2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

අපේ චිත්‍රපට සින්දුවලට ඒ අය හරි ආසාවෙන් නැටුවා...

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 127

පසුගිය කාලයේ රොෂාන් රණවන, උදාරි පෙරේරා සහ තවත් කලාකරුවෙක්... අමෙරිකාවේදී ඇගයීමකට පාත්‍ර වුණා...? ටිකක් කියමුකෝ ඒ ගැන...?
ඔව්... අපි ජනවාරි මාසේ 27 වැනිදා අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වුණු රන්වන් රැයක් - 6 ප්‍රසංගයදා ඇගයීමකට ලක්වුණා. ඒ ප්‍රසංගය මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ 2006 අවුරුද්දේ. ඉතින් 2016 අවුරැද්දේ ඒ ප්‍රසංගයට ආරාධනා ලබා තිබුණේ රවින්ද්‍ර රන්දෙණිය මහතා සහ ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියයි.

මේ පාර ඒ අවස්ථාව ලැබුණේ ඔය තුන්දෙනාට නේද...?
ඔව්... මේ සැරේ ඒ අවස්ථාව ලැබුණේ අපි තුන්දෙනාට. ලංකාවෙන් ඈත රටක ඒ ශ්‍රී ලාංකිකයින් අද ජීවත් වුණත් ඒ අය අපේ සිංහල සිනමාව අමතක කළේ නෑ. සිංහල සිනමාවට ආදරය කරන පිරිසක් එකතුවෙලා තමයි ඒ ප්‍රසංගය සංවිධානය කළේ. ඒ ප්‍රසංගය අධ්‍යක්ෂණය කළේ පාලිත කස්තුරිආරච්චි හා කීත් රංග. ඒ වගේම රන්වන් රැයක් ප්‍රසංගයට අම්බලන්ගොඩ කෝලිත හිමි, සිරිනිවාස පොඩි හිමි, ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරයේ පියනන්ද නායක හිමි මෙන්ම සරච්චන්ද්‍ර බෞද්ධ මධ්‍යස්ථානයෙන් ද අනුශාසනා හිමිවෙලා තිබුණා. මේ ප්‍රසංගයට මුල් කාලයේ දී සබීතා පෙරේරා, චන්න විජේවර්ධන වගේ කලාකරුවන්ට ද වරින් වර ආරාධනා ලැබිලා තිබුණා.

ඒ ප්‍රසංගයේදීත් ඔය තුන්දෙනා නිර්මාණවලට ඉදිරිපත් වුණාද...?
නෑ... අපි ප්‍රසංගයේදී නිර්මාණවලට ඉදිරිපත් වුණේ නැහැ. අපේ සිංහල චිත්‍රපට ගීතවලට ඒ රටේ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන් විවිධ නිර්මාණ ඉදිරිපත් කළා. ඒ අය ඒවාට සහභාගි වුණේ හරිම ආසාවෙන්. අපි තුන්දෙනා ආරාධිත අමුත්තන් විදිහට තමයි ඒ ප්‍රසංගයට සහභාගි වුණේ. ප්‍රසංගය අවසානයේ දී අපි තුන්දෙනාට ඒ අය සම්මාන පුද කළා.

මේ ප්‍රසංගයෙන් ලැබෙන මුදල යම් සුවිශේෂී කටයුත්තකට ඒ අය යොමු කරනවා...?
ඔව්... එය හරි විශේෂයි. මේ ප්‍රසංගයේ සියලුම ටිකට්පත්වල මුදල් ඒ  අය වැය කරන්නේ  අපේ රටේ “අලිවංගුව කියන දුෂ්කර ගම්මානයේ මිනිසුන් වෙනුවෙන්.  සිංහල අලුත් අවුරුද්දට කලින් අපි ගිහින් ඒ මිනිස්සුන්ට උදවු කරනවා. ඒ මිනිසුන්ට අවශ්‍ය සියලු දේවල් අපි මේ ප්‍රසංගයේ අරමුදලින් ලබලා දෙනවා. මීට කලින් පැවැත් වූ ප්‍රසංග අරමුදල්වලින් ද ඒ සංවිධායකවරු පිළිකා රෝහලට, විවිධ ව්‍යාපෘතිවලට ආධාර ලබාදී තිබුණා. 

කොහොමද අමෙරිකාවේදී රොෂාන්ට ලැබුණු ප්‍රතිචාර...?
කොච්චර දුරබැහැර හිටියත් ඒ අය අපේ චිත්‍රපට අමතක කරලා නෑ. අපේ චිත්‍රපට බලලා ඒ අය රසවිඳිනවා. අපිව අගේ කරනවා. කොච්චර දුරබැහැරක ඒ අය අද ජීවත් වුණත් ඒ අය ශ්‍රී ලාංකිකකම අමතක කරලා නෑ. අපි අමෙරිකාවට ගියාම ඒ හැමෝම අපිව ආදරයෙන් පිළිගත්තා. අපිත් එක්ක ෆොටෝ ගත්තා. කොච්චර ඈත දුර රටක හිටියත් ඒ ආදරේ වෙනසක් වෙලා නෑ. ඒක අපිට ලංකාවේ වගේම දැනුණා. ඒ වගේම තමයි ඒ අය ලංකාවේ තවමත් කෙනෙකුගේ හව්හරණක් අවශ්‍ය අයට පිහිටවෙන්න කැමතියි. ඒ අය ලංකාවේ මිනිසුන්ට උදවු කරන්න කැමතියි. ඉතින්... ඒ වගේම දේකට සම්බන්ධ වීම ලැබීමත් ඇත්තටම සතුටක්.

 

► Text - Jayamali /  Pic – Internet