ඔන්න මුලින්ම අපේ ඇපල් කතාව කියන්නම්කො... ඒක සිදුවුණේ කොරියාවේදි. ඔන්න අපේ බෑණ්ඩ් එක ගිහින් ඒ රටේ සාර්ථක ප්‍රසංග කිහිපයක්ම කළා. අපිට ප්‍රසංග හතරක් තිබුණා. අපි දවස් අටක් ඒ රටේ හිටියා. ඉතින් බෑණ්ඩ් එක කොරියාවේ දවස් අටක් ඉඳිද්දි මම තව දවස් පහක් දීර්ඝ කරගත්තා. මමයි ජනකයි තමයි ඒ දවස් පහ කොරියාවේ හිටියේ. ඔන්න ඉතින් දැන් කණ්ඩායමේ අනිත් කට්ටිය ලංකාවට ආවා.
අපි නතර වුණේ රාජපක්ෂ කියන අපේ හොඳ හිතමිත්‍රයකුගේ ගෙදර. ඔන්න ඉතින් අපි තුන්දෙනා කොරියාවේ එහේ මෙහේ යද්දී ඇපල් වතු වගේකුත් දැක්කා. දැන් අපිට මාර හැපි. පිටරට සංචාරවලට වාහනවල යද්දී දැකලා තිබ්බට ළඟට ගිහින් ඇපල් වත්තක ඇවිදින්න, ගහේ තියෙද්දීම ගෙඩියක් අතගාලා බලන්න ඊට කලින් අපිට අවස්ථාව ලැබිලා තිබුණේ නෑ. ඉතින් අපේ වාහනය රාජපක්ෂ අර ඇපල් වත්ත ළඟ නැවැත්තුවා. ඒ වත්ත කළේ සුදු ජාතික කාන්තාවක්. ඉතින් රාජපක්ෂ ළඟට ගිහින් ඒ කාන්තාව එක්ක කතාබහ කරලා එහෙම අපිවත් හඳුන්වලා දුන්නා. ඊටපස්සෙ ඒ කාන්තාව අපිට වත්ත ඇතුළට කතා කරලා අපිට ඇපල් කඩන්න පවා අවස්ථාව ලබලා දුන්නා. ඉතින් මම ආසාවට අපේ ෆෝන් එකෙන් එතන වීඩියෝ එකක් කළා. හැබැයි ඒ වීඩියෝ එක දැකපු බොහෝ දෙනෙක් කිව්වේ චන්දනයි ජනකයි කොරියාවේ ගිහින් ඇපල් විකුණනවා කියලා. හැබැයි අපි විනෝදයට තමයි බොරුවට ඇපල් විකිණුවේ. හැබැයි ඉතින් අපි බොරැවට ඇපල්... ඇපල්... කියලා විකිණුවානම් තමයි.
සීදුව සකුරා සංගීත කණ්ඩායමට පෙර මම වෙනත් සංගීත කණ්ඩායමක වැඩ කරන කාලේදී මට තවත් අපූරු සිද්ධියක් වුණා. ඒකෙ ජංගම වේදිකාවක තමයි ප්‍රසංගය තිබුණේ. කොහොමටත් එහෙම ගියාම ප්‍රසංග දහයක් පහළොවක් එකදිගට තියනවා. ඉතින් මේ ප්‍රසංගය තිබ්බේ දෙවුන්දර. ඒ ප්‍රසංගයේ දී උඩ පැන පැන සින්දු කියද්දී මගේ කලිසම ඉරුණා. දැන් මට තේරුණා මගේ ඩෙනිම පිටිපස්ස ඉරුණා තමයි කියලා. අතගාලා බලද්දී ෂුවර් එකටම දැනගත්තා ඉරුණා තමයි කියලා. එදා මම ඩෙනිම් ජැකට් එකක් ඇඳලා තිබුණේ. ඉතින් ෂේප් එකේ මම ජැකට් එක ගලවලා ප්‍රේක්ෂකයන්ටත් ඒකෙන් ආචාර කරලා ඉණ වටේ ජැකට් එක ඔතාගත්තා. වැඩේ කියන්නෙ මම ජැකට් එක ගලවලා ඉණ වටේ ඔතාගනිද්දී බලන්න ආපු මල්ලිලාත් එයාලගේ ෂර්ට් පවා ගලවලා ඉන වටේ ඔතාගත්තා. හැබැයි අදටත් ඒ මල්ලිලා දන්නේ නැතිව ඇති එදා චන්දනගේ කලිසම ඉරුණ නිසයි එහෙම කළේ කියලා.
කාලයකට ඉස්සර ප්‍රසංග දහයට නවත්වන නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න පටන් ගත්තනෙ. හැබැයි අපේ රට හුරුවෙලා තියෙන්නෙ ප්‍රසංග රෑ දහයට පටන් ගන්නනෙ. ඉතින් කොළඹින් පිට එක්තරා ප්‍රදේශයකට ගිහින් ඔන්න අපි ප්‍රසංගය පටන් ගත්තා. අපි ප්‍රසංගය පටන් ගන්නකොටත් රෑ නවයයි. දහය වෙද්දී හාරදාහක් විතර හොඳ සෙනඟක් හිටියා. එකපාරටම රෑ දහයට ඇවිත් පොලීසියෙන් නවත්වන්න කිව්වා. කොහොම කොහොමහරි කතාබහ කරලා දහයහමාර වෙනකම් ඉඩ දුන්නා රෑ එකොළහට පොලීසියෙන් කරුණාකරලා නවත්වන්න කියලා තදින්ම කිව්වා. එතන හිටපු නිවේදන ශිල්පියාත් අත්දැකීම් අඩු නිවේදන ශිල්පියෙක්. පොලීසිය කියපු ගමන් මේ නිවේදන ශිල්පියාත් දැන් අපි ප්‍රසංගය නවත්වනවා. කියලා ඩෝං ගාලා නැවැත්වුවා. එතකොට සෙනඟ කොහොමටත් හාරදහස් පන්සීයක් පන්දාහක් වගේ ගාණක් හිටියා. ඊටපස්සෙ බලාගෙන හිටපු අර සෙනඟ කන්දරාව විසිල් ගහන්න පටන් ගත්තා. හූ කියන්න පටන් ගත්තා. එකදිගට ගල් ගහන්න පටන් ගත්තා. අපි අපේ වාහනයට ආවා. ඒකටත් ගල් වදිනවා. අපි බඩු දාගෙන ආපු ඇලුමිනියම් ලොරිය උඩට නැග්ගා. ඊටපස්සෙ අජිත් අයියා ඉක්මනට පොලීසියට කතා කරලා තව පොලිස් කණ්ඩායමක් ගෙන්නුවා. ඒ අතරේ අපිට ආදරය කරන සමහරු අජිත් අයියට කෝල් කරලා එන්න එපා දැම්මම මඟ රැකගෙන කට්ටියක් ඉන්නවා කියලා කිව්වා. ඊටපස්සෙ වෙනම පාරකින් වෙනම පොලිස් ජීප් රථ දෙකක ආරක්ෂාව ඇතුව තමයි අපිව කොළඹට එව්වේ.
► Text -Dishani / Pic - Sumudu