2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

බර ගාණක් හැරිලා ගිහින්

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 119

ඔය චිත්‍රපට කෙරුවාව  වගේ නෙවෙයි නාට්‍ය කෙරුවාව. ඒකට ඉතින් පුදුම මහන්සියක් වෙන්න ඕනේ. මොකද තාක්ෂණයට වඩා ඔතන මිනිස් ශ්‍රමයත් එක්කනේ ගනුදෙනු කරන්නේ.
ඔන්න ඉඳලා ඉඳලා අපේ ප්‍රවීණ කලාකරුවෙකුත් වේදිකා නාට්‍යයක් හදලා. කලා ලෝකේ වගේම ඔහුගේ ප්‍රභූ හිතවතුන් රැසක් එක්කම මේ ශිල්පියා මංගල දර්ශනය බලලා තියෙන්නේ මුල් පුටු පේළියේ ඉඳලා.
වැඩේ ඉවර වුණාට පස්සේ තමයි පියවි ලෝකෙට ඇවිත් තියෙන්නේ.

කොහොමද වැඩේ නැගලා ගියා නේද? කියලා සංවිධායකයන්ගෙන් ඇහුවලු.
බර ගාණක් හැරිලා ගියානේ

ෂා.. නියමයිනේ. එහෙනම් ටිකට් සේරම විකිණිලා ඇති නේද? අපේ කැපවීමේ ප්‍රතිඵලය තමයි ඔහු කියාගෙන ගියාලු.
කැපවීමේ ප්‍රතිඵලය නිසා නෙවෙයි. ඔය දහ ජරාව බලන් ඉන්න බැහැයි කියලා බර ගාණක් බාගෙට හැරිලා ගියේ...

 

අධ්‍යක්ෂක වංග‍ෙඩියේ දාලා කා‍ෙටන්නලු!

අද මේ තීරුවේ අපි සිනමා ලොවේදී අහපු කියපු කතා කීපයකින් රසවත් කරන්න අදහස් කළේ ඒ මතකයන් පොඩ්ඩක් අලුත් කිරීමේ අරමුණින්.
එක්තරා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් අපේ ඉතිහාස කතාවක් තේමා කරගෙන, අමු අමුවෙම ඒ කතාව සිනමාවට නැගුවා.

ලොකු සද්දයක් දාලා එහෙම මාධ්‍ය දර්ශනයක් පැවැත්වුවා. චිත්‍රපටය මුල් වරට බලපු මාධ්‍ය හිතවතුන්ගෙන් අධ්‍යක්ෂකවරයා ඉල්ලීමක් කළාලු ඇවිත් ඉන්න රූපවාහිනී නාලිකාවල කැමරාව ඉදිරියට ගිහින් සිනමාව ගැන යමක් කියන්න.
ඒත් හැමෝම වගේ කට්ටි පැනලා එළියට ආවා. 

ඇයි මචං උඹ වොයිස් කට් එකක් දුන්නේ නැත්තේ? සහෝදර මාධ්‍යවේදියකුගෙන් ඔහුගේ සගයෙක් ඇහුවලු. 
මට කියන්න අවශ්‍ය දේ එහෙම කියන්න බැරි නිසා නොකියා හිටියා.
මොකද්ද කියන්න හිටියේ?
චිත්‍රපටය හදපු එකාව අර වංගෙඩියේ දාලා කෙටුවනම් හොඳයි කියලයි කියන්න ගියේ. 

 

මම ලයින් එකේම ඉන්නම්

මේකත් තරුවක් ගැන අහපු කතාවක්. හැබැයි මෙයා එක්තරා කාලෙක දිදුලන ක්‍රිකට් තරැවක් හැටියටයි ප්‍රසිද්ධ වෙලා හිටියේ.

ඔන්න එක කාලයක් තිබුණා එක දිගටම එයා අසාර්ථක වෙලා හිටියා. ලකුණු 5කට වඩා ගත්තෙම නෑ කිසිම මැච් එකක. ඒත් මෙයාට ටීම් එකේ ඉන්න වාසනාව ලැබෙනවා ජ්‍යෙෂ්ඨත්වය නිසා.
ඔන්න එක විදේශ සංචාරයක් සඳහා ටීම් එක එංගලන්තයට ගිහිල්ලා. හැබැයි මේ තරුවගේ නෝනා ලංකාවේ හිටියේ.

ඔන්න දවසක් මෙයාගේ නෝනා කෝල් එකක් අරගෙන එයාගේ ජංගම දුරකථනයට. ෆෝන් එක අරගෙන තියෙන්නේ අපේ ටීම් එකේ තවත් ක්‍රීඩකයෙක්.
අනේ අක්කේ පස්සේ කෝල් කරනවද? අයියා දැනුයි බැට් කරන්න ගියේ...
හා ඒකට කමක් නෑ මල්ලි. මම ලයින් එකේ ඉන්නම්. එයා දැන් ආපහු එයිනේ.

 

 

කාලා බුරද්දි පළාතම ඉවරයි...

දවසක් නිළියෝ දෙන්නෙක් ඒ දෙන්නගේ බලු හුරතලුන් දෙන්නා ගැන බර කයිවාරුවකට සෙට් වෙලා. 
අපේ එකා නම් කන්න ආසම සුදුළුණු තමා...

අපෝ... සුදුළුණු හරි සැරයිනේ. හැපුවොත් එහෙම ලේසි වෙන එකක් නැහැ...
හැපුවටනම් කමක් නෑ කියමුකෝ. ඒක ඉවසතෑකි. ඒත් ඌ සුදු ළුණු කාලා බුරනකොට ඒ ගඳ තමයි ඉවසන්න බැරි.

 

හැට පැන්නත් බයිසිකලෙන්

පසුගියදා හැත්තෑ පස්වනවියට පා තැබූ ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පී සූරියකුමාර් මුත්තලගේ තවත් කඩඉමක් පසු කළා.

ඒ තමයි ඔහුගේ ගායන දිවියේ 60 වැනි සංවත්සරය. කලා ලොවේ කා සමඟත් සුහදශීලීව ඇසුරැ කරන මුත්තලගේ, විදෙස් රටවල් විශාල සංඛ්‍යාවක සිය සංගීත ප්‍රසංග පවත්වලා තියෙනවා.
එහෙත් ඔහුගේ එදා මෙන්ම අදත් ගමන දුප්පත් බයිසිකලේම තමයි. සමහර වෙලාවට ඔහු කෝට් එක එල්ලගෙන කොළඹ වීදිවල බයිසිකලේ පැදගෙන යනවා බොහෝ අය දැකලත් ඇති.

තම කුසලතාවය හෝ ජනප්‍රියත්වය කොයි හැටි වෙතත් සරල ජීවිතයක් ගත කිරීම කලාකරුවකුට මොනතරම් සතුටක් ගෙනදෙනවද කියලා තේරුම් යන්නේ සූරියකුමාර් මුත්තලගේ එක්ක සුළු මොහොතක් දොඩමළු වුණාමයි.

 

► Text - Mithra