයක් හඳුන්වා දෙන්නලු.

 

දිව්වට දිව්ව  හේතුව දන්නෑලු..

ඔන්න ඔය සනත් ගුණතිලක ප්‍රවීණ කලා ශිල්පියා පවුල් සංවිධාන සංවිධානයේ උත්සවේට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වුණාට ඒ උත්සවයට තවත් ජනප්‍රිය කලා ශිල්පීන් දෙන්නෙකුත් ආවලු පොඩි වැඩසටහනක් ඉදිරිපත් කරන්න. ඒ තමයි කුමාර තිරිමාදුර හා මිහිර සිරිතිලක.

උත්සවය ඉවරවෙලා කුමාර සනත් එක්ක කතා කරලා එවෙලෙම කුමාරගෙ බිරියට කෝල් එකක් අරගෙන.
මට අද වැඩේදි සනත් අයියා හම්බවුණා. දැන් මා ළඟ ඉන්නෙ. එයාගෙ වැඩේ ඉතින් කොහෙ දැක්කත් මට බණින එක තමයි, මම හැදෙන්නෙම නැහැ කියලා... කුමාර නෝනට කතා කරලා සනත්ටත් ෆෝන් එක දීලා.
නංගි ඔයා මෙතෙනට එනවද?

නැහැ සනත් අයියා මම හොස්පිට්ල් එකේ... ඩර්ඩන්ස් එකේ... කුමාර දැන් මෙහෙට එයි... 
ඇයි නංගි අසනීපෙන්ද? සනත් අහනවාත් එක්කම ලයින් එක කට්වෙලා.

සනත් කුමාරව ඩර්ඩන්ස් එක ළඟින් බැස්සුවා. කුමාර බැස්ස ගමන් හොස්පිට්ල් එක ඇතුළට එකපිම්මට දුවන්න පටන් ගත්තලු. සනත් එයාගෙ පස්සෙන් දුවනවා. සනත් බැරිම තැන නර්ස් කෙනෙකුටයි සිකුරිටි නිලධාරීන් දෙන්නෙකුටයි කතා කරලා කියලා කුමාරගෙ නෝනට අමාරුද දන්නෙ නැහැ මෙහෙම දුවන්නෙ කියලා.
කොහොම හරි ඉස්පිරිතාලෙ ඇතුළෙ කුමාරගෙ පස්සෙන් සනත්, සනත්ගෙ පස්සෙන් නර්ස්, නර්ස්ගෙ පස්සෙන් ආරක්ෂක නිලධාරීන් දෙන්නා දුවනවලු. එකපාරටම කුමාර මිසිං වෙලා.
අද වෙනකම් ඒ දිවිල්ලට හේතුව කිසිම කෙනෙක් දන්නෙ නැහැල්ලු.

 

මගේ ගාණ දැන් වැඩියි

ඔන්න පහුගිය දවසක එක්තරා ළමා නිවාසෙක තෑගි බෙදාදීමේ උත්සවයක් පැවැත්වුණාලු. ඒ උත්සවේට ඊට කලින් අවුරුද්දෙ ප්‍රධාන ආරාධිතයා හැටියට ඇවිත් තියෙන්නෙ ජනප්‍රිය තරුණ නිළියක්.
මේ පාරත් එයාව ගෙන්නන්න සංවිධායක මඬුල්ල තීරණය කළාලු.

මිස් අපි මේපාරත් ඔයාව තමයි ගෙන්නන්න හිතාගෙන ඉන්නෙ අපේ තෑගි බෙදාදීමේ උත්සවේට. අහවල් දවසෙ හවස් වරුව නිදහස් ද කියලා බලලා කියනවද? සංවිධායක මණ්ඩලේ මහත්මයෙක් අර තරුණ නිළියට කතා කළාලු.
දිනේ නම් නිදහස් කරගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි, ඒත් මගේ ගාණ නම් ඩබල්වෙලා තියෙන්නෙ. ගිය අවුරුද්දෙ දීපු ගාණට නම් කොහොමටවත් එන්න වෙන්නෙ නැහැ. ඇය කිව්වලු.
අනේ මේක ඉතින් අහිංසක පොඩි එවුන්ගෙ වැඩක්නෙ, එහෙම කරන්න එපා. හැබෑටම අර මොකෝ මිස් ගාණ වැඩිවෙන්න හේතුව?
ඇයි දන්නෙ නැද්ද මේපාර ජනප්‍රියම ටෙලි නිළියට හිමි සම්මානෙ ලැබුණෙ මටනෙ.
 

ගායක පුතාගේ ගොන් ෂෝ

පහුගිය දවසක නුගේගොඩ පැත්තෙ සුප්‍රසිද්ධ මංගල ඇඳුම් මහන ආයතනයක් ඉදිරිපිටදී සිදු වූ සිදුවීමක්.
වාහන නවත්වා තැබීමේ පහසුකම් අවම මෙතැනට සමාජයේ විවිධ තරාතිරම්වල අය ඇඳුම් මහන්න එනවා.
ඔය කියන දවසෙත් එක් වාහනයකට ඉඩක් තිබුණ නිසා එහි ආරක්ෂක නිලධාරියා එක්තරා වාහනේකට එන්න සංඥා කළා. ඒත් වාහනේ දානවත් සමඟම ලොකු නලා ශබ්දයකුත් එක්ක කොහේදෝ ඉඳලා අර කඩේ පඩිය උඩටම කාරෙකක් දැම්මෙ කවුරුත් පුදුම කරවමින්.

අර ආරක්ෂක නිලධාරියා ඉඩ හදලා දුන්න රතු වාහනය එකපාරටම නතර කරගත්තා.

ආරක්ෂක නිලධාරියා අර බලහත්කාරයෙන් දාපු වාහනේ රියදුරාට කෑගහන්න පටන් ගත්තා කරපු නරුම වැඩේට. ඒත් එක්කම ඒ වාහනේ ආපු කෙනා වාහනේ වීදුරුව පහත් කරලා ආරක්ෂක නිලධාරියාට බැණ්නලු.
තමුසෙ මාව අඳුරන්නෙ නැද්ද? මම අහවලා. මට මෙතන වාහනේ ගහන්න බැරි මොකද? බැලින්නම් ඔහු ප්‍රසිද්ධ ගායකයෙක්. ඔහුගේ පියා අද ජීවතුන් අතර නැති රටම දන්නා ගායකයෙක්.
අර මනුස්සයා එහෙම කෑගැහුවම අර රතු පාට කාර් එකේ ආපු කෙනා වාහනේ රිවස් කරලා යන්න ගියේ ආරක්ෂක නිලධාරියාට වචනයක් කියලා.
අපි සින්දු කියන්න පටන්ගත්තු කාලෙ මෙයා ඉපදිලාවත් නැහැ.

අර රතු කාර් එකේ ඉඳලා තියෙන්නෙ රටම ආදරය කරන ප්‍රවීණ ගායකයෙක්.

 

► Text - Mithra

 

 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00