එන්න මීදුම මැද්දෙන් ඇවිදගෙන යන්න.... ඇහිපිය ගහන ඇසිල්ලේ වැස්ස... තව එක මොහොතකින් රත්තරන් පාට අව්රුල්ල... රන් පැහැ අහස අළු පැහැ ගැන්වෙන්න ගතවෙන්නේ තවත් මිනිත්තු කිහිපයක් විතරයි... ඉතින් එන්න සොබාදහමේ ආශ්චර්ය ආස්වාදයෙන් විඳගන්න... සීතල නුවරඑළියේ අසිරිමත් නිම්නයට...... යමු අද අපි හෝර්ටන් තැන්නට....... ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුම අතරට එක්කළ හෝර්ටන් තැන්න ඉහළ කඳුකර වැසි වනාන්තරයක් ලෙස පවතින ශ්‍රී ලංකාවේ එකම ජාතික වන උද්‍යානයයි. හෙක්ටයාර් 3160ක පමණ භූ වපසරියකින් යුත් හෝර්ටන් තැන්න 1969.12.05 වැනිදා ස්වභාවික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කළා. 1988.03.16 වැනි දින තමයි එය ජාතික වන උද්‍යානයක් බවට පත් වුණේ.
මීට අවුරුදු ගණනාවකට එහා ඈත අතීතයේදී හෝර්ටන් තැන්න හැඳින්වූයේ මහතැන්න, මහඑළිය, විල්මන්තලව ගෝනතැන්න වගේ නම් වලින්. ඒ වගේම ඉංග්‍රීසින්ගේ යුගයේ මේ සුන්දර තැන්න අලින්ගේ සහ ගෝනුන්ගේ පාරාදීසයක්. ඒ අතීත අයිතියට සාක්ෂි දෙන්න වගේ ගෝන්නු නම් අදටත් මේ අපූර්ව තැන්න වාසභූමි කරගෙන අත්තා මුත්තා දුවලා පුතාලා පැටව් සනුහරයක්ම ඉන්නවා... ඒත් අලි නම් එක්කෙනෙක්වත් නැති හැඩයි. සද්දන්ත කුලේ ඇත්තන්ගේ පාරාදීසයක් වී තිබූ යුගයේ මේ සොඳුරු තැන්න ELEPHANT PLAINS නමිනුත් ගෝනුන්ගේ පාරාදීසයක්ව තිබූ හෙයින් ELK PLAINS නමිනුත් හැඳින්නුවා. ඉංග්‍රීසින්ගේ යුගයේ තේ වගාවට කඳුකර බිම් එළිවෙද්දී මේ චමත්කාර තැන්න සුද්දන්ගේ ලොකුම විනෝදාංශය වෙච්ච දඩයමට දඩබිමක් වුණා. සුද්දෝ උන්ගේ තුවක්කුව පත්තුකළේ අපේ මහ පොළවේ ජන්මලාභය ලැබූ අලින්ට... ගෝනුන් දඩයම අලි දඩයම තරම් සුද්දන් පිස්සු වට්ටපු වෙනත් විනෝදාංශයක් ඒ යුගයේ නාෙතිබුණු තරම්. සුද්දන්ගේ ඒ පව්කාර සතුට වෙනුවෙන් ජීවිත අහිමි කරගන්න අපේ සද්දන්තයින්ට සිදුවුණා. සැමුවෙල් බේකර්ස් සහ තෝමස් විලියම් ඒ කාලෙ හිටපු දක්ෂ අලි දඩයක්කාරයන් දෙන්නෙක්. තෝමස් විලියම් අලි 1400ක් මැරූ අලි ඝාතකයෙක් වගට ඉතිහාසය සාක්ෂි දරනවා. වර්ෂ 1831-1837 කාලයේ ලංකාවේ සිටි සර් රොබට් විල්මට් හෝර්ටන් එදා මහඑළියතැන්න නමින් හැඳින්වූ මේ තැන්නේ නිතර ඇවිද්දා. මේ නොකිලිටි සොබාදහම් උරැමයට ඒ ඉංග්‍රීසි ආණ්ඩුකාරයත් ලොබ සිතින් පෙම් බඳින්න ඇති. ඒ නිසාමද කොහේදෝ සර් හෝර්ටන් 1836දී මේ තැන්න එයාගේ නමින් නම් කළා. අපේ මහඑළියතැන්න සුද්දගේ නමින් හෝර්ටන් තැන්න වුණේ අන්න එහෙමයි. අදටත් දක්නට ලැබෙන එල්ක් ලොජ් නවාතැන ඉදිවුණේ එදා දඩයක්කාරයන්ගේ ප්‍රයෝජනය පිණිසයි. තෝමස් ෆා පසුව එය ෆා ඉන් නමින් නම් කළා. එදා ෆා ඉන් දැන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලය විදිහටත් සංචාරක තොරතුරු මධ්‍යස්ථානය විදිහටත් භාවිත කරනවා.
වන කෞතුකාගාරයක්, සංකීර්ණ ජෛව විවිධත්වයකින් සන්නද්ධ සොබාදම් ආකරයක් ලෙස ලෝවැසි පරිසරවේදීන්ගේ සම්භාවනාවට පාත්‍ර හෝර්ටන්තැන්න ආසියාවේ ඉහළම ජෛව විවිධත්වයකින් යුක්ත පරිසර පද්ධතිය ලෙසත් ලෝකයේ අතිවිශිෂ්ට ජෛව විවිධත්ව වනාන්තර දහඅටෙන් එකක් ලෙසත් මහා වටිනාකමක් උසුලනවා. ඒ විතරක්ද? හෝර්ටන් තැන්න ලෝකයේ හොඳම ජෙෙව විිවිධත්වය සහිත වන උද්‍යාන 25ටත් අයත්. ඒ වගේම ප්‍රාග් එතිහාසිකහා පුරාවිද්‍යා වටිනාකම අතිනුත් හෝර්ටන් තැන්නේ වටිනාකම සුවිසල්. ආචාර්ය ශිරාන් දැරණියගල කියන විදිහට මධ්‍ය ශිලා යුගයේ එනම් මින් වසර දස දහස් ගණනකට ඈත සාධක වගේම මීට වසර දස දහසකට පෙර යුගයට අයත් ශිලා මෙවලම්ද හෝර්ටන් තැන්නෙන් සොයාගෙන තියෙනවා. ඔවුන් ඒ යුගයේ කෘෂිකර්මයේ යෙදුණු බවට පොසිල සාධක හෝර්ටන් තැන්නෙන් හමුවී තියෙනවා.
මීදුම මැද්දෙන් සිනිඳු අව් රැල්ලක සුවය මැද්දෙන් හිටිවනම හිතුවක්කාර සුළඟ කැටුව එන වැහි මැද්දෙන් ඔයත් එක්ක හෝර්ටන් තැන්නේ ඇවිදින ගමන් අපි ඔයාට කීවේ එහි ඉතිහාසය වගේම පාරිසරික සහ සෞන්දර්යාත්මක වටිනාකම. උදෑසන හයේ කණිසම වැදුණු මොහොතේ පටන් හවස හයේ කණිසම වැදෙන මොහොත දක්වා හෝර්ටන් තැන්න දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් විවෘතයි. ඒත් සවස හතරෙන් පසු සංචාරකයන්ට හෝර්ටන් තැන්නට පිවිසුමට ඉඩක් නෑ. ඒ හෝර්ටන් තැන්නේ ඇවිදින්න ඇති කිලෝමීටර් අට හමාරක නවයක දුර ඇවිදින්න පැය තුන හතරක කාලයක් ගතවෙන නිසා. ඉන්දියානු සංචාරකයන් බොහොමයක් හෝර්ටන් තැන්නට එන්නේ රාමා සීතා පුරාවෘත්තයේ ශ්‍රී ලාංකික සාධක දැකගන්න වුණත් අන් සියලු සංචාරකයන් මෙහි පැමිණෙන්නේ සොබා දහමේ නොහිම් සුන්දරත්වය විඳගන්න. හෝර්ටන් තැන්නේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක්. අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක පහක්. ඒත් ඒ සීතල... ඇඟ හිරිවට්ටන සුළඟ... කඩු තුඩු වැහි කැට මේ සියල්ලේ පහස විඳගන්නත් එක්ක වාර්ෂිකව මෙහි එන දෙස් විදෙස් සංචාරකයන් සංඛ්‍යාව අති විශාලයි.
වාර්ෂිකව මිලි මීටර් 2500 ක වර්ෂාපතනයක් වැටෙන හෝර්ටන් තැන්නේ වැස්ස කොයි තරම් සැඩ වුණත් කුඩයක් ඉහලුවොත් නම් හමාරයි. කුඩෙත් එක්කම අහසේ ඉගිල්ලෙන්න ඔන්න එහෙනම් ඔයාටත් පුළුවන්. හෝර්ටන් තැන්නේ ඇවිදිල්ල ඉවර නෑ. කියන්න තවත් කතා එමටයි. මල්, තුරු, කොටි, කුරුලු සමනළ කී නොකී විස්තරත් එක්ක එන සතියෙත් හොර්ටන් තැන්නේදීම හමුවෙමු.
► Text -Saara / Pic- Channa Kassapa Koralearachchi