හොඳ රංගන ශිල්පියෙක් වෙන්න නම් දක්ෂකම විතරක් තිබිලා මදි, හොඳ විනයකුත් තියෙන්න එපායැ.
ගාමිණී ෆොන්සේකා, මාලනී ෆොන්සේකා, විජය කුමාරණතුංග, ජෝ අබේවික්‍රම, රවීන්ද්‍ර, සනත්, ගීතලා අදටත් අපේ මතකයෙන් ඈත් නොවන්නෙ ඔවුන් කැපවීමෙන් වගකීමෙන් තම වෘත්තීමය කටයුතු කරපු නිසයි. හැබැයි අද පරපුර එහෙම නෙවෙයි.
පොඩි දක්ෂකමක් තිබ්බොත් ඇති ඒගොල්ලො පොරවල් වෙන්න හදනවා, පස්සෙ නිෂ්පාදකවරුන්ට, අධ්‍යක්ෂකවරුන්ට වාතයක් වෙනවා.
එහෙම කෙනෙක් වර්තමාන සිනමාවෙත් ඉන්නවලු. උදේ 6ට ෂූටිං පටන් ගන්නවා කියලා කිව්වට එයා සෙට් එකට එන්නෙ එයා ඇහැරෙන වෙලාවට තමයි. ඇහැරෙන්නෙ 9ටද 10ටද, ඒ වෙනකම් අනිත් කට්ටියට බලන් ඉන්න වෙනවලු.
ජනප්‍රිය පැරැණි සිංහල චිත්‍රපටවල නව නිෂ්පාදන නිර්මාණය කිරීම අලුත් දෙයක් නෙවෙයි. අපේ පළමු කතානාද චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුව වගේම සුජාතා වැනි චිත්‍රපටවලත් නව නිෂ්පාදන බිහිවුණා.
වර්තමානයේ නම් සමහර චිත්‍රපටවල නව නිෂ්පාදන දිහා බැලුවම මුල් චිත්‍රපටයට මොන තරම් අසාධාරණයක් කරලා තියෙනවද කියලා දුක හිතෙනවා.
ඔන්න ඊයෙ පෙරේදා දවසක තවත් එවැනි පැරැණි ජනප්‍රිය චිත්‍රපටයක නව නිෂ්පාදනයක වැඩ කටයුතු පටන් ගත්තලු.
ඕක නිෂ්පාදනය කරලා තිබුණෙ සුප්‍රසිද්ධ සිනමා සමාගමක්. රූපවාහිනී අයිතිය එක් අයෙකුට ආන්දෝලනයකට තුඩුදෙන අන්දමකින් පවරලා තියෙනවා. මේ නව අයිතිකරුවා තමයිලු නව නිෂ්පාදනය කරන්න නිෂ්පාදන කණ්ඩායමට චිත්‍රපටයෙ කතාව ගන්න අවසර දීලා තියෙන්නෙ.
ඒත් ලොකුම විහිළුව මේකයි. මේ චිත්‍රපටය කාගෙවත් කතාවක් නෙවෙයි. අපේ අල්ලපු රටේ හදපු ජනප්‍රිය දමිළ චිත්‍රපටයක් හා හින්දි චිත්‍රපටයක් අපේ රටේ පැල් බැඳගෙන දිව්වා. ඔන්න ඔය කතාව තමයි අපේ සිංහල චිත්‍රපටයට පාදක වුණේ. අර අලුත් අයිතිකාරයා මේ කතාවෙ අයිතිය නව නිෂ්පාදන කණ්ඩායමට පවරලා තියෙන්නෙ කොපමණ මුදලකටද කියන එකයි කවුරුත් අහන්නෙ?
තාරුණ්‍යයේ කතා තේමාවක් රැගත් අලුතින් හදන චිත්‍රපටයක ප්‍රධාන චරිත ටික රඟපාන්නෙ තරුණ නළු නිළි පිරිසක්.
ඒකෙ එක්තරා නළුවෙක් ඒ කණ්ඩායමේ ඉන්න තවත් නිළියක් ගැන හරි උනන්දුවෙන්ලු ඉන්නෙ.
ඔයා මොනවද කල්පනා කරන්නෙ? ඔයාට බඩගිනිද? ඔළුව කැක්කුමද? කිය කියා එයා වටේම දැවටි දැවටි ඉන්නවලු. දැන් ඉතින් කට්ටියට වැඩේ නෝණ්ඩි වෙලාලු.
කරකියාගන්න බැරිව ඉන්න ඒ තරුණ ළමයා තාක්ෂණය උපයෝගී කරගෙන අලුත්ම සැලැස්මක් හොයාගෙන තියෙනවලු.
දැන් නිතරම ජංගම දුරකතනය එයාගෙ අතේලු. ෆෝන් එක දිහා බලාගෙනමලු ඉන්නෙ.
පස්සෙ තමයි කට්ටියට වැඩේ මාට්ටුවෙලා තියෙන්නෙ. ෆෝන් එකේ කැමරා එක සෙල්ෆි මෝඩ් එකට දාගෙන ඒකෙන් අර කෙල්ල දිහා බලාගෙන ඉන්නවලු, එයා කරන කියන දේවල් බල බලා.
කොහොමද සෙල්ෆි මොළේ කියලයි දැන් කට්ටිය එයාට ඇහෙන්න කියන්නෙ.
කලා ලොවේ සහජ දස්කම් පෙන්නන අයට කොහොමත් තැනක් තියෙනවනෙ. මුලදි මුලදි නැතිවුණත් පස්සෙ කාලෙක ක්ෂේත්‍රය තුළ විතරක් නෙවෙයි, මාධ්‍යවලිනුත් ඒ අයට හොඳ ප්‍රචාරයක් ලැබෙනවා.
ඒත් ඒ අතර ඉන්නවා ජනප්‍රිය තලයට නාවත්, ප්‍රධාන චරිත රඟනොපෑවත්, පොර සයිස් එකට ඉන්න අය. ඔය වගේ අයට වෙන්නෙ කැපීපේන්න ගිහින් පෙනිලා කැපෙන එක.
පස්සෙ පස්සෙ ඒගොල්ලන්ට උදව් කරපු පත්තරත් අමතක වෙනවා. ඒ වුණාට සමහර ප්‍රසංග සංවිධානය කරන අය මේ වගේ කබ්බො ඒ අයගෙ වැඩවලට වැරදිලා හරි ගත්තම, ඒ ප්‍රසංග ගැන විස්තරයක්වත් පත්තරවල දාගන්න බැරිවෙනවා කියලා ඒ අය තැන් තැන්වල කියනවලු.
පහුගිය දවස්වල කොළඹින් ඈත ප්‍රදේශයක ටෙලිනාට්‍යයක් රූගතවෙමින් තිබුණා.
ඒකෙ ප්‍රධාන නිළි චරිතය රඟපාන්නෙ තරුණ නවක නිළියක්. නළුවා නම් මනමාල චරිතයක් බව ක්ෂේත්‍රයේ කවුරුත් දන්නවා. විශේෂයෙන් තරැණ නවක නිළියො පුළුවන් තරම් අතේ දුරින් තමයි ඔහුව ආශ්‍රය කරන්නෙ.
ඔන්න එදා රූපගත කරන්න තිබුණෙ නළුවට මැර පිරිසක් විසින් පහරදෙන්නට එන දර්ශනයක්.
කෙල්ලට තියෙන්නෙ ඒ වෙලාවෙ එතනට පැනලා නළුවාව බදාගෙන එයාගෙ ජීවිතේ බේරගන්න එක. අධ්‍යක්ෂකවරයා නළුවටයි නිළියටයි දර්ශනය ගැන විස්තර කරද්දි දෙන්නම ඉතා ඕනෑකමින් ඇහුම්කන් දෙනවා.
දැන් ප්‍රශ්නයක් නෑනෙ, අධ්‍යක්ෂකවරයා දෙන්නගෙන්ම ඇහුවලු.
මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා, තරුණ නිළිය කිව්වලු.
මම මේ සීන් එකේ හැටියට මෙයාව බේරගන්නවා. ඒක හරි. ඒත් මේ සීන් එකෙන් පස්සෙ මෙයාගෙන් මාව බේරගන්නෙ කවුද? ඇය ඇහුවලු.
► Text - Mithra