2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

පතී ජීවිතය දැක්කේ අමුතුම අැහැකින්

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78


මාලනී ෆොන්සේකා
ඒ වෙනකොට මම අහස් ගව්වේ පොඩි චරිතයක් කරලා තිබුණා. ඊට පස්සෙ පාර දිගේ එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටයෙත් වැඩකරලා තිබුණා. ඊට පස්සේ මම බඹරු ඇවිත් චිත්‍රපටයේ වැඩකළා. ඇත්තම කියනවානම් ඒ කාලේ හැටියට ඒ වෙනකොට තරුණ පරපුරේත්, නව පරපුරේත් ඉස්සරහින් හිටපු අධ්‍යක්ෂකවරයෙක් හැටියට මම පතීව හඳුන්වනවා. හොඳ හොඳ දක්ෂ තරැණ අධ්‍යක්ෂකවරයෙක් විදිහට එකල ශ්‍රී ලාංකික සිනමාව පතීව හඳුනගෙනයි තිබුණේ. නැවුම් අදහස්, අලුත් අදහස් පතීට තිබුණා. සමාජයට හැම වෙලේම අලුත් පණිවිඩයක් දෙන ජීවිතය දිහා වෙනස් කෝණවලින් බලපු අධ්‍යක්ෂකවරයෙක් ලෙසට මම පතීව හඳුන්වනවා.

බඹරු ඇවිත් චිත්‍රපටයේ හෙලන්ගෙ චරිතයට අදටත් මම ආදරේ කරනවා. මුහුදුකරේ ධීවර ජනතාවගේ පීඩාවට පත්වුණ සමාජයේ ජීවත්වුණු තරුණියකගේ චරිතයක් තමයි මම නිරූපණය කළේ. අවසාන කාලයේදී පතී නිර්මාණවලට ඒ තරම් දායක වුණේ නෑ. අලුත් පරපුරේ බොහෝ අධ්‍යක්ෂකවරු පතීව අනුගමනය කළා. ඒ අතරින් හොඳ 
නිර්මාණවේදින් බිහිවුණා. 


පතී අයියාට දකම් අඳුර ගන්න තිබුෙණ පුදුම ඉවක්
ක්ලීටස් මෙන්ඩිස්

ධර්මසේන පතිරාජ මහතා නැතිවූ ආරංචිය ලැබුණම මගේ හිතේ විශාල වේදනාවක් ඇතිවුණා. එක දවසින්ම මරණයේ වැඩකටයුතු සියල්ලම සිදුකෙරැණු නිසා අපිට එතුමාව අවසාන මොහොතේදී දැකගන්න ලැබුණේ නෑ. එතුමා කවදත් කිසිම කෙනෙකුට කරදරයක් කරන්න අකමැති, කරදර නොකරපු කෙනෙක්. ඉතින් ඒ හින්දම එක දවසින් සියලුම වැඩකටයුතු කරල ඉවර කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙන්නත් ඇති. එතුමා වෙනුවෙන් කළ උපහාර උළෙලේදී එතුමා බොහෝම විනෝදයෙන් එදා අපිත් එක්ක කතාබහ කළා. ඊට ටික කාලයකට පස්සේ තමයි අසනීප වුණේ.

මගේ කලා ජීවිතේ එක් සංධිස්ථානයක් වුණේ එතුමා තමයි. නළුවෙක් විදිහට ඇක්ෂන් ෆිල්ම්වල තමයි මම මුලින්ම රඟපෑවේ. ඔය අතර කඩුල්ල ටෙලිනාට්‍යයේ මනුවෙල් කියන චරිතයට ධර්මසේන පතිරාජයන් මාව හොයලා තියෙනවා. ඔය අතරේ කීප දෙනෙක්ම එතුමාට කියලා එයාව ගන්න එපා.... එයාට ඔය චරිතය ගැලපෙන්නේ නෑ... කියලා. හැබැයි ඒ හැම දෙයක්ම එතුමා ප්‍රතික්ෂේප කරලා. නෑ මට කොහෙන් හරි මෙයාව හොයලා ඕනේ. කියලා තියෙනවා. ඊට පස්සේ තමයි මාව කඩුල්ලට එකතු කරගත්තේ. එතන තමයි මගේ කලා ජීවිතේ වෙනස්වුණ සන්ධිස්ථානය වුණේ. කඩුල්ල නිර්මාණය නිසා බොහෝ දෙනෙක් මාව හඳුනාගත්තා. මට කතා කළා. කොච්චර චිත්‍රපට ඊට කලින් රඟපාලා තිබුණත් මාව වෙනස් කළේ කඩුල්ලයි. ඊට පස්සේ මට තව චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබුණා.

ඒ විතරක් නෙමේ,  ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාට පස්සේ මගේ සිනමා ජීවිතේ මම දැකපු හොඳම අධ්‍යක්ෂතුමා තමයි ධර්මසේන පතිරාජයන් කියන්නේ. ඔහු හැම අතින්ම අංග සම්පූර්ණයි. ගුරුවරයෙක්, අධ්‍යක්ෂවරයෙක්, පිටපත් රචකයෙක් ලෙස ගත්තාමත් ඔහු අංග සම්පූර්ණයි. 

විජය කුමාරණතුංගයන් කරපු බොහෝ හොඳ නිර්මාණ එතුමා අධ්‍යක්ෂණය කළ නිර්මාණවලයි. ඕනෑම නළුවෙක්ට නිළියෙක්ට පොඩි හැකියාවක් තිබ්බා නම් ඒ හැකියාව තේරුම් ගන්න පුළුවන් අපූරැ ඉවක් ඔහු තුළ තිබුණා. ඇත්තටම පතී අයියාගේ වියෝව අපිට හරි වේදනාවක්. සිනමාවට ලොකු අඩුවක්.

අපි අැවිෙලන්න පටන් ගත්තේ 
පතී අයියාෙග් නිර්මාණ දැකලා 
මහේන්ද්‍ර පෙරේරා

ධර්මසේන පතිරාජයන් මට මුණගැහුණේ වන්නිහාමිගේ කතාව කියලා ටෙලිනාට්‍යයෙනුයි. ඔහුව මට හඳුන්වලා දුන්නේ පියසිරි කුලරත්න කියන මගේ මිත්‍රයයි. ඒ ටෙලිනාට්‍යයේ රඟපෑවට පස්සේ පතිරාජයන් මාව ඉතා ඉහළින් අගය කළා. ඊට පස්සේ පතී අයියා එක්ක ටෙලි ෆිල්ම්ස් කීපයක්ම මම රඟපෑවා.
ඊට පස්සේ මම පතී අයියාගේ කඩුල්ල ටෙලිනාට්‍යයේ රඟපෑවා. එතුමා කරපු වාසුලි කියන චිත්‍රපටයේත් මම හොඳ චරිතයක් රඟපෑවා. හැබැයි අවාසනාවට ඒ නිර්මාණය පෙන්නුවේ නෑ. මම දැකපු හරිම සුන්දරම, විෂය පිළිබඳව පුදුමාකාර විදිහට කරුණු හොයාගෙන ගියපු අධ්‍යක්ෂවරයෙක්. එතුමා සිනමාව, චිත්‍රපට කර්මාන්තය ගැන බොහෝ දේවල් කතා කළා. ඒ කතාබහෙන් පතී අයියා විශාල දැනුමක් සහ දැක්මක් තියෙන අධ්‍යක්ෂවරයෙක් කියලා මම දැනන් හිටියා. ඔහු සුන්දර ගතිගුණ තිබුණ හරිම සුන්දර මනුස්සයෙක්.

මට මතකයි අපි ප්‍රංශයට ගියපු වෙලාවක පතී අයියයි මමයි ගොඩක් තැන්වල අවිද්දා. චිත්‍රපට සංරක්ෂණය කරන අලුත් විදිහක් ලංකාවට සොයාගන්න අපි විවිධ ආයතනවලට ගියා. ඒ ඇවිදින ගමන් හැමවෙලේම පතී අයියා පාරේදී කතා කළේ මේ චිත්‍රපට කොහොමද සංරක්ෂණය කර ගන්නේ කියලයි. ඔහු ඒ පිළිබඳව කටයුතු කරන්න බොහෝ මහන්සි වුණා. සිනමාව සම්පූර්ණයෙන්ම වෙනස් තලයකට ගෙනල්ලා තරුණ පිරිසකට මේ කලාව අලුතින්ම හිතන්න පුළුවන් යුගයක් බිහිකරපු යුග පුරැෂයෙක් විදිහට මම පතී අයියව දකිනවා.

අපි පතී අයියගේ නිර්මාණ බලලා කොයිතරම් නම් උද්දීපනය වුණාද... අපි අපිවම හොයාගෙන ගිහින් ඒ ඔස්සේ අපිට අපේ නව ආරක් හදාගන්න කොයිතරම් ඔහුගේ නිර්මාණ ඉවහල් වුණාද කියන එක හිතාගන්න බැරි තරම්.
අපේ ආරම්භය ගත්තොත් අපිව ඇවිලෙන්න පටන් ගත්තේ පතී අයියාගේ නිර්මාණ දැකලයි. ඔහු හොඳ ගීත රචකයෙක්. ඔහු මේ රටට දීපු උද්දීපනය සදාකාලිකව මේ රටේත්, අපේ හිත් සතන් තුළත් නොමැරී තියේවි.

මාව නළුෙවක් කළේ  
ඒ සුන්දර මනුස්සයා
අමරසිරි කලංසූරිය

පතී ගියේ අපේ ඉස්කෝලෙටමයි. ඒ මහනුවර ධර්මරාජ විද්‍යාලයට. ඊට පස්සේ පතී විශ්වවිද්‍යාලයට ගියා. ඊළඟ අවුරුද්දෙදි මම ඉස්කෝලෙන් අස්වුණා. ඒ වෙද්දි පතී දැනගෙන හිටියා මට මගේ මව්පියෝ නෑ කියලා. ඉතින් අපි නිතර නිතර මුණගැහුණා. මම පතීව මුණගැහෙන්න විශ්වවිද්‍යාලයට ගියා. පතී මාව චිත්‍රපට බලන්න එක්කරගෙන යනවා. චිත්‍රපටයක් තියෙද්දි වුණත් පතී ඇවිත් ඒක බලන්න කියලා අපිත් එක්ක කියනවා. ඒ වෙද්දි මම පොඩි රස්සාවක් කර කර හිටියෙ.

ඔය කාලේදී චිත්‍රපටයක් කරනවා කලං... ඒකට අයදුම්පතක් ඔයත් දාන්න කියල පතී මට කිව්වා. ඒකට මමත් අයදුම්පතක් දැම්මා... අන්තිමේදී ඒකට මාව තෝරාගත්තා. ඒ තමයි හන්තානේ කතාව. ඊට පස්සේ පතී චිත්‍රපටයක් කරනවා කියලා පතී මට ඇවිත් දවසක් කිව්වා. එතකොට මම සාප්පුවක් දාලයි තිබුණේ. ඊට පස්සේ මම මගේ යාළුවෙක්ව එයාට මුණගැස්සුවා. ඒ යාළුවා චිත්‍රපටය නිෂ්පාදනය කළා. ඒ තමයි අහස් ගව්ව චිත්‍රපටය. ඒක ඉතා ජනප්‍රිය වුණා. ඒ චිත්‍රපටය ලේඛක විචාරක සම්මාන හතක් ලැබුණා. අහස් ගව්ව චිත්‍රපටය සිනමාව සම්පූර්ණයෙන්ම වෙනස් කළා. සිනමාවට ලොකු කැපවීමක් පතී කළා. පාර දිගේ, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත් වගේ හරි ගුණවත් නිර්මාණ පතී කළා. ඔහු ඇත්තටම හරිම සුන්දර මනුස්සයෙක්. ඔහු ජීවිතෙන් සමුගැනීම ඇත්තටම හිතට වේදනාවක්.

► Text - Dishani  /   Pic- Pic – Internet