2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

දැහැන

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 121

වැරැද්ද වෙනුවෙන් සාධාරණය ඉල්ලපු මිනිස්සු...... 

කාකි ඇඳුම අඳින හැම කෙනෙක්ම එක්කෝ සොල්දාදුවෙක්. නැත්නම් නිලධාරියෙක්. කාකි ඇඳුම අඳින හැමෝටම වීරයන් වෙන්න බෑ. හැබැයි සමහර අයට ජඩයන් සහ මැරයන් වෙන්න පුළුවන්. මෑතම සාක්ෂිය තමයි කතරගමදී ෙපාලීසිය තරුණයෙක්ගේ හිසට  වෙඩි තබා සිදුකළ සාපරාධී මනුෂ්‍ය ඝාතනය. අපේ හමුදාවේ සැබෑම වීරයන් හිටියා. උත්තුංග මනුෂ්‍යත්වය ලෝකයටම පිළිබිඹු කළ සොල්දාදුවන් නිලධාරීන් හිටියා.හොඳම සාක්ෂිය ත්‍රස්තවාදය සමාප්ත්ත කළ අවසාන මානුෂිය මෙහෙයුම. ත්‍රස්තවාදීන් මිසක් නිරායුධ දෙමළ මිනිසුන් මරන්න ඒ හමුදාව ඔවුන්ගේ ගිනිඅවි බෝම්බ වැය කළේ නෑ. ඇත්තටම ඔවුන් කළේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මානුෂීය මෙහෙවරක්. කාකි ඇඳුම ඇඟ ලා ගත් වීරයන් ගැන එවන් සිහිපත් කිරීමක් කරන අතරේම කාකි ඇඳුම ඇඟ ලා ගත් ජඩයන් සහ මැරයන් ගැනත් කියන්නම වෙනවා.

අවම බලය පාවිච්චි කරනවා කියන්නේ මිනිහෙක්ගේ ඔළුවට වෙඩිල්ලක් තියන්න තියෙන අයිතිය නෙවෙයි. මරණීය වෙඩිල්ලක් ප්‍රහාරයක් එල්ල කරන්න තියෙන අයිතියත් නෙවෙයි. මිනිහෙක් වැරදිකාරයෙක්ද? නැද්ද? වැරදිකාරයෙක් නම් දඬුවම මොකක්ද කියන එක තීරණය කරන්න ඕන රටේ වලංගු සම්මත නීතිය මිසක් ජඩ පාහර නින්දිත අමන ගොන් විදිහට නීතිය අතට ගත් අමනයන් නෙවෙයි. නීතියේ පරමාධිපත්‍ය තියෙන්නේ ජනතාවට. ඒක රටේ ජනතාව සතු අයිතියක්. ඒත් දේශපාලන බලපුළුවන්කාරකම්වලට සහ ධනයේ බලයේ හයියට නීතිය නැවෙන තැන් තියෙනවා. නීතියේ අපක්ෂපාතීත්වය ගිලිහී යන තැන් තියෙනවා.

ජනතා පැතුම එසේ නොවූ නීතියේ පරමාධිපත්‍ය බලයයි. දණ නොගසන නීතියක හිමිකාරීත්වයයි. රටේ වලංගු නීතියෙන් ලිස්සා යන අපරාධකාරයන්ට මැරයන්ට සහ ජඩයන්ට සොබා දහමේ සහ හෘද සාක්ෂියේ දඬුවමෙන් ගැලවෙන්න බැරි මොහොතක් එනබව නිසැකයි. මේ ලෝකයේ අන් කවර අධිකරණයකටත් වඩා තමන්ගේ හෘද සාක්ෂියේ අධිකරණය බලවත්. ඒ අධිකරණයේ ආත්මීය තීන්දුව මරණයට මොහොතකට පෙර හෝ ඔබට පිළිගන්න සිදුවෙන මොහොතක් නොපැමිණෙන්න විදිහක් නෑ. සොබාදහමේ අධිකරණයත් එහෙමයි. ඒ තීන්දුවලින් ගැලවෙන්න බැරි තරම් ඒ තීන්දු නිශ්චිතයි.

කාකි ඇඳුම කියන්නේ නිල ඇඳුමක් විතරයි. ඒ නිල ඇඳුමට අදාළ බලතල සමූහයක් තියෙනවා. ඒත් මිනිහෙක් සාපරාධී විදිහට මරන්න සාක්ෂි විභාගයකින් තොරව සැකකාරයෙක් අපරාධකාරයෙක් කරන්න අධිකරණ තීන්දුවකින් මිසක් පුද්ගල කේන්ද්‍රීයව දඬුවම තීන්දු කරන්න කවරෙකුටවත් අයිතියක් නෑ.

ඇයි අම්මේ තාත්තා හුඟක් වෙලා නිදියන්නේ... ඇයි අම්මේ තාත්තා නැගිටින්නේ නැත්තේ... කතරගමදී කාකි ඇඳුමක් ඇඟලා ගත්තෙකු විසින් 25හැවිරිදි පුද්ගලයෙකුගේ හිසට එල්ල කළ වෙඩි පහරකින් මියගිය පුද්ගලයාගේ පුංචි දරුවා තාමත් මරණය ගැන දන්නේ නෑ. ඒ නින්දෙන් නැගිටින්න බැරි බව දන්නෙත් නෑ. මේ මරණය අපිට තව එක මරණයක් වෙන්න පුළුවන්. පොලීසියට තවත් එක සිද්ධියක් වෙන්න පුළුවන්. උසාවියට තවත් එක නඩුවක් වෙන්න පුළුවන්. ඒත් දරුවෙකුට නැතිවුණේ එයාගේ ලෝකයේ ඉර හඳ දෙකෙන් එකක්. ගැහැනියකට නැතිවුණේ ජීවිතේ බර බෙදාගන්න හිටිය අත්වැලක්. කාටද පුළුවන් ඒ හිස්තැන්වල වන්දිය තක්සේරු කරන්න.

ඒ මැරුණු තමන්ගේ එකා වෙනුවෙන් ආවේගයෙන් ඉදිරියට ආව, ඌට වෙච්ච අසාධාරණය වෙනුවෙන් කෑ ගහපු කතරගම මිනිස්සුන්ට වුණේ බැටන් පොලු පහර කන්න. ඒ බැටන් ප්‍රහාරය වයසක අම්මලාට තරුණ කෙල්ලන්ට එල්ලවෙලා තිබුණා. අධ්‍යාපන අයිතියක් වෙනුවෙන් සටන් කරපු කෙල්ලක් බිම වැටිලා ඉද්දී ඒ කෙල්ලට බැටන් පොල්ලෙන් ගහන කාකි නිල ඇඳුම් කාරයාගේ සේයාරුව මාධ්‍ය මගින් එළිදක්වපු කාලෙ මිනිස්සු අනේ අපොයි කීවා. ඒත් මට හිතෙන්නේ ඒ පශ්චාත්තාපයට සාධාරණය ඉටු කරන්න බෑ. සාමූහික අරගලය දියත් විය යුත්තේ ඒ සාධාරණත්වය වෙනුවෙන්. මේ වගේ සිද්ධි මෑත ඉතිහාසයේ හිඟ නෑ. කතරගම මිනිහෙක් නිරපරාදේ මැරුණෙත් පොලීසියේ වැරැද්දෙන්. අවසානේදී බැටන් පොලු පහර කෑවෙත් කූඩුවේ ලැග්ගේත් වැරැද්ද වෙනුවෙන් සාධාරණය ඉල්ලපු මිනිස්සු.

මෙවන් වහ යුගයක අපි ඉල්ලන්නේ එකම එක දෙයයි.
නීතියට... සාධාරණයට... අවම බලයට සහ වහ පාලනයට... අපිට නිවැරැදිම නිර්වචනයක් - අර්ථකථනයක් දෙන්න.

I Saara

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00