2018 ජනවාරි 13 වන සෙනසුරාදා

තඩි ගොනෙක් මට අනින්න ආවා

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 102

දුලීකා මාරපන ගැන ඉතින් අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනේ නෑ. කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතා දක්ෂ කලාකාරියක් වගේම දුලීකා කියන්නේ බොහෝම නිහතමානී හිත හොඳ කලාකාරියක්. දුලීකා රඟපාපු චරිත අතරින් මිනිසුන්ගේ මතකේ රැඳුණු චරිත බොහෝමයි. ඉතින්... මෙවර අපේ TOP STORY විශේෂාංගයට එකතු කරගන්නේ දුලීකා මාරපනයි... මේ දුලීකාගේත් සුජීවගේත් අලුත්ම නිර්මාණය වුණු “සුපර්ණා චිත්‍රපටයේ දී වෙච්චි අමතක නොවන සිදුවීම් අතරින් සිදුවීම් දෙකක් විතරයි.

“සුපර්ණා චිත්‍රපටයේ කරද්දී තමයි මේ සිදුවීම් සිද්ධ වුණේ. ඒ චිත්‍රපටයේ දී මට බීච් බයිසිකලයක් පදින්න තිබුණා. ඒ වෙනකොට මම බීච් බයිසිකලයක් පදින්න ඉගෙනගෙන තිබුණේ නෑ. කොළඹදීවත් මම කවදාවත් බීච් බයිසිකලයක් පැදලා තිබුණේ නෑ. හැබැයි මගේ ලොකු විශ්වාසයක් තිබුණා මට මේක පැදගන්න පුළුවන් කියලා. ඉතින් ඔය දර්ශනය රූගත කරන්න තිබුණු දවසේ සුජීව අයියයි මගේ මල්ලියි (චන්දන මාරපන) ඇවිත් මට බීච් බයිසිකලය පදින්න ඉගැන්නුවා. දැන් ඔන්න මල්ලිට තමයි සුජීව පැවරුවේ බයිසිකලය පදවන්න පුරුදු කරන්න.

දැන් ඉතින් මට ඒ ළඟ තිබුණු වෙලකට ගිහින් බයිසිකලය පදින්න ඉගැන්නුවා. චූටිත් කිසිම ගුරුමුෂ්ටියක් නොතියාම මට බයිසිකලය පදින්න ඉගැන්නුවා. දැන් මම ඔන්න බයිසිකලය තනියම පදිනවා. දෙපාරක්, තුන්පාරක් පැද්දා මාර ෂෝක්. ඉතින් දැන් මට බයිසිකලය පදින්න පුළුවන්. කන්ද උඩින් රේස් කරලා වේගයෙන් මට දැන් යන්න පුළුවන්. මාත් එහෙට කරකවලා... මෙහෙට කරකවලා... පුරුදු වුණා. ටික වෙලාවකින් සුජීව අයියා වෙලට ඇවිත් “දැන් පුළුවන් ද කියලා ඇහුවා. චූටිත් මගේ දක්ෂතාවය තහවුරු කළා. ඉතින් දැන් ඔන්න අපි ටේක් එකට ගියා.

දැන් මට තියෙන්නේ කන්දක් උඩින් පල්ලමකට බයිසිකලය දාගෙන එකපාරටම බෙන්ඩ් එකක් අරගෙන බෝක්කුවකින් පැනලා පොඩි අඩි පාරක් දිගේ බයිසිකලය අරගෙන යන්න. රියසල් එකකුත් සුජීව අයියා බැලුවා. “ආ... ඔයාට පුළුවන්... මාරයිනේ... කියලා දැන් අයියටත් හරි ෂෝක්. හිතටත් හොඳයි කියලා ඔන්න දැන් ටේක් එකට ගත්තා.

කන්දෙ ඉඳන් පහළට එනකම් පැද්දා පැදිල්ලක් රූං ගාලා

කැමරා රෙඩි, ලයිට් රෙඩි, සුජීව අයියත් රෙඩි දැන් ඔන්න මමත් රෙඩි. ඔන්න දැන් මම වේගෙන් බයිසිකලය කන්දෙන් අරගෙන බෙන්ඩ් එකක් ඒ වේලෙන් අරගෙන වංගුවක් ගත්තා... සුජීව අයියා “හරි ඕකේ කට් කියනවත් මට ඇහුණා. ඔන්න ඉතින් මම බයිසිකලේත් නතර කළා කියමුකෝ. ඒත් එක්කම මම දැක්කා ඒ පැත්තේ නිදැල්ලේ හිටපු තඩි ගොනෙක් එක පිම්මට පිඹගෙන මගේ පැත්තට දුවගෙන ආවා. මාත් ආයේ නතර කරපු බයිසිකලේ නැගලා එක පිම්මට පදිනවා. ෂූටිං එකේ වේගෙට වඩා වේගෙන් දැන් මම බයිසිකලේ පදිනවා. මම යන යන පැත්තට ගොනත් දුවගෙන එනවා.

ඇත්තටම මම කෑ ගහගෙන බයිසිකලේ පදිනවා. අපේ කණ්ඩායමේ අයත් කෑ ගහගෙන ගොනා පස්සේ දුවගෙන එනවා. කොහොම හරි ඒ කෑ ගැහිල්ල ගොනාව මෙල්ල කරගන්න පුළුවන් වුණා. ඉතින්... ඔන්න ඔහොම හිටපු ගමන් ගොන්නුත් අපේ පස්සේ පන්නනවා.

ඔන්න තව සිදුවීමක් වුණා. මේ සිදුවීම වුණෙත් “සුපර්ණා චිත්‍රපටයේදීමයි. ඒ චිත්‍රපටයේදී අශාන් ඩයස් මුහුදේ ගැඹුරු තැනක වතුර යට බටනලාවක් පිඹින රූගත කිරීමක් කරන්න තිබුණා. අශාන්ට තිබුණේ එරමිණියා ගොතාගෙන ඒ කලපුව යට බටනළාව පිඹින්නයි. ඒ වෙනුවෙන් නාවික හමුදාවෙන් අපිට ලොකු සහයෝගයක් ලබලා දුන්නා. ඉතින් ඒ අය මුලින් ඒ වටේට කිමිදුම්කරුවන් යොදවලා පරීක්ෂා කරලා බැලුවා. මෝටර් බෝට්ටු දාලා වටේ රවුම් කැරකෙව්වා.

දැන් අශාන්ව බොහෝම ආරක්ෂාකාරීව වතුර යටට බැස්සුවා. එයාගේ ඉනේ පහළට ලොකු බරක් ගැටගහලා තිබුණා. කිලෝ විසිපහක විතර බරක්. දැන් අශාන් ලස්සනට පහළට ගියා. කැමරාත් ලෑස්තියි. කැමරාත් යටට ගියා. එක පාරටම අශාන්ව එක පැත්තට ඇලවුණා. ඒත් එක්කම බටනළාව තිබුණු අතින් අශාන් මොනවද කරනවා දැක්කා. දැන් අපි දැනගත්තා මොකක් හරි ප්‍රශ්නයක් කියලා. ඒත් එක්කම අපේ යුනිට් එකේ මල්ලි කෙනෙකුයි නාවික හමුදාවේ කට්ටියයි ඉක්මනට මුහුදට පැන්නා. ඒත් එක්කම අශාන්ව වතුර පහළට එඹීගෙන යනවා. කට්ටිය අශාන්ව අදිනවා අදිනවා එන්නේ නෑ. එකපාරටම අශාන්ව අරගෙන උඩට ආපු ගමන් ආයෙත් අශාන් ගිලුණා. කොහොම හරි ඉක්මනට අශාන්ව උඩට ගත්තා. ඊට පස්සේ සුජීව අයියා ඒ කොටස රූගත කරන එක නතර කළා.

අන්තිමට තමයි දැනගත්තේ අශාන්ගේ අර බර කොටස පහළට ගිහින් ගොඩාක් ගැඹුරු තැනක තිබුණු ගලක හිරවෙලා. කොහොමෙන් කොහොම හරි අශාන් බේරුණේ අනුනමයෙන්. හැබැයි අශාන්ට එදා බය හිතුනෙනම් නෑලු. හැබැයි වටේ හිටපු අපිනම් එදා හොඳටෝම බය වුණා.

► Text - Jayamali  /   Pic- Sumudu 
  

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00