2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

රිදී තිරයේ පාට වෙනස් කළ පතී

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 189


කෘතහස්ත සිනමාවේදියෙකු, තිරකතා රචකයෙකු හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු ලෙස දශක හතරක කාලයක් පුරා තම විශිෂ්ටත්වය මනාව ප්‍රකට කළ ආචාර්ය ධර්මසේන පතිරාජයන් පසුගියදා දැයෙන් සමුගත්තේය.
සමාජ අසාධාරණය හා අයුක්තියට එරෙහිව තම නිර්මාණයන් තුළින් හඬක් නැංවූ පතිරාජයන්, ජනවාර්ගික සුහදතාව වර්ධනය කිරීම හා සමාජ ශෝධනය වෙනුවෙන්ද පෙනී සිටි අව්‍යාජ, අභීත නිර්මාණවේදියෙකු ලෙස නම් දරා සිටියේය. 1943 මාර්තු 28 වැනි දින මහනුවරදී උපත ලද පතී, දෙස් විදෙස් සම්මානවලටද පාත්‍ර වූවෙකි.

මහනුවර ධර්මරාජ විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු, පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධියක්ද මොනෑෂ් සරසවියෙන් ආචාර්ය උපාධියක්ද ලබාගෙන තිබුණි.
කවියෙක්, නාට්‍ය රචකයෙක් හා ගී පද රචකයෙකු ලෙසත් තම දස්කම් පිළිබිඹු කළ ඒ සොඳුරු මිනිසා, මුලින්ම සිනමා ලොවට පිවිසුණේ හන්තානේ කතාව චිත්‍රපටයේ සම තිරකතා රචකයෙකු ලෙසය.
1970 වසරේදී ඔහු නිර්මාණය කළ සතුරෝ කෙටි චිත්‍රපටය ඔහුගේ මුල්ම සිනමා පටය ලෙස සැලකේ. තරුණ පරපුරේ විරුකියාව තුළින් උද්ගත වූ අසහනය පිළිබඳ කතා තේමාවක් රැගත් සතුරෝ, 1970 විචාරක සම්මාන උළෙලේදී විශේෂ ගෞරව සම්මානයකටද පාත්‍ර විය. එම කාලය තුළම පතී නාට්‍ය රචනාවට යොමු විය. කොරා සහ අන්ධයා, පුතු හා වංකගිරිය ඔහු රචනා කළ වේදිකා නාට්‍ය අතරින් කිහිපයකි.

1974 දී පතී ඔහුගේ මුල්ම වෘතාන්ත සිනමා නිර්මාණය ලෙස අහස් ගව්ව චිත්‍රපටය ප්‍රේක්ෂක හමුවට ගෙන එන්නේ මෙරට සිනමා ක්ෂේත්‍රයට නැවුම් බලාපොරොත්තු එකතු කරමිනි. තරුණ ප්‍රශ්න හා විරැකියාව ගැන පදනම් වූ අහස් ගව්ව චිත්‍රපටයේ විජය කුමාරණතුංග හා අමරසිරි කලංසූරිය සුවිශේෂී චරිත නිරූපණය තුළින් ප්‍රේක්ෂක මෙන්ම විචාරක ප්‍රසාදයට පාත්‍ර වූහ.

පතීගේ සිනමා ශෛලියේ තවත් වෙනසක් ඇති කරමින් 1977 දී ඔහු තැනූ එයා දැන් ලොකු ළමයෙක් සිනමා පටයට පාදක වූයේ කරුණාරත්න සපුතන්ත්‍රීගේ නවකතාවකි. 9 වැනි මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදි නිළි රැජන මාලනී ෆොන්සේලාගේ රංගනය වෙනුවෙන් ඇයට විශේෂ ඩිප්ලෝමා සහතිකයක් හිමිවීම ඓතිහාසික සිදුවීමකි. එතෙක් කිසිදු ශ්‍රී ලාංකික නළුවෙකු හෝ නිළියක රංගනය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානයක් ලබා නොතිබුණි.
පතිරාජ අතින් නිමවූ එකම දමිළ භාෂාමය චිත්‍රපටය පොන්මනීය. 1977 දී ප්‍රදර්ශනය වූ එම චිත්‍රපටයට උතුරේ සාමාජික ගැටලු සාකච්ඡාවට බඳුන් විය. පතී කලක් යාපනය විශ්වවිද්‍යාලයේ සේවය කළ අතර, එම කාලය තුළ ඔහු ලද අත්දැකීම් පොන්මනී නිර්මාණය කරන්නට ඉවහල් වන්නට ඇත.

හොඳම අධ්‍යක්ෂවරයා ලෙස පතී සම්මානයට පාත්‍ර වූ බඹරු ඇවිත් චිත්‍රපටය 1978 දී තිරගත විය. විජය කුමාරණතුංග, මාලනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, විමල් කුමාර ද කොස්තා, සිරිල් වික්‍රමගේ ඇතුළු ශිල්පීන්ගේ ගැඹුරු චරිත නිරූපණයන් බඹරු ඇවිත් චිත්‍රපටය අපේ මතකයේ සදා රඳවා තබන්නට සමත් වූ තවත් කාරණයකි.

විජය කුමාරණතුංගයන් ප්‍රධාන චරිතය රඟපෑ පතීගේ පාර දිගේ චිත්‍රපටයද ඔහුගේ ගමන් මඟේ තවත් එක් සන්ධිස්ථානයක් බව බහුතර විචාරක මතය වී තිබුණි. 1981 දී පතී සිනමාවට නැඟූ සොල්දාදු උන්නැහේ තවත් ගැඹුරු, සංකීර්ණ දේශපාලන විශ්ලේෂණයකි. එච්.ඒ. සෙනෙවිරත්නගේ පරණ සොල්දාදුවා නම් වූ කෙටිකතාව ඇසුරින් නිර්මාණය වූ සොල්දාදු උන්නැහේ පතීට හොඳම තිරකතා රචකයාට හිමි සම්මානය වාගේම හොඳම අධ්‍යක්ෂකට හිමි සම්මානයද ලැබුණි.
2001 දී පතී නිර්මාණය කළ මතු යම් දවස, 2016 දී තැනූ සක්කාරං හා 2017 දී තිරගත කළ ස්වරූප ඔහුගේ නිර්මාණශීලී බවේ අපූර්වත්වය ප්‍රකට කළේය. එපමණක්ද නොව ඔහු ගී පද රචකයකු ලෙස දායක වූ හඳුනාගත්තොත් ඔබ මා වැනි ගීත අදටත් අපේ මතකයේ රැඳී පවතී.

ටෙලිනාට්‍ය නිර්මාණවේදියෙකු ලෙස පතී මායා මන්දිර, ඇල්ල ළඟ වලව්ව, කඩුල්ල, නාඳුනන පුත්තු, සුභ අනාගතයක්, දුර්ගාන්තය වැනි නිර්මාණ හරහා ඔහුගේ විශිෂ්ටත්වය ප්‍රකට කළේය.


ඒ පතී අද නැත. සංසාර චාරිකාවේදී පතී, පතී ලෙසින් යළිඳු හමුවන්නට ඉඩහසරක් නැත. එහෙත් සිනමාවේ ප්‍රතිභාපූර්ණත්වය ඔහු සසර ප්‍රතිභාවක් ලෙස රැගෙන ගියහොත් ඔහු සිනමාවේදියකු ලෙස හමුනොවන ඉඩක් නැතිවෙන්නට බැරිය. පතී.. හමුවුණොත් ඒ මතක සුවඳ එදාටත් අද වගේම දැනෙනු ඇත.

එතෙක් සුබ ගමන් ! 

► Text – Ramesh Uvais /  Pic – Internet

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00