සමිතා... පහුගිය දවසක ඔයාගේ උපන් දිනය යෙදිලා තිබුණා. ඒ වෙනුවෙන් ඔයාගේ පුතයි දුවයි ඔයාව පුදුම කළා... ඔයාට විශේෂ තෑග්ගක් එහෙමත් දුන්නා..?
ඔව්... මගේ දුවයි පුතයි දෙන්නම මගේ ජීවිතේ මට හැමදාම වටිනා තෑගි දෙකක් තමයි. ඉතින්.. ඒ දෙන්නා මට කරන හැමදෙයක්ම කරන්නෙ මාව සතුටු කරන්නයි. ඉතින්... එදා ඒ දෙන්නා මා වෙනුවෙන් මාව සප්‍රයිස් කළා. ඇත්තටම එදා මම ඒ දෙන්නා වෙනුවෙන් ගොඩක් සතුටු වුණා.
කාවින්ද්‍යා... අම්මා ගැන හිතන විදිහ වීඩියෝ එකක් කරලා ඔයාට අහන්න සැලැස්සුවනේ... මොකද හිතුණේ...?
අම්මා කෙනෙක්ට දරුවෙක්, මේ ලෝකේ හොඳම අම්මා මගේ අම්මා... ඔය ඇස් දෙකේ කඳුළු දකින්න මම කැමති නැහැ අම්මේ.. කියලා කියද්දී අම්මා කෙනෙක්ගේ ඇස්වලට කඳුළු එකතු වෙනවා තමයි. ඇත්තටම එදා මගේ ඇස්වලටත් ඉබේම කඳුළු එකතුවෙලා ඇස්වලින් ගලාගෙන ගියා. දරුපැටවු දෙන්නාට මම දෙන ආදරේ තරමටම ආදරයක් ඒ දෙන්නගෙන් මට ආයෙත් ලැබෙද්දී ඉබේම ඇස්වලට කඳුළු එනවා. එදා මගේ ඇස්වලිනුත් ගලාගෙන ගියේ සතුටු කඳුළුයි.
කියමුකො... ඒ උපන් දිනය සමරපු හැටි පොඩ්ඩක්..?
හරියටම රෑ දොළහට මගේ දුවයි පුතයි කේක් එකක් ගෙනල්ලා තිබුණා. දුවගේ කාමරේදී තමයි ඒ දෙන්නා පුංචි සප්‍රයිස් පාටියක් ලෑස්ති කරලා තිබුණේ. ඉතින්.. ඇත්තම කිව්වොත් ඒ දෙන්නා එකතුවෙලා මාව සප්‍රයිස් කරන්න ලෑස්තිවෙනවා කියලා මම කලින් ඉඳන්ම දැනගෙන හිටියා. එදා දවසෙම දෙන්නට හරියට වැඩ. එහාට දුවනවා. මෙහාට දුවනවා. හැම වැඩක්ම කරන්නෙ දෙන්නා එකතුවෙලයි. දෙන්නගේ කසුකුසුව හරිම වැඩියි. මාව දැක්කගමන් කතාව නවත්වනවා. ඉතින්... දෙන්නා කරන දේවල් දැකලා මට හිනා. මම ඒ දේවල් දන්නෙ නැහැ වගේ හිටියා. ඒ දෙන්නගේ සතුටනේ ඒක. මගේ දුවගෙයි පුතාගෙයි සතුට වෙනුවෙන් මම මැරෙන්න වුණත් සූදානම්. ඉතින් ඒ හින්දා මම ඒ කරන දේ දන්නෙ නැහැ වගේ ඉඳලා මම ගොඩක් පුදුමයට පත්වුණා වගේ ඉඳලා මම එදා ඒ දෙන්නව සතුටු කළා.
මීට අමතරව සමිතාගේ යාළුවොත් ඔයාගේ උපන් දිනය සමරන්න එකතු වුණා නේද..?
ඔව්.. මගේ ජීවිතේ මගේ දුකේදී සතුටේදී එක වගේම ළඟින්ම ඉන්න යාළුවන් කීපදෙනෙක් ඉන්නවා. ඒ අතරින් ජානකී, තරංගි, අංජු, සඳුනි, සුභා විශේෂයි. ඒ යාළුවෝ මගේ ජීවිතේ මගේ හැම දුකකදීම, සතුටකදීම මාත් එක්ක ඒ දේවල් බෙදාහදාගත්තා. මගේ ළඟින්ම හිටියා. ඉතින්.. මේ උපන් දිනය දවසෙත් ඒ අය මගේ සතුට බෙදාහදාගත්තා. ඒ වගේම මගේ දුවගෙනුයි පුතාගෙනුයි ලැබුණු උපන් දින තෑගිවලට අමතරව තවත් මට සුවිශේෂී කෙනෙක්ගෙන් උපන් දින තෑග්ගක් ලැබුණා. ඒකත් මට සුවිශේෂී වුණා.
සමිතාගේ උපන් දිනය දවසේ හරි අපූරු පුංචි පාටියක් එහෙමත් සූදානම් කරලා සමිතාව පුදුම කරවපු කාවින්ද්‍යා එක්ක අපි පොඩ්ඩක් කතා කළා.
කාවින්ද්‍යා.. අම්මගේ බර්ත් ඩේ එකට ඔයයි මල්ලියි එකතුවෙලා මොකද කළේ..?
මටයි මල්ලිටයි ඕනවුණා අම්මිට ලොකු සප්‍රයිස් එකක් එක්ක ප්‍රසන්ට් එකක් දෙන්න. ඒ අයිඩියා එක අපි දෙන්නගෙමයි. ඉතින්... හැමදාම වගේ අම්මි මටයි මගේ මල්ලිටයි ජීවිතේට බොහෝ දේවල් දෙනවා. එහෙම ජීවිත කාලයටම ඒ දේවල් දෙන අම්මිට අපි දෙන්නා එකතුවෙලා දෙයක් දෙන්න ඕන වුණා. අම්මිගේ බර්ත් ඩේ එකට එයා ගොඩක් සතුටුවෙන දෙයක් දෙන්න අපිට ඕන වුණා. ඒ නිසා මායි මල්ලියි ප්ලෑන් කරලා හොඳ ප්‍රසන්ට් එකක් දෙන්න හිතුවා. ඒ වෙනුවෙන් අපේ යාළුවෝ ගොඩක් ලොකු සපෝට් එකක් දුන්නා. මගේ යාළුවෝ වගේම අපේ ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් අය සපෝට් කළා. මම දවසක්ම මේ වීඩියෝ එක හැදුවා. ඉතින්... උදේ ඉඳන් මම හැමදෙයක්ම එකතු කළා. වීඩියෝ එකතු කරලා තමයි මේ තනි වීඩියෝ එක හදාගත්තේ.
එතකොට අම්මා ගෙදර ද හිටියෙ...?
ඔව්.. ඔව්.. අම්මිගේ බර්ත් ඩේ එක තිබ්බේ ජනවාරි 09 වැනිදා. අටවැනිදා උදේ ඉඳන්ම අම්මි හිටියේ ගෙදර. ඉතින්... එයාට හොරෙන් මටයි මල්ලිටයි දෙයක් කරන්නත් බැහැ. ඒත් මොනවා කරන්නද.. මම එළියට යනවා. ආයේ ගෙදර එනවා. බර්ත් ඩේ කේක් එකයි මගේ කාමරේ සරසන්න ඕන කරන දේවලුයි ගිහින් ගෙනාවේ මායි මල්ලියි. මල්ලිගේ කාමරේ හරි අම්මිගේ කාමරේ හරි ඒ දේට ලෑස්ති කළොත් අම්මිට තේරෙනවනෙ. ඒ නිසා අම්මිව සප්‍රයිස් කරන්න ලෑස්ති කළේ මගේ කාමරෙයි. ඉතින් අපි එළියට යන්න ලෑස්තිවෙලා අපි දෙන්නා ගිහින් එන්නම් බායි කියලා ඉක්මනට එළියට යනවා. හැබැයි ඉතින් අම්මට තේරෙන්න ඇති අපි දෙන්නා එළියට යන්නෙ එයාට Gift එකක් ගන්න හරි මොකක් හරි දෙයකට කියලා. ඉතින්... එදා මායි මල්ලියි shopping ගියා. කොහොමහරි එදා රූ දහයට විතර මල්ලි මගේ කාමරයට හෙමින් ෂේප් එකේ ඇවිත් අපි කාමරේ සැරසුවා. ඉක්මනට ඩෙකරේෂන් කළා. රෑ දොළහට අපි අම්මව කාමරේට එක්කරගෙන ගිහින් අම්මිව සප්‍රයිස් කළා.
එතකොට අම්මිට වීඩියෝ එක පෙන්නුවේ රෑ දොළහටද..?
නෑ... ඒ වීඩියෝ එක පෙන්නුවේ අම්මිගේ බර්ත් ඩේ එක දවසේ උදේ. රෑ දොළහට අම්මිට පෙන්නන්න වීඩියෝ එක හදලා තිබුණේ නෑ. ඉතින් ඉක්මනට උදේ හදලා ඉවරවෙලා මායි මල්ලියි අම්මිට උදේ වීඩියෝ එක පෙන්නුවා. ඒ වෙලාවේ අම්මි හිටියේ අපේ ගෙදර උඩ අම්මිගේ කාමරේ. මායි මල්ලියි ඉක්මනට එළියට ගිහින් මල් ගොඩක් ගෙනත් පහළ සරසලා වීඩියෝ එකත් ලෑස්ති කරලා අම්මිට පහළට කතා කළා. අම්මි පහළට එද්දීම දැක්කා හරි ලස්සනට මල්වලින් සරසලා තියෙනවා. ඉතින්... අම්මි පහළට ආවට පස්සේ තමයි මම වීඩියෝ එක පෙන්නුවේ. ඒක දැකලා අම්මි හොඳටම ඇඬුවා.
කාවින්ද්‍යා.. මල්ලියි ඔයයි අම්මාගේ සතුට වෙනුවෙන් කරපු දේ ගැන අද මොකද හිතෙන්නෙ..?
මගේ අම්මිගේ වීඩියෝ එක දැකලා ගොඩක් අය හොඳ කියලා තිබුණා. කීපදෙනෙක්ම නරකත් කියලා තිබුණා. අම්මිව සප්‍රයිස් කරනවා වගේම මට තවත් දෙයක් කරන්න ඕන වුණා. අද සමාජයේ අම්මයි දරුවනුයි අතර තියෙන බැඳීම ගොඩක් වෙලාවට කැඩිලා තියෙනවා. ඒ නිසා අද අම්මලා සහ දරුවන් ඈත්වෙලා. ඉතින් මට ඕනවුණා අම්මලාගේ අගය දරුවන්ට කියලා දෙන්න. අම්මලාව අගය කරන්න කියලා මට කියන්න ඕන වුණා. ඒ නිසයි ඒ වගේ වීඩියෝ එකක් මම කළේ.
මගේ අම්මි තමයි මගෙයි මල්ලිගෙයි පණ. අම්මා වෙනුවෙන් අපි දෙන්නා මැරෙන්න වුණත් ලෑස්තියි. මොකද... අම්මි අපි දෙන්නා වෙනුවෙන් මැරෙන්න වුණත් ලෑස්තියි කියලා අපි දෙන්නම දන්නවා. අම්මි අපි දෙන්නව කවදාවත් තනිකළේ නෑ. අපි දෙන්නව දාලා ගියේ නෑ. එදා වගේම අද වෙනකම් අපි දෙන්නගේ පිටිපස්සෙන් අම්මි ඉන්නවා. මගේ පෞද්ගලික ජීවිතේ වගේම මගේ කලා ජීවිතෙත් ලොකුම හයිය තමයි මගේ අම්මා. මගේ හොඳම හොඳ යාළුවා මගේ අම්මයි. මගේ ජීවිතේ හැමදෙයක්ම මම කියන්නෙ එයාටයි. ඉතින්... අම්මිට මායි මල්ලියි ගොඩක් ආදරෙයි.
► Text - Jayamali / Pic - Internet