විරාග රාගය අතරේ තනිවූ ආලය
විරාම දෙයි එක් හදකට පුදා පරාජය
විරාග රාගය අතරේ තනිවූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය
ඔබ අඬවන් නෙතු - කරමින් අද නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහළදා
ඈ මුකුලිත වූවා...
කරගනු ඈ සතු - නොරිසි ඔබේ සිතු
ඈතින් ඔබ මුනිවර මනසින් පෙම් කළදා
ඈ අසරණ වූවා...
නුරා එගිනි දලු - ඈ දවමින් ගෙතු
සලෙල ගීතයට ඇය තනුවක් කරගත්දා
ඈ ලොව අහිමි වුණා...
ඔබේ නිවුණු ගති ඇයට නොවුණි රුති
ඔබේ වියළි පෙම ඈ හට කතරක් වූදා
ඈ මවෙතට ආවා...
අමල් පෙරේරා ඔබේ අලුත් ගීතය විරාග රාගය ගැන පොඩ්ඩක් කියමුකො...?
විරාග රාගය ගීතය බන්දුල නානායක්කාරවසම් මහතා තමයි රචනා කළේ. සංගීතවත් කළේ සුරේෂ් මාලියද්ද මහතා. මේකෙ විෂුවල් එක කළේ තිසර ඉඹුලානයි. මේ විෂුවල් එකට යශෝධා, මහේන්ද්‍ර, හේමාල් තමයි පෙනී හිටියේ.
අමල්... මේ වගේ ගීතයක් අමරසිරි පීරිස් හා එකතුව කරන්න කියලා මුලින්ම හිතුණේ කාටද..?
මේක මට හිතුණු දෙයක්. මට අමරසිරි අංකල් එක්ක එකතුවෙලා සින්දුවක් කරන්න ආස හිතුණා. ඒ ගැන අමරසිරි අංකල්ට මම කිව්වාම අමරසිරි අංකලුත් කැමති වුණා. ඒ නිසා අපි දෙන්නා එකතුවෙලා බන්දුල අයියට කියලා මේ වගේ ගීතයක් ලියවගත්තා. අද කාලේ එකම රැල්ලට යන ගීතනේ වැඩිපුරම අපිට අහන්න ලැබෙන්නේ. වැඩිපුරම මේ වගේ සංකල්පයකට අනුව ගැයෙන ගීත ඇහෙනවා අඩුයි. ඒ නිසා තමයි මේ ගීතය කරන්න හිතුණේ.
අමල් අමරසිරි පීරිස් මහතාට කතා කළ පමණින් ඔහු කැමති වුණාද..?
ඔව්.. මම කියපු ගමන් අමරසිරි අංකල් කැමති වුණා. මේ ගීතය කරන්න පටන් අරගෙන අවුරුද්දක් විතර වෙනවා. හැබැයි මේ වීඩියෝ එක කරලා ඉවරවුණේ මෑතකදියි.
මේ ගීතයට හරි අපූරු විෂුවල් එකක් කරලා තියෙනවා. මේ සංකල්පය කාගෙද..?
මේක ඇත්තටම තිසරගේ සංකල්පයකට අනුව නිර්මාණය වුණු විෂුවල් එකක්. සින්දුව හොඳට ඇහුණට පස්සෙ තිසර තමයි කිව්වේ අපි මෙන්න මේ විදිහට විෂුවල් එකක් කරමු කියලා. ඉතින්... මේකට තිසර ගොඩක් මහන්සි වුණා. අද තියෙන විෂුවල් එක්ක බලද්දි මේක හාත්පසින්ම වෙනස් වුණු විෂුවල් එකක්. කොහොමටත් අපිට ඕනවුණා අලුත් විදියේ වෙනස් විෂුවල් එකක් කරන්න. ඉතින් ඒ අනුව තමයි අපි කට්ටිය එකතුවෙලා මේ වගේ විෂුවල් එකක් කළේ. මගේ වුවමනාවට මගේ අවශ්‍යතාවයට තිසර ඒ දේ හොඳට කරලා දුන්නා.
මේ විෂුවල් එකේ ඉන්නෙ යශෝධා, මහේන්ද්‍ර සහ හේමාල්. මේ තුන්දෙනාම රූපරචනාවලට පෙනී ඉන්න අය නෙමේ. අප රටේ ඉන්න දක්ෂ කලාකරුවන් කලාකාරියන්. ඒ වගේ තුන්දෙනෙක් රූපරචනාවකට එකතු කරගන්න හිතුණේ ඇයි..?
ඇත්තටම මේ විෂුවල් එකට මේ තුන්දෙනාම යොදාගමු කිව්වේ මමයි. අමරසිරි අංකල්ගෙයි මගෙයි හඬවල්වලට ගොඩක් ගැලපෙන තුන්දෙනා විදිහට මගේ ඔළුවට එකපාරම මැවුණේ මේ තුන්දෙනා තමයි. ඉතින් මම මේ තුන්දෙනාට කතා කරපු ගමන් තුන්දෙනත් කැමති වුණා. ඇත්තටම ඒ ගැන ගොඩක් ස්තූති කරන්න ඕනෙ.
මොකද හිතන්නෙ විරාග රාගය ගීතය අද දකිද්දි..?
මේක මේ මාසේ විසිහත්වැනිදා තමයි අපේ ආදරණීය රසික රසිකාවියන්ට රසවිඳින්න ලැබෙන්නේ. මේ වෙනකොට මගේ යාළුවන් මේ ගීතය අහලා දැකලා හොඳ ප්‍රතිචාර ලබලා දීලා තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා මගෙත් අමරසිරි පීරිස් මහතාගෙත් අලුත්ම ගීතය වන විරාග රාගය අහන්න, දකින්න කියලා. එය වෙනස්ම අත්දැකීමක් වේවි.
► Text - Jayamali / Pic – Internet