2018 ජනවාරි 20 වන සෙනසුරාදා

දැහැන

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 180

ආදරයකට කෙළවරක් තියෙනවද? මොකක්ද ඔයාගේ උත්තරය? මගේ උත්තරය නෑ... මගේ හෘද සාක්ෂියට එකඟව ආදරය කියන්නේ අනන්තයක්... මඟ හැරුණත්... මඟ නොහැරුණත්.... ඒ ආදරයට අනාගතයක් හෙට දවසක් බලාපොරොත්තුවක් තිබුණත් නොතිබුණත් ආදරය අනන්තයක්... මතක මත්තේ විඳවන්න හරි අතහැරෙන මඟහැරෙන ආදරයක අල්පමාත්‍රික ශේෂයක් හරි අපි හදවතේ කොහේ හරි මුල්ලක සඟවාගෙන ඉන්නේ ඒකයි. මට හිතෙන්නේ ජීවිතය අහසක් නම් ආදරය කියන්නේ ඒ අහස මත අප්‍රමාණ නිදහසකින් සැරිසරන තාරකාවක්...

ආදරය එකඟතාවය මත ඇතිවෙන සම්මුතියක්... ඒ සම්මුතිය තමා මම ඔයාට ආදරය කරන්න එකඟයි කියන සම්මුතිය... ඒත් ඒ කවදා වෙනකම්ද? කොයිතරම්ද? කොන්දේසි සහිතද? කොන්දේසි විරහිතද? කියන එක අපි අපිට ආදරය කරන්න පටන් ගමු කියන සම්මුතියෙන් බැඳෙද්දී කතා නොකරන දෙයක්... මට හිතෙන්නේ ආදරය කියන්නෙම සම්මුතියකින් තොර විසම්මුතියක්... ගඟක් වගේ ගලාගෙන ගිහින් හිතෙන තැනක හිතෙන විදිහකට නතර වෙන හැඟීමක්... කොන්දේසි සම්මුති දිවුරුම් නීතිමය ආවරණ රෙගුලාසි ආදරයකට තියෙන්න විදිහක් නෑ. වලංගු වෙන්න විදිහක් නෑ. කොයි මොහොතක හෝ එය මඟහැරෙන්නත් පුළුවන්... වෙනස් වෙන්නත් පුළුවන්... මගේම වෙන්නත් පුළුවන්... වෛරයක් වගේම සංසාර ප්‍රාර්ථනයක් වෙන්නත් පුළුවන්... ඒකයි මම කීවේ ආදරය අනන්තයක් කියලා...

ආදරය කියන කාරණයේදී හුඟක් අය අයිතිය ඉල්ලනවා. ආදරය මගේම වීම සහ ඒ මගේ වීමට නීතිමය ආවරණයක් ලබාගැනීම තමා හුඟක් අය ආදරයේ හිමිකම සහ පරම අයිතිය කියලා සලකන්නේ. මේ හිමිකම සහ පරම අයිතියම තමා වෙනත් විදිහකින් විවාහය කියලා හඳුන්වන්නේ. ආදරය කරන දෙන්නෙක් විවාහ වෙන්නම ඕනද? විවාහය කියන නීතිමය දැල ආදරය කියන බැඳීම ආවරණය කළ පමණින් ආදරය සුරක්ෂිතද? ආදරය මගේමද? ඒ බැඳීම සදාකාලිකද? මුළු ජීවිත කාලයම විවාහය කියන සම්මුතියෙන් නොබැඳී දෙදෙනෙකුට ආදරය කරන්න බැරිද? දරුවෙක් අවශ්‍යනම් දරුවෙක් හදන්න පවුලක් හදාගන්න බැරිද? එකට ජීවත් වෙන්න එකට ජීවිතය බෙදා හදාගන්න ආදරය කරන්න ආදරය විඳින්න බැරිද? ඇයි බැරි? විවාහ වුණා කියලා මිනිස්සු වෙනස් වෙන්නේ නැද්ද? ආදරය අත්හැරෙන්නේ මඟහරෙන්නේ නැද්ද? වෙන වෙන ජීවිත ළඟ නැවතෙන්නේ නැද්ද? ආදරය කියන්නේ අධ්‍යාත්මික කාරණාවක්. හිස්තැනක් නොදැනෙනතාක් එය පවතිනවා. හිස්තැන් ඇතිවෙන්න ඇතිවෙන්න රික්තකයක් ඇති වෙනවා. ඒ රික්තකය යළිත් පිරවෙන තැනක ඕනෑම කෙනෙක් ඕනෑම වෙලාවක නවතින්න පුළුවන්. මිනිස් සිතේ ප්‍රකෘතිය හැම මොහොතකම වෙනස් දෙයක් අලුත් දෙයක් හොයනවා. අපි මේ සියල්ල සදාචාරය සම්ප්‍රදාය සහ නීතිය කියන යදම් වලින් හිරකරන්න හදනවා. මිනිස්සු තමන් වෙනුවෙන් තමන්ම සිරගෙවල් හදාගන්නේ මෙන්න මේ සිද්ධාන්තය මත.

විවාහයකදී නීතිය කියන රැකවරණය අඩුම තරමේ දරුවන්ට දරුවන්ගේ අයිතිය වෙනුවෙන් මූල්‍යමය වටිනාකමක් ලබාදෙන්න සාධකයක් වෙන්න පුළුවන්. ඒ හැරෙන්න හුඟ දෙනෙකුට විවාහය කියන්නේ හිරගෙයක් විතරයි. විශේෂයෙන් ආසියාතික ගැහැනුන් බහුතරයක් පුරුෂාධිපත්‍යයෙන් බැටකන්නේ, උන්ගේ අන්තවාදී මූලධර්ම වලින් ගුටිකන්නේ තැලෙන්නේ විඳවන්නේ සියල්ල අහිමි කරගන්නේ වහලියක බවට පත්වෙන්නේ ඒක පාර්ශවීය පුරුෂ ලිංගිකාස්වාදයේ ගොදුරක් බවට පත්වෙන්නෙත් මේ විවාහය තුළමයි. අදටත් හුඟක් පිරිමින්ට ගැහැනුන් වහලියක්, ප්‍රජනන මැෂිමක් සහ පිරිමි වෙනුවෙන් ඉපදිච්ච භාණ්ඩයක් විතරයි.

මට හිතෙන්නේ මිනිස්සු හොයන්න ඕනේ අයිතියවත් මගේකමවත් නීති රෙගුලාසි සමාජ ආචාරධර්ම ඇතුළෙ ආරාක්ෂාවක්වත් නෙවෙයි. ජීවිතයක් ආදරයක් සහ නිදහසක්. ඒ තුළ ලෝකයේ අන් සියල්ල තියෙනවා. ඔව්... ආදරයක් නිදහසක් සහ ජීවිතයක් හිමි වූ කල සියල්ල ඔයා ළඟ.

I Saara

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00