2018 ජනවාරි 27 වන සෙනසුරාදා

රත්තරන් ජෝති

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 66

අපි පහුගිය සති කීපය තුළ කතා කරපු මාතෘකාව තමයි අද අපේ කලා ක්ෂේත්‍රයේ ශිල්පීන් තුළ බොහෝවිට දකින්නට නොලැබෙන වෘත්තිමයභාවය හා ඔවුන් තුළ නොදකින කැපවීම.

වෘත්තීය ගරුත්වය රැකගන්නේ නැතුව තමන් නියැලෙන වෘත්තිය හරහා සාර්ථකත්වයක් ලබාගත නොහැකි බව මේ අය තේරුම්ගන්නෙ නැහැ. තේරැම්ගන්නට අවශ්‍යතාවයකුත් නැහැ.

පහුගිය දවසක අපට මුණගැහුණා අපේ අසහාය ගායක එච්.ආර්. ජෝතිපාලයන්ගේ මුල්ම කැසට්පටය නිෂ්පාදනය කළ නිෂ්පාදකවරයා. ඔහු දැන් ඉන්නෙ ලංකාවෙ නෙවෙයි.
අතීත මතක සටහන් අවදිකරමින් ඔහු පුනපුනා කීවේ ජෝතිගේ තිබුණු මහත්මා ගති ගැන වගේම ඕනෑම නිර්මාණයක් ඉතාම ඉහළ මට්ටමකින් කරන්න ඔහුට තිබුණු වුවමනාව ගැනයි.
කැසට්පටයට සින්දු කියන්න ඉස්සෙල්ලා ජෝතිට වුවමනා වුණා මෝදර කොවිලට යන්න. මාත් එක්කයි ඔහු ගියේ. එහිදී ඔහු කරපු සියලු පූජාවන් දිහා මම බලන් හිටියා. එන ගමන් ජෝති කිව්වෙ මචං මේවා අපිට ලැබිලා තියෙන්නේ දේව ආශිර්වාදය නිසා. එනිසා අපි වැඩක් කරන්න කලින් දෙවියන්ගෙ ආශිර්වාදය ලබාගන්න ඕනෙ කියලා.

 

අයි අයියෝ ශාලා හිස්ලු

අපේ රටේ හොඳ සිනමාලෝලී ප්‍රේක්ෂක පිරිසක් ඉන්න බව මෑත කාලයේ දී ප්‍රදර්ශනය වුණු හොඳ චිත්‍රපට ලැබූ සාර්ථකත්වය මනාවට ඔප්පු කළානෙ.

ඇත්තට අපේ රටේ සිනමාවෙ අර්බුදයක් තියෙනවද, එහෙම නැත්නම් චිත්‍රපට කර්මාන්තයේ නියැලී සිටින නිර්මාණවේදීන්ගේ අර්බුදයක් තියෙනවද කියලා ගැටලුවකුත් අපට ඇතිවෙනවා. සිංහල සිනමාවෙ 71 වැනි සංවත්සරයත් එක්කම වගේ අලුත් චිත්‍රපටයක් තිරගත වීම ආරම්භ කළා. ඒත් චිත්‍රපටය පෙන්නලා දෙවැනි දවසෙම සමහර ශාලාවල දර්ශන වාර අවලංගු කරලා, බලන්න මිනිස්සු නැති නිසා.

මේ චිත්‍රපටයේ මංගල දර්ශනයට ඒකෙ රඟපාන ප්‍රධාන නිළියත් ඇවිත් නැහැල්ලු. එහෙව් එකේ චිත්‍රපටය බලන්න සාමාන්‍ය මිනිස්සු නොඑන එක මහලොකු කජ්ජක්ද කියලා සමහරු අහනවා.

 

නළු අයියා සලාද පෝලිමේ

සිංහල සිනමාවේ එක්තරා දක්ෂ ශිල්පියෙක් පහුගිය දවසක තරුපහේ හෝටලයක මංගල උත්සවයකට සහභාගි වුණාලු.
එයාට වාඩිවෙන්න ලැබුණෙ ඉතාම ජනප්‍රිය රංගන ශිල්පිනියන් තිදෙනෙක් සිටි මේසයක. සතුට ඉහවහ ගිය නිසාදෝ මිනිත්තුවකට සෙල්ෆි පහ හය අරගෙන FB එකෙත් දැම්මලු.

ඔන්න දැන් කෑම කන්න පටන් ගත්තා. මෙයත් අර නිළියො තුන්දෙනා පිටිපස්සෙන්ම ගිහින් බුෆේ පෝලිමේ හිටියලු. මෙයාට හොඳටම බඩගිනිත් එක්කලු. ඔන්න දැන් පිඟාන අරගෙන බෙදන්න යනකොට තමයි දැකලා තියෙන්නෙ මෙයා ඉන්නෙ සලාද කන පෝලිමේ කියලා. පුළුවන් තරම් පිඟානට බෙදාගත්තත් බඩගින්න වැඩිකමට ඒවා බඩට දැනිලත් නැහැල්ලු.

ඔහු වහාම වාහනේ අරන් ළඟම තියෙන එයාගෙ හොඳම යාළුවෙකුගෙ ගෙදරට ගියේ යන ගමන් කෝල් එකක් දීලා.
මම දැන් එනවා. මට දැන්ම කන්න කෑම ලෑස්ති කරලා තියන්න, කියලා.

 

සනත්ගේ ආරක්ෂාවට  මරු ඩබලක් 

ප්‍රවීණ රංගධර සනත් ගුණතිලක දැන් ඉන්නෙ කොළඹ නෙවෙයි. ඔහු දැන් පදිංචිවෙලා ඉන්නෙ මාලබේ ඕකීඩ් නිවාස සංකීර්ණයේ.
ළඟදි හිතවතුන් පිරිසක් හමුවූ සනත් ඔහුගේ නව පදිංචිය ගැන විස්තර කරමින් හිටියා.

ඒ පැත්තෙ කොහොමද ආරක්ෂාව එහෙම? යාළුවෙක් අහලා තියෙනවා.

ඒ ගැන නම් කියලා වැඩක් නෑ. මේ සංකීර්ණයේ තියෙන ආරක්ෂක පද්ධතිය ඉතාම ඉහළයි, ඒත් මට ඊටත් වඩා සුවිශේෂී ආරක්ෂාවක් ලැබෙනවා, ඔහු කිව්වලු.
ඒ මොකක්ද?

මගේ ගෙවල් දෙකකට එහා ඉන්නෙ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා. හාරකෝටිය නාට්‍යයේ දිලී හැටියට ඇය අවිආයුධත්   කරන හරඹ දැක්කම මට කිසිම බයක් නැහැ, මොකද මගේ ආරක්ෂාවට එයා ඉන්නවනෙ හූවක දුරින්. අනික එයාට මේ වැඩකිඩ උගන්වන්නෙ ඩින්කා නැත්නම් රැවන් පෙරේරා. ලොකු ඇබැද්දියක් වුණොත් මට ඩින්කත් ඉන්නවා, ඔහු කිව්වලු.

 

ජොගිං පාරෙ කිරි අදිනවලු

ඔහු ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙක්. කෙතරම් කාර්යබහුල වුවත් තම ශරීර සුවතාවය ගැන උනන්දු වන කෙනෙක්. ගෙදර ඉන්න දවස්වල අනිවාර්යයෙන්ම උදේ පාන්දරින්ම ඔහුව මුණගැහෙන්නෙ ගෙවල් ළඟ තියෙන ජොගිං පාරේ.
ඔන්න පහුගිය සතියෙ දවසක ඔහුව දකින්න ලැබුණෙ වෙනස් ස්වරූපයකින්.

වෙනදට ට්‍රැක් කිට් එක ඇඳන් වේගෙන් ජොගිං මාවතේ ඇවිදයන ඔහු පහුගිය දවස්වල දැක්කෙ කොට කලිසමක් ඇඳගෙන අත්දෙකේම කිරිබෝතල් දෙකක් අරගෙන යන එක.
මොකද්ද මේ සීන් එක, ඔහුගෙන් යාළුවෙක් අහලා තියෙනවා.
නෑ මචං මගේ නෝනගේ නංගිලා පවුලම රට ඉඳන් ඇවිල්ලනෙ. ඒගොල්ලො බොන්නෙ ෆ්‍රෙෂ් මිල්ක්. ඉතින් ළඟ තියෙන ගේකින් උදෙන්ම ගිහින් එළකිරි ගේන එක තමයි මේ දවස්වල මගේ පළවැනි රාජකාරිය, ඔහු කිව්වලු.

 

►Text - Mithra

 

 

 

 

 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00