2018 ජනවාරි 20 වන සෙනසුරාදා

නිදාගෙන නිරුවතින් පාෙත් ලියූ ලියන්නෝ

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 342

ලිවීම කියන්නේ ලේසිපහසු කාර්යයක් නොවේ. හොඳ ලේඛකයෙකුට ලියන්නට අදහස් ඕනෑ ය. එසේ අදහස් ගලාඑන්නට නම් හොඳ පරිකල්පන ශක්තියක් තිබිය යුතුය. එවැනි පරිකල්පන ශක්තියකින් උපදින අදහස වචනවලට පෙරළා අනෙක් අයගේ රසවින්දනය, ජීවිතාවබෝධය වෙනුවෙන් බිහිකළ ලේඛකයෝ අදටත් පිදුම් ලබන්නෝ ය. නමුත් මේ ලේඛකයින් තමන්ගේ හැකියාව ගොඩනඟාගන්නේ එකෙකුට එකෙක් වෙනස් ලෙස ය. ඊට හොඳම උදාහරණය වන්නේ ඔවුන් ලියන ආකාරයයි. ලියන ඉරියව්වයි. ලියන්නට යොදාගන්නා මොහොතයි. 

නිදාගෙන ලියපු අය

අපි ඕනෑම කෙනෙක්ට තමන්ට පහසුම ඉරියව්වක් තිබේ. ලේඛකයෙකුට ද එය එසේම ය. ඔවුන්ට ලිවීමේ කාරිය හොඳින්ම කළ හැක්කේ තමන්ට වඩාත්ම සැපපහසු ඉරියව්වේ සිටින විට ය. ඔවුන්ගේ සිතට ගැලපෙන අදහස් ගලාඑන්නේ ඇඳේ වැතිර සිටින විටදීය. එසේ නිදාගෙන පොත් රචනා කළවුන් අතර මාක් ට්වේන් ප්‍රසිද්ධියක් උසුලයි. ටොම් සෝයර්, හකල්බරි ෆින් වැනි ජනප්‍රිය නවකතා රැසක් ලියූ ඔහුගේ ලේඛන කටයුතුවලට ප්‍රධානම අත්වැල සැපයූයේ නිදන ඇඳයි. අමෙරිකානු කතුවරයෙක් හා නාට්‍ය රචකයෙක් වන ටෘමන් කැපොට් ප්‍රසිද්ධව සිටියේම නිදාසිටින ලේඛකයෙකු ලෙසිනි. මන්ද ඇඳට ගොඩ නොවී අකුරක් හෝ ලිවීමට ඔහුට බැරි නිසා ය. 

චාල්ස් ඩිකන්ස් අර්නස්ට් හෙමිං වේ ලීවෙම හිටගෙන

හිටගෙන ලියපු අය

පිරිසක් නිදාගෙන ලියද්දී තවත් පිරිසක් කැමති වූයේ හිටගෙන ලියන්නට ය. හිටගෙන ලියූ කතුවරුන් අතරට ලෝක පූජිත ලේඛකයන් වූ චාල්ස් ඩිකන්ස්, අර්නස්ට් හෙමිංවේ, වර්ජිනියා වුල්ෆ්, ලුවිස් කැරොල් ආදීන් අයත් ය. 

පාට පාට කොළ

ඇලෙක්සැන්ඩර් ඩූමා ප්‍රංශයෙන් බිහිවූ සුපිරි නවකතාකරුවෙක් මෙන්ම කවියෙකි. ත්‍රී මස්කටියර්ස්, සිටුවර මොන්ත ක්‍රිස්තෝ වැනි නිර්මාණ ඔහු කරද්දී තමාටම ආවේණික වුණු ශෛලියක් පාවිච්චි කළේය. ඒ පාට පාට කොළ භාවිත කිරීමයි. ඔහු ප්‍රබන්ධ නවකතා ලියූවේ නිල්පාට කොළවලය. ප්‍රබන්ධ නොවන නවකතා ලියවුණේ රෝසපාට කොළවල ය. කහපාට කොළ වෙන්වුණේ කවි ලියන්නට ය. 

‍අැලෙක්සැන්ඩර් ඩූමාට පාට පාට  කොළ ඕනෑ

ඔළුවෙන් හිටගැනීම 

ඩාවින්චි කෝඩ් නවකතාව මෑතකාලීනව ලොව පුරා විශාල කැළඹීමක් ඇති කළ නවකතාවකි. විශේෂයෙන්ම කතෝලික ලෝකය තුළ එය විවාදාපන්න නිර්මාණයක් විය. එහි කතුවරයා වූයේ ඩෑන් බ්‍රවුන්ය. ඩෑන් බ්‍රවුන් ලියාගෙන යද්දි අදහස් ගලා නොඑන්නේ නම් කරන්නේ එකම දෙයකි. ඒ මිනිත්තු කිහිපයක් ඔළුවෙන් හිටගෙන සිටීමයි. එවිට මනස නිරවුල් වී අලුතින් අදහස් ගලාඑන්නට පටන්ගන්නා බව බ්‍රවුන්ගේ අදහසයි. ඊට අමතරව ඔහු ලියන අතරතුර නොයෙකුත් ව්‍යායාම කරන්නේ ද මනසට අලුත් අදහස් ගලාඒමට ඉඩ හදන්නට ය. 

වික්ටර් හියුගෝ ලීවෙම හෙළුවෙන්

අමු හෙළුවෙන්

මනුතාපය එදත් අදත් හෙටත් ලෝක සාහිත්‍යයේ අමරණීය තැනක සිටින නවකතාවක් බවට සැක නැත. එහි ලේඛකයා වූයේ ප්‍රංශ ජාතික වික්ටර් හියුගෝ ය. හියුගෝ තමන්ගේ තවත් ප්‍රකට නිර්මාණයක් වන ද හන්ච්බැක් ඔෆ් නොටර්ඩෑම් රචනා කරන්නේ නිරුවතිනි. එම නවකතාව ලිවීම ඔහුට දිගින් දිගටම ලිවීම ප්‍රමාද වූ අතර ඔහු අවසානයේ ඊට විසඳුමක් ලෙස  කල්පනා කරන්නේ තමන්ගේ ඇඳුම් සියල්ල සේවකයෙකු ලවා නිවසින් ඉවත් කරලීම ය. එවිට නිවසෙන් එළියට ඒමට නොහැකි ඔහුට නිවස තුළට වී පොත ලියා අවසන් කිරීමට ඉඩ සැලසේ. 

► Text — Rajitha