මුස්ලිම් සමාජය බොහෝ දුරට ප්රකටව පවතින්නේ පීතෘ මූලික ප්‍රජාවක් ලෙසිනි. විශේෂයෙන්ම ආගමික වතාවත්වලට පැමිණීමේදී ස්ත්‍රියට හිමිවන අයිතිවාසිකම් බොහෝ සීමාසහිත බැව් අන්‍ය ලබ්ධිකයන් පවා නිතර පවසන කරුණකි. එහෙත් ස්ත්‍රියට එවැනි තත්ත්වයක් හිමිව තිබෙන්නේ ඉස්ලාම් දහම තුළින් නොව ස්ත්‍රීන් දෙවැනිකොට තැකීමට උත්සාහ දරන පිරිමින් නිසා පමණක් බවට වන වටිනා පණිවුඩයක් ලොව හමුවේ තැබීමට මුස්ලිම් කාන්තාවක් නොබියව පෙරට පැමිණියේ 2005 වසරේදීය.
වර්ජිනියා කොමන්වෙල්ත් යුනිවර්සිටියේ ආගම සහ දර්ශනය පිළිබඳ මහාචාර්යවරියක වන අමීනා වාදුද් සැළකෙන්නේ ලොව පළමු ඉස්ලාම් ඉමාම්වරිය ලෙසිනි. ජුම්මා නමස් ලෙස හැඳින්වෙන සිකුරාදා යාතිකාවන් මෙහෙයවීම ඉමාම්වරයෙකුගේ කාර්ය භාරය වන අතර එතෙක් කල් එම තැන ලැබුණේ පිරිමින්ට ම පමණි.
මහාචාර්ය අමීනා ගිය මඟ යමින් අසල්වැසි ඉන්දියාවේ ගුරුවරියක වන ජමිතා ටීචර් නමින් ප්‍රසිද්ධියට පත් කාන්තාවක් ද සිකුරාදා දේව මෙහෙයන් පැවැත්වීමේ ප්‍රධානත්වය ගෙන තිබේ. ඒ ඉන්දියාවේ පළමු ඉමාම්වරිය බවට පත්වෙමිනි.
ඉන්දියානු ජනරජ දිනය යෙදී තිබුණ එදින ස්ත්‍රී පුරුෂ 50 දෙනකුට ආසන්න පිරිසක් වෙනුවෙන් සිකුරාදා දේව මෙහෙය පැවැත්වූයේ අපේ කතා නායිකාව වන ජමිතා ටීචර් ය.
“ඉස්ලාම් ආගමික චාරිත්‍ර වාරිත්‍ර බොහෝ දුරට සිදුවන්නේ පිරිමි පාර්ශ්වය අතින්. නමුත් අල් කුරාණයේ එවැනි කිසිම ස්ත්‍රී පුරුෂ බෙදීමක් ගැන සඳහන්කොට නැහැ. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම එක සමාන අයිතීන් ඇති බව එහි සඳහන් වෙනවා” ඈ කියන්නීය.
ඉන්දියාවේ කේරළ ප්රාන්ත්රයේ මලප්පුරම් ප්‍රදේශයේ වාසය කරන ජමිතා ටීචර් එහි කුරාන් සුන්නත් සංගමයේ ලේකම්වරියක් ලෙස ද සේවය කරන්නීය. ඉන්දියාවේ එන්.ඩී.ටීවී නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජමිතා ටීචර් මෙසේ කියා සිටියාය.
“මට දැනටමත් ගොඩක් දෙනෙක්ගෙන් දෝෂාරෝපණ එල්ලවෙනවා. මොකද සමහර අය කැමැති නැහැ සාම්ප්‍රදායිකව පිරිමි කරන රාජකාරි ගැහැනු අය භාරගන්නවට. ඒත් අල් කුරාණයෙන් එහෙම කිසිම තහංචියක් පනවලා නැහැ”
ඇය ලේකම් ධූරය දරන කුරාන් සුන්නත් සංගමය ද ජමිතා ටීචර්ට සහයෝගය පළකරමින් අදහස් දක්වා තිබේ. “ඉස්ලාමය යනු පිරිමින්ට පමණක් අයිති වූ දහමක් නොවේ. ඒ තුළ කාන්තාවන්ට ද සම තැනක් තිබෙනවා. ජමිතා ටීචර් ඉමාම්වරියක වීම පිළිබඳව මාස පහක් හයක් තිස්සේ තම සංගමය තුළ සාකච්ඡා වුණා. එහිදී විවිධ අදහස් මතුවුණා. නමුත් අපි අන්තිමට සලකා බැලුවේ කුරානයේ ඇතුළත් කරුණු විතරයි. එක එක ගුරැවරයන්ගේ අදහස් අපි සලකා බැලුවේ. ඉතින් ඉමාම් කෙනෙක් වීමට කාන්තාවන්ට නොහැකි යැයි කුරාණයේ කොතැනවත් ලියැවී නැහැ” එම සංගමයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන රෂීඩ් නමැත්තා පවසයි.
ඉන්දියාවේ පළමු ඉමාම්වරිය වීම දක්වා ජමිතා ටීචර් පැමිණි ගමන් මඟ ලෙහෙසි පහසු වූයේ නැත. ඇය ඉස්ලාම් ධර්මය නිදහසේ ඇදැහීම සඳහා ඉන්දියානු කාන්තාවන්ට ඇති නිදහස වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිට ඒ වෙනුවෙන් අරගල කළ තැනැත්තියකි. වරක් ඇයව තම උපන් ගමෙන් ද පන්නා දමනු ලැබුවේ පුරුෂ මූලික සමාජයට ඇය හිසරදයක් වූ නිසා ය. එහෙත් ආගම් භේදයකින් ජාති භේදයකින් තොරව කාන්තාවන්ට නිසි තැන අත්කර ගැනීම වෙනුවෙන් ඇගේ පෙරළිය සාර්ථක වී තිබේ.
(www.ndtv.com ඇසුරෙණි.)
Text — Rajitha