උදාර කාලයක් නිහඬව ඉඳලා ආයෙත් නෙලා චිත්‍රපටයෙන් සිනමාවට එකතු වෙනවා. කොච්චර කාලයකට පස්සෙ ද මේ නිහඬතාවය බින්ඳෙ..?
මම අවුරුදු තුන හතරක් විතර අලුත් නිර්මාණයකින් දකින්න ලැබුණේ නෑ. පොඩි කාලේ ඉඳලා පොඩි පොඩි චරිත මම රඟපාපු අවස්ථා තියෙනවා. සමහර ඒවා මටම මතක නෑ. හැබැයි ප්‍රධාන චරිතයත් කියලා මම රඟපෑවේ ඉර හඳ යට කියන චිත්‍රපටයෙයි. ඒ 2009 අවුරුද්දේ. ඊටපස්සෙ මම දළදා ගමන කියන චිත්‍රපටයට සම්බන්ධ වුණා. කාලයකට පස්සෙ නෙලා චිත්‍රපටයට සම්බන්ධ වුණා.
උදාර වැඩිපුරම සම්බන්ධ වුණේ තාත්තා කරන නිර්මාණවලටද...?
නෑ.. එහෙම නෑ. මම දැනට චිත්‍රපට හතරක රඟපාලා තියෙනවා. ටෙලිනාට්‍ය හතරක විතර රඟපාලා තියෙනවා. ඒ නිර්මාණ අටෙන්ම දෙකකට විතරයි මම තාත්තගේ නිර්මාණ කියලා බාරගෙන කළේ.
කලා කටයුතුවලට දායක නොවුණේ දේශපාලනයට සම්බන්ධ වුණ නිසාද...?
ඔව්... පහුගිය පළාත් සභා මැතිවරණයට මම තරග කළා. ඉතින්... දේශපාලන කටයුතු නිසා ටිකක් කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න අමාරු වුණා. මම වෘත්තියෙන් රංගන ශිල්පියෙක් හැටියට නෙමෙයි කටයුතු කරන්නෙ. හැබැයි මගේ වැඩි කැමැත්ත, ආදරය තියෙන්නෙ රංගනයටයි.
බෙනට් රත්නායකයන්ගේ නෙලා චිත්‍රපටය රූගත කිරීම් සිදුවුණේ කොයි කාලෙදිද..?
මීට අවුරුදු එකහමාරකට විතර කලින් තමයි නෙලා රූගත කිරීම් කළේ. ඒක රූගත කිරීම් කළේ රිවස්ටන් ආශ්‍රිතව සහ බදුල්ල තේ වතු ආශ්‍රිතවයි. ඒක අධ්‍යක්ෂණය, තිරරචනය කළේ මගේ තාත්තා බෙනට් රත්නායකයි. නෙලා ස්පාඤ්ඤ නවකතාවක් ආශ්‍රිතව ලියවුණු චිත්‍රපටයක්. නෙලා රූගත කිරීම් කරන්න දවස් හතළිස් පහක්, පනහක් අතර කාලයක් ගෙවුණා. ඒකට ලොකුම හේතුව වුණේ සමහර දර්ශනපට ගනිද්දී අපිට ගොඩක් වෙලා බලාගෙන ඉන්න සිද්ධවුණා. කාලගුණය හරියටම ගැලපෙන වෙලාව එනතුරු අපිට බලාගෙන ඉන්න සිද්ධවුණා. සමහර දවස්වලට ඒ නිසාම අපිට එක දවසකට ගන්න පුළුවන් වුණේ එක දර්ශනයක් විතරයි. පෙබරවාරි මාසයේ දී චිත්‍රපටය බැලුවාම ඒ සුන්දරත්වය, ඒ ගත්තු මහන්සිය අපේ රටේ ආදරණීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට දැකබලාගන්න පුළුවන් වේවි.
නෙලා චිත්‍රපටය කරද්දී අමතක නොවුණු සිදුවීම් එහෙම වුණේ නැද්ද...?
මට නෙලා අලුත්ම අත්දැකීමක් තමයි. මම රඟපෑවේ අන්ධ තරුණයකුගේ චරිතයක්. මුල ඉඳන්ම මගේ හිතේ පොඩි චකිතයක් තිබුණා අන්ධ තරුණයෙක් ඇස් දෙක තියාගෙන ඉන්නෙ කොහොමද..? හැසිරෙන්නෙ කොහොමද කියලා. ඉතින් මුළු චිත්‍රපටයම මට අමතක නොවන සිදුවීමක් තමයි. ඒ හැම දර්ශනයකටම මම හරි ආසයි.
අද වෙද්දී උදාර පුංචි පුතෙක්ගේ තාත්තා කෙනෙක්... කොහොමද ජීවිතේ...?
ජීවිතේ හරිම සතුටින් ගෙවෙනවා. අපිට දැන් අවුරුදු එකහමාරක පුංචි පුතෙක් ඉන්නවා. එයාගේ නම ඩිෂෙන්. මම විවාහ වුණේ ඩිනාලි එක්කයි. ඉතින් මගේ බිරිඳගෙන් මගේ වැඩ කටයුතුවලට ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ දේශපාලන කටයුතුවලට කලා කටයුතුවලට එයාගෙන් කිසිම බාධාවක් නෑ. ඒ වගේම තමයි මගේ මවුපියන්ගෙනුත් මගේ වැඩ කටයුතුවලට ලොකු සහයෝගයක් ලැබෙනවා. මොන තරම් කාර්යබහුල වුණත් මම මුල්තැන දෙන්නෙ මගේ පෞද්ගලික ජීවිතේට තමයි.
නෙලා චිත්‍රපටයේ ජෝර්ජ්ගේ චරිතයෙන් ළඟදීම ඔබව ඔබේ ආදරණීය රසික රසිකාවියන්ට දකින්න ලැබෙනවනෙ... ඊට අමතරව තව ඉදිරියේ දී දකින්න ලැබෙන නිර්මාණ මොනවද..?
ඔව්.. මම තව පෝරිසාදයා කියලා නිර්මාණයකටත් දායක වුණා. ඒකත් ළඟදීම තිරගත වෙන්න නියමිතව තියෙනවා. මම රංගනයට දායක නොවී කාලයක් නිහඬව හිටියා. ඉතින් නෙලා චිත්‍රපටයට දායක වුණාට පස්සෙ ගෙවුණු අර නිහඬ කාලය පිළිබඳව මගේ හිතේ පුංචි පසුතැවීමක් තියෙනවා. ඒ කාලේදී මම ප්‍රමුඛතාවය දුන්නෙ දේශපාලන කටයුතු සහ ව්‍යාපාර කටයුතුවලටයි. ඉදිරියේ දී කලාවට වැඩි කාලයක් යොදවලා හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.
► Text -Jayamali / Pic – Internet