2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

75 උපන්දිනේ ඒ විදිහට සමරලා මගේ අැස් පියවුණත් කමක්නැහැ.........

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 94

දශක ගණනාවක් පුරා මෙරට සිනමා ලෝලීන්ගේ අතිශය ආදරයට පාත්‍ර වූ ප්‍රවීණ රංගන ශිල්පිනි හා නිෂ්පාදක සෝනියා දිසා සිංහල සිනමාවට බිහි වූ ජනප්‍රිය තාරුකාවකි.  60 දශකයේ සිනමාවට අවතීර්ණ වූ සෝනියා, විශේෂයෙන්ම 70 දශකයේ ස්වර්ණමය යුගය බැබළවූ ප්‍රබල චරිතයකි.

සෝනියා බලාපොරොත්තු අත්හැරියේ නැත. ටයිටස් තොටවත්තයන්ගේ චණ්ඩියා චිත්‍රපටයේ සමාජ ශාලා කෙල්ලෙක් ලෙස ඇය රිදී තිරයට අවතීර්ණ වූයේ කාගේත් අවධානය ඇය කෙරෙහි ආකර්ෂණය කරමිනි. ඒ අනුව ඔබ දුටුදා චිත්‍රපටයේ සුළු චරිතයකට පණ පෙවූ සෝනියාට වැඩි කල් යන්නට මත්තෙන් චරිත ගලා එන්නට විය.

මේ වනවිට චිත්‍රපට 150කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වූ සෝනියා, චිත්‍රපට 10කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇත. ඒ අතර බොක්ස් ඔෆිස් වාර්තා පිහිට වූ චිත්‍රපට බොහොමයක් විය.
තුෂාරා චිත්‍රපටයේ ඇය සෝනියා වූවා සේම සහායට ඩැනී හි රේණුකා, හරි මග හි සමන්ති, නෑදෑයෝ හි කුමුදිනි, හිඟන කොල්ලා හි මේරියන්, ජනක සහ මංජු හි චම්පිකා හා සසර චිත්‍රපටයේ කාන්ති ලෙස සෝනියා ප්‍රකට කළ සුවිශේෂී දක්ෂතා අපේ මතකයෙන් ඈත් නොවේ. 

සෝනියා සුදු මැණිකේ ලෙස රඟපෑවේ ඇගේ ආදර කතාව චිත්‍රපටයේය. ඒත් සැබෑ ජීවිතයේ සෝනියාගේ ජීවිත කතාව තවත් සංවේදී සිනමා පටයක් නිර්මාණය කරන්නට තරම් රසවත්, කටුක හා දුක්මුසු අංගයන් බොහෝමයක් අඩංගුය. 
ඇය හා දොඩමලු වන්නට අපි සෝනියා දැනට පදිංචි පැපිලියාන නිවසට ගියෙමු.

මම හම්බ කරපු හැමදේම අන්තිමේදී මට නැති වුණා

ඉතින් කොහොමද ජීවිතේ?
අද මම සතුටින් ජීවත් වෙනවා. ඒකට හේතුවත් මම කියන්නම්. සිනමා නිළියක් ලෙස දශක ගණනාවක් ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ හිටිය මම සිනමාවේ යම්කිසි පසුබෑමක් පෙන්නුම් කළ කාල වකවානුවක චිත්‍රපට නිෂ්පාදනට යොමු වුණා. මගේ මුල්ම චිත්‍රපටය ජය අපටයි කළේ මගේ නිවෙස උකසට තියලා, තවත් බැංකු ණය අරගෙන. ඒත් සුනිල් සෝම පීරිස්ගේ අධ්‍යක්ෂණය වගේම චිත්‍රපටයට සම්බන්ධ හැමෝගෙම සහයෝගය හා කැපවීම නිසා එය අති සාර්ථක චිත්‍රපටයක් වුණා. මම ඉන්පසු මමයි රජා කළා. ඒකත් ආදායම් වාර්තා අතින් ඉහළම තැනකට පත් වුණා. තවත් සාර්ථක චිත්‍රපට රුසක්ම කළා. එදා මට කිසිම දේකින් අඩුවක් තිබුණේ නෑ. ඒත් ජීවිතේ හරිම පුදුමාකාරයි. මම හම්බ කරපු හැමදේම කාලයාගේ ඇවෑමෙන්, විවිධ වූ හේතූන් නිසා මට අහිමි වුණා. ඒ ගැන මම කතා කරන්න කැමති නෑ. කරැ නැති වුණාට පස්සේ මම මගේ දරුවෝ දෙන්නත් එක්ක හිටියේ ඕස්ට්‍රේලියාවේ. ඒත් මගේ රට තරම් වෙනත් රටක් තිබුණේ නැහැ. මම ලංකාවට වරින් වර ආවා මගේ නිවෙසක නීතිමය අර්බුදයක් ගැන බලන්න. ඒ ආපු වෙලාවෙදි මට ඉන්න හිටින්න තැනක් තිබුණේ නෑ. යාළුවෝ ළඟ හිටියා. ඒත් මට සතුටින් සැහැල්ලුවෙන් ඉන්න එක ටිකක් අමාරු වුණා. දැන් මම ඉන්නේ පැපිලියානේ මට දරුවෙක් වගේ ඉන්න ශ්‍යාමලී විජේසේනගේ ගෙදර. ජීවිතේ කිසිම කාලෙක මම මේ වගේ සතුටින්, සැහැල්ලුවෙන් ඉඳලා නැහැ මොනතරම් සැප සම්පත් තිබිලත්. සැබෑ සතුට කියන්නේ මොනවද කියලා මට අද අවබෝධ වෙලා තියෙනවා. සැබෑ සතුට මම අද අත්විඳිනවා. ශ්‍යාමලී දුව මට හඳුන්වාදීම ගැන මම විනීතා කරුණාරත්නට හා නිල්හාන් සෙනෙවිරත්නට අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා.
ඔබ කලා ක්ෂේත්‍රයේ කාගෙත් හොඳ හිත දිනා ගත් ශිල්පිනියක ලෙස කවුරුත් හඳුනනවා.

මම එදා ඉඳලා අද දක්වා මා එක්ක සම්බන්ධ වෙලා වැඩ කරපු ශිල්පීන් ශිල්පිනියන් එක්ක සුහදව, ළෙන්ගතුව ඇසුරැ කරනවා. මාලනී ෆොන්සේකාගේ සිට සියලුම රංගන ශිල්පිනියන් සමඟත් මගේ තියෙන්නේ සුහද ඇසුරක්. ඒත් මගේ පෞද්ගලික ජීවිතයේ සිදුවුණ පාඩු හෝ අහිමිවීම්, මේ ආශ්‍රයට බාධාවක් කරගත්තේ නැහැ.

ඔබට බොහොමයක් චිත්‍රපටවල කරන්න ලැබුණේ සැර පරුෂ විටෙක දුෂ්ට චරිත?
ඔව්, ඒත් ඒ චරිත මම ලොකු කැපවීමකින් කළා. මගේ ඒ චරිත නිසා බොහෝවිට  චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ චරිතය තවත් ඉස්මතු වුණා. මම ප්‍රධාන චරිතය නිරූපණය කළ චිත්‍රපටවලටත් හොඳ ප්‍රසාදයක් ලැබුණා. හොඳම වෙලාව චිත්‍රපටයට මම කළ විකට රංගනයත් ටිකක් වෙනස් එකක්.

ඔබ දැන් සිනමාවෙන් ඈත්වෙලාද ඉන්නේ?
නෑ. එහෙම ඈත්වීමක් නැහැ. මම අපේ සිනමාවට එදා වගේම අදත් එක වගේම ආදරෙයි. සිනමාව මගේ ජීවිතය කියලා කිව්වත් වැරදි නැහැ. අද වුණත් අවස්ථාවක් ලැබුණොත් මම මට සුදුසු චරිතයක් රඟපාන්න කැමතියි.

ඔබේ ඊළඟ බලාපොරොත්තුව?
මගේ එකම එක බලාපොරොත්තුවක් තියෙනවා. මේ අවුරුද්දේ ජූනි මාසේ මට අවුරුදු 75ක් පිරෙනවා. එදාට මගේ සිනමා ලොවේ හා මගේ හිත මිතුරු මිතුරියන් එක්ක ඒ දවස සමරන්න හැකි වෙයි කියන බලාපොරොත්තුව තමයි මගේ හිතේ තියෙන්නේ. ඊට පස්සේ මගේ ඇස් දෙක පියවුණත් කමක් නැහැ.

► Text -Ramesh Uvais /  Pic – Internet

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00