2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ලේසියෙන් කාටවත් උන්වහන්සේට කිට්ටු වෙන්න බෑ

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 224

ප්‍රවීණ නිළි අනෝජා වීරසිංහ සිහිපත් කරන නා හිමි බැතිබර මතකය 

අනෝජා.. බෙල්ලන්විල විමලරතන ලොකු හාමුදුරුවන් ගැන ඔබ සතු මතකය කොයි වගේද?
මේ ශාලාව විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් මටත් ආරාධනාවක් ලැබුණා. ඒ ආරාධනාව අනුව මම ඒ උත්සවයට සහභාගි වුණා. එදා උන්වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් නිර්මාණය වුණු මේ ශාලාව දැක්කාම එදා මට හිතුණු දෙයක් තමයි මොන තරම් කලාවට ආදරේ ඇති ස්වාමීන් වහන්සේ නමක්ද? කියලා. 1989 – 1990 වසරවලදී මම එංගලන්තයේ ඉගෙන ගෙන ලංකාවට ආවා. ඒ ඇවිත් අවුරුද්දක් තිස්සෙම මම වැඩ කරන්න ශාලාවක් හෙව්වා. ඉගෙන ගෙන ආපු දේ උගන්වන්න මට ශාලාවක් ලැබුණේ නෑ. එක්කො ශාලා හරි මිලයි. එහෙම නැත්නම් තියෙන ශාලා අපිට දෙන්න සමහරු අකමැති වුණා.

නමුත්.. ඔබට අවසානයේ දී අපූරු ශාලාවක් ලොකු හාමුදුරුවෝ ලබලා දුන්නා...?
ඔව්... ඇත්තටම. මට මගේ යාළුවෙක් අර බෙල්ලන්විල ශාලාව තියෙනවා, ගිහින් හාමුදුරුවන්ගෙන් අහන්න කියලා කිව්වා. ඉතින් මම ඇවිත් අපේ හාමුදුරුවන්ව මුණගැහුණා. ඒ වෙද්දී ශාලාවක් සෙවීමෙන් මම හෙම්බත් වෙලා වගේම මානසිකව වැටිලයි හිටියේ. අපේ හාමුදුරුවෝ කිව්වේ එක දෙයයි. ඕක හැදුවේ කලාකරුවන්ට වැඩ කරන්න කිව්වා. මට ඒ වචන ටික අද වගේම මතකයි. 1991 අවුරුද්දේ අපි අභින වැඩමුළු ආරම්භ කළා.

ආරම්භ කරද්දී උන්වහන්සේත් ශාලාවට වැඩියද...?
ඔව්.. උන්වහන්සේ වැඩලා අපිට ආශිර්වාද කළා. හැබැයි උන්වහන්සේගේ එක පුරුද්දක් තියෙනවා. උන්වහන්සේ අපවත් වුණාම මේ කඩවල්වලට මම කොඩියක් ගන්න ගියාම කඩවල්වල අය පවා ඒ දේ කිව්වා. ඒ තමයි උන්වහන්සේ අපිට වැඩ කරන්න දුන්නට පස්සේ ඇවිත් කවදාවත් ඇඟිලි ගැහුවේ නෑ. ලේසියෙන් උන්වහන්සේට කිට්ටු වෙන්නත් බැහැ. උන්වහන්සේට කෙනෙක්ව හොඳට හඳුනාගන්න පුළුවන්. උන්වහන්සේට ආරාධනා කළොත් හැරෙන්න වඩින්නෙත් නෑ. ඒ උන්වහන්සේගේ තිබුණු පුදුමාකාර ගතිගුණයි. අපේ හාමුදුරුවන්ට අපි ගැන ලොකු විශ්වාසයක් තිබුණා.

ඔබ මෙම ශාලාවේ මොන තරම්නම් වැඩමුළු කළාද..? ඒ හැම එකකදීම උන්වහන්සේගේ ආශිර්වාදය ලැබුණාද..?
ඔව්.. ඒ ගැන කියන්න අදටත් මට වචන නෑ. 1991 පටන් ගත්තු මේ ගමනේ දී මොන තරම්නම් වැඩ කළාද..? අපි සුනාමිය වෙලාවේ වැඩ කළා. මුළු රට වටේම ගිහින් අපි වැඩ කළා. රට වටෙන්ම සුනාමියෙන් අවතැන් වූ කණ්ඩායම් පනහ පනහ කොළඹට ගෙනත් එයාලගේ මානසිකත්වය අපි එකතුවෙලා හැදුවා. ඒකෙදී සිංහල අය හිටියා. දෙමළ අය හිටියා. එල්.ටී.ටී. අය හිටියා. එතකොට තිබුණේ ප්‍රධාන ශාලාව විතරයි. ඒ නිසා ඒක අපිට හරි ගැටලුවක් වුණා. ඊටපස්සෙ අපි අපේ හාමුදුරුවන්ටත් ගිහින් කිව්වා. ඒ වෙලාවේ අපේ හාමුදුරුවෝ ඔය විශ්‍රාම ශාලා තියෙන්නේ කියලා විතරයි කිව්වේ. ලංකාවෙන්ම සුනාමියට හසුවුණු දරුවන් අපි බෙල්ලන්විලට ගෙනත් පුහුණුවීම් කළා. හාමුදුරුවෝ කිසිම දවසක තනතුරු බලාගෙන, හොඳ නම බලාගෙන වැඩ කළේ නෑ. උන්වහන්සේ අපිව තියාගෙන පැය ගණන් දේශනා කරන්නෙ නෑ. හැබැයි උන්වහන්සේගේ වචන දෙක තුනෙන් අපිට බොහෝ දේවල් කියලා දුන්නා.

යුද්ධය නැවතුණාට පස්සෙ ඔබ එල්.ටී.ටී දරුවන් වෙනුවෙන් කළ වැඩමුළුවලදීත් උන්වහන්සේගේ ආශිර්වාදය ලැබුණා නේද..?
ඔව්.. යුද්ධය නැවතුණාම උන්වහන්සේ ගොඩක් සතුටු වුණා. ඊටපස්සෙ එල්.ටී.ටී. දරුවන්ට වැඩමුළු පවත්වන්න අපි තීරණය කරලා මම උන්වහන්සේ මුණගැහෙන්න ගියා. අපේ හාමුදුරුවනේ... මොකද කරන්නෙ.. මෙතැනට ගෙනාවොත් ප්‍රශ්නයක් වේවිද..? කියලා මම අහද්දී, මේ රට එහෙම බෙදන්න හොඳ නැහැ... මෙහෙම බෙදුණු නිසා තමයි යුද්ධය පටන් ගත්තේ... නොබෙදී වැඩ කරන්න මේක හොඳ පාලමක්... ගෙනත් වැඩ කරන්න... හාමුදුරුවරු විතරක් දැනගත්තාම ඇති... අනිත් අයට කියන්න ඕනෙ නැහැ. ඒකෙන් ඒ දරුවන්ට හිරිහැරයක් වෙන්න පුළුවන් කියලා මට අවසර දුන්නා. ඊටපස්සෙ නිත්‍යනුකූලව හමුදා කඳවුරුවලින් අවසරය අරගෙන අපි බෙල්ලන්විල පුරා මාසයක් ඒ එල්.ටී.ටී. දරුවන්ට වැඩමුළු පැවැත්වුවා. රජයේ හමුදාවේ අවසරය ඇතිව කළ ඒ හැම work shop එකකටම අපේ හාමුදුරුවන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබුණා. ඒ විතරක් නෙවේ. ආබාධිත රණවිරුවන්, මිහිඳු සෙත් මැඳුරේ දරුවන් එක්ක අපි මෙතන වැඩ කළා. ඒ හැම කෙනෙකුගේම හිත ශක්තිමත් වුණේ බෙල්ලන්විල හාමුදුරුවන්ගේ ආශිර්වාදයත් බෙල්ලන්විල විහාරයේ රැකවරණයත් නිසයි. රජයෙන් දිය යුතු පහසුකම් සතපහක මුදලක් බලාපොරොත්තුවකින් තොරව අපේ හාමුදුරුවෝ ලබලා දුන්නා. ඒ හැමදේටම උන්වහන්සේට පින්. 

උන්වහන්සේ රටේ දරුවන්ට බොහෝ අවස්ථාවන් ලබලා දුන්නා නේද..?
ඔව්.. උන්වහන්සේ වරක් මට කියපු දෙයක් තමයි, තරුණ ළමයින් පන්සලින් ඈත්වෙන්නෙ පන්සල් උදවු කරන්නෙ නැති නිසයි. අපි පූජා සත්කාරයක් නම් සෑම ක්ෂේත්‍රයේම දරුවන්ට පන්සලෙන් පුළුවන් විදිහට උදවු කරන්න ඕනෙ කියලා කිව්වා. උන්වහන්සේගේ බෙල්ලන්විල පන්සල ආශ්‍රයෙන්, සංගීත පන්ති, විවිධ පාඨමාලා කරන්න අවස්ථාව ලබලා දුන්නා. හැබැයි ඒ කිසිම දෙයක් පන්සල ඇතුළත සිදුකරන්නෙ නෑ. පන්සලට යාබද ගොඩනැගිල්ලේ තමයි ඒවාට ඉඩදීලා තියෙන්නෙ. අපේ හැම වැඩක්ම පටන් ගන්න කලින් අපි හැමදෙයක්ම ලෑස්ති කරලා උන්වහන්සේට ගිහින් ආරාධනා කරනවා. මෙතනට වැඩම කරලා දරුවන්ට කරන ආශිර්වාදයෙන් ඒ හැම වැඩක්ම අපේ සාර්ථක වෙනවා. නාට්‍ය හා රංග කලාව ගුරුවරු රට වටෙන්ම ගෙනත් අපි මෙතන තමයි වැඩමුළු කළේ. නවත්තන්න ලොකු හෝටල් අපිට තිබුණේ නෑ. එහෙම දෙන්න මේ රටේ අපිට කවුරුත් හිටියේ නෑ. ඒ හැම වෙලේම ආශිර්වාදයත්, පිහිටටත් හිටියේ අපේ හාමුදුරුවෝ විතරයි. අපිට තිබුණු ලොකුම හයිය තමයි අපේ නායක හාමුදුරුවොයි අනිකුත් හාමුදුරුවොයි. සමහර විට ගමේ මිනිස්සුවත් මෙතන මෙච්චර ලොකු සේවයක් වෙනවා කියලා දැනගෙන හිටියේ නෑ. මම උන්වහන්සේගෙන් ඉගෙන ගත්තු එක දෙයක් තමයි ප්‍රජාවට සේවය කරද්දී ඒකට පබ්ලිසිටි දෙන්න හොඳ නැහැ කියලා.

අපි දන්න විදිහට උන්වහන්සේ කලාවට බොහොම ඇල්මක් දක්වපු හාමුදුරු නමක්..?
ඔව්. ඒක ඇත්ත. මට මතකයි මගේ ගේ ගිනි තියපු වෙලාවේ මම මුලින්ම හාමුදුරුවන්ව හම්බවුණු වෙලාවේ ඔක්කොම ඉවරයි හාමුදුරුවනේ.. අතපය විතරයි ඉතුරු වුණේ කියලා උන්වහන්සේ ඉදිරියේ හඬා වැළපුණා. ඒ වෙලාවේ අපේ හාමුදුරුවෝ සංඝයා වහන්සේලා සහ කලාකරැවෝ දේශපාලනයට යන්න හොඳ නැහැ කියලා විතරයි මට කිව්වේ. එදා මම ලොකු දෙයක් ඒ වචන ටිකෙන් ඉගෙන ගත්තා. එදායින් පස්සෙ කවදාකවත් මම දේශපාලනයට ගියේ නෑ. උන්වහන්සේ හරිම ප්‍රඥාවන්තයි. බුද්ධිමත්. උගත්. මනුස්සයාට සතා සිවුපාවාට ආදරේ කළේ හැබෑවටමයි.

ඒ වගේම උන්වහන්සේ මේ ගහකොළට, සොබාදහමටත් ආදරේ කළා..?
හරියටම හරි. අපි මේ අලුත් ගොඩනැගිල්ල හදන කොට මේ අපේ හාමුදුරුවෝ හිටවපු බෙත්ජමිතා ගහේ අතු කපන්නත් අපිට සිද්ධවුණා. ඒ ගහ හිටවූයේ අපේ හාමුදුරුවෝ. අපේ හාමුදුරුවන්ගේ අත් දෙකින් හිටවපු ඒ ගහ අද අතුපතර විහිදුණු මහ විශාල සෙවණ දෙන ගහක්. හැමදේකදීම අපි උන්වහන්සේගේ අවසර අරගෙනයි කළේ. මේ ගසේ අත්තක් දෙකක් කපන්න වුණා. මම උන්වහන්සේ ළඟට ගිහින් අපේ හාමුදුරුවනේ.. ගහේ අත්තක් දෙකක් කපන්න ඕනේ...කියලා කියද්දී  කපන්නේ නැතිවම බැරිද? කියලයි ඇහුවේ. පස්සේ උන්වහන්සේ ගහ ළඟටම වැඩලා කමක් නෑ... එහෙනම් ඒ අතු දෙක විතරක් කපන්න කියලා කිව්වා. අපි අපේ හාමුදුරුවන්ගේ අවසරයකින් තොරව ගහක අත්තක්වත් කැපුවෙ නෑ.

මියන් කුමාර අලි පැටවා ගැන බොහෝ දෙනා කතා කිව්වට අපේ හාමුදුරුවො මිහින් කුමාරට හරි ආදරෙයි නේද...?
ඔව්.. මියන් කුමාරත් එහෙමයි. අපේ හාමුදුරුවන්ව ඈතදී දැක්කාම හොඬේ උස්සගෙන එන්නෙ. අපේ හාමුදුරුවන්ගේ හුරතලා තමයි ඔය අලි පැටියා. අලියාට කන්න දෙන්නෙ දළේ එල්ලිලයි. ඔය අලි පැටියා හරි දඟයි. හැබැයි හරි හුරතල්. අපේ හාමුදුරුවන් බලාපොරොත්තු වුණු අන්තිම දේ තමයි අලි පැටියාව ආරක්ෂා කිරීම. බලාගැනීම. උන්වහන්සේ දිගින් දිගටම කියලා තියෙන්නෙ සතා මට ගැහුවේ නැහැ කියලයි. ඉතින් උන්වහන්සේගේ වචනයට වඩා කොහේවත් යන රස්තියාදුකාරයන්ගේ වචනයක් විශ්වාස කරලා ඇයි මේ රටේ මිනිස්සු අර අහිංසක අලි පැටියා ගැන වැරදියට හිතන්නෙ. ඇයි ඒ අලි පැටියාට වෛර කරන්නෙ. අපිට වැදගත් උන්වහන්සේ අපවත් වුණේ කොහොමද කියන එක නෙවෙයි. අපිට කිසිම පක්ෂයක් ගන්නෙ නැතිව මහජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන් සැබෑ ආදරයක් තිබුණු ඒ පිළිබඳ නිර්භීතව කතා කරපු අපිට හිටපු ස්වාමීන් වහන්සේ අපිට නැතිවුණ එකයි අපි සිහිපත් කළ යුත්තේ. මේ රටේ මිනිසුන් වෙනුවෙන් කතා කරන්න හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක් නැතිවුණා. මහජනතාවගේ දුක හඳුනාගෙන ඒ දුක නැතිකරන්න, මහජනතාවගේ පැත්තෙ ඉඳන් කතා කරපු අපේ හාමුදුරුවෝ අපිට අහිමි වුණා.

අද බෙල්ලන්විල පන්සලම පාළුවට ගිහින්. එදා උන්වහන්සේ හරිම කඩිසරව පන්සල පුරාම ඇවිද්දා...?
ඔව්. ඒක හරියටම හරි. උන්වහන්සේ හරිම කඩිසරයි. අපිට වෙලාවකට උන්වහන්සේ එක්ක ඇවිදින්න බෑ. සිවුර පිටිපස්සෙන් පොඩ්ඩක් අල්ලගෙන වේගයෙන් පන්සල පුරා ඇවිදින විදිහ තාමත් මට මතකයි. උන්වහන්සේ එක තැනක වාඩිවෙලා ඉන්නෙ හරිම අඩුවෙන්. තරුණ කෙනෙක්ට වඩා වේගයෙන් උන්වහන්සේ කඩිසරව වැඩ කරනවා. ඒ වගේම උන්වහන්සේ වැඩක් කල්දාන්නෙ නෑ.

අන්තිම වතාවට ඔබට උන්වහන්සේ මුණගැහුණේ කවදද?
උන්වහන්සේ අපවත් වෙන්න සති දෙකකට කලින් තමයි මුණගැහුණේ. මේ අලුත් ගොඩනැගිල්ලේ ලයිට්වල වැඩත් පටන් ගන්න තියෙන නිසා ඒ ගැන කතා කරගන්න මම උන්වහන්සේ මුණගැහුණා. උන්වහන්සේ අනගාරික ධර්මපාලතුමා ගැන පොතකුත් ලියමින් හිටියා. ඉතින් අපි කවුරුවත් උන්වහන්සේට කරදර කරන්නෙ නෑ. අපි පුහුණුවීම් කරද්දී වුණත් මේ ගහකොළ බලන්න මේ පැත්තට ආවට අපි පුහුණුවෙන ශාලාවටවත් උන්වහන්සේ එන්නෙ නෑ.

අවසානයේ දී උන්වහන්සේ අපි නොසිතූ මොහොතක නිහඬ වුණා...?
ඔව්.. උන්වහන්සේගේ වියෝවේ දුකට වඩා උන්වහන්සේ කළ සේවාව ළඟ ඉඳගෙන දැකපු, දැනුණු අය හැටියට අපිට උන්වහන්සේ ගැන තියෙන්නෙ අභිමානයක්. උන්වහන්සේගේ සෙවණේ හැදෙන්නට මම පින් කරලා තිබුණා. ඒ ගැන තියෙන්නෙ මට සැනසීමක්. අපේ හාමුදුරුවන්ගේ අපවත් වීමෙන් ජීවිතේ අනිත්‍ය බව අපිට තවත් පසක් කළා. උන්වහන්සේ ලෙඩවෙලා හෙමින් ඇවිදිනවා අපි කවදාවත් දැකලා නෑ. උන්වහන්සේ අපෙන් වෙන්වෙලා කියලා තාමත් අපිට දැනෙන්නෙ නෑ. බොහෝ අය උන්වහන්සේ අපි අතරේම ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කළා. නමුත් මම එහෙම ප්‍රාර්ථනා කරන්නෙ නෑ... මගේ ප්‍රාර්ථනාව මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම උන්වහන්සේට නිවන් සම්පත් ලැබේවා... කියන ප්‍රාර්ථනාවයි. 

 

අපේ හාමුදුරුවන්ව ඈත දී දැක්කාම මියන් කුමාර අැත්පැටවා හොඬේ උස්සගෙන එන්නෙ. අපේ හාමුදුරුවන්ගේ හුරතලා තමයි ඔය අලි පැටියා. අලියාට කන්න දෙන්නෙ දළේ එල්ලිලයි. ඔය අලි පැටියා හරි දඟයි. හැබැයි හරි හුරතල්. අපේ හාමුදුරුවන් බලාපොරොත්තු වුණු අන්තිම දේ තමයි අලි පැටියාව ආරක්ෂා කිරීම. බලාගැනීම. උන්වහන්සේ දිගින් දිගටම කියලා තියෙන්නෙ සතා මට ගැහුවේ නැහැ කියලයි. ඉතින් උන්වහන්සේගේ වචනයට වඩා කොහේවත් යන රස්තියාදුකාරයන්ගේ වචනයක් විශ්වාස කරලා ඇයි මේ රටේ මිනිස්සු අර අහිංසක අලි පැටියා ගැන වැරදියට හිතන්නෙ. ඇයි ඒ අලි පැටියාට වෛර කරන්නෙ

 

► Text – Dishani /   Pic – Internet

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00