2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

එක ඉන්දියානුවෙක් චිත්‍රපටයේ නෑ....

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 248

නිරංජනී.. අලුත් චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව ලැබුණා. කියමුකො ඒ ගැනත් විස්තර ටිකක්?
ඔව්... මට හරි අපූරු චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒක දමිළ චිත්‍රපටයක්. චිත්‍රපටයේ නම තමයි කෝමාලි කිනිස් ඒකෙ සිංහල තේරුම තමයි විකට රජ්ජුරුවන් කියන එක. මේක ඇත්තටම හාස්‍යජනක චිත්‍රපටයක්. මේකෙ විශේෂයෙන් වීරයා හෝ වීරවරිය කියලා කවුරුවත් නෑ. මේ හැම චරිතයක්ම මේ චිත්‍රපටයෙ කතාවට වැදගත් වෙනවා. ඒ හැම චරිතයක් එක්කම මේ කතාව ගලාගෙන යනවා.

චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා කවුද..?
මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරන්නේ කින් රත්නම්. 1976 ගණන්වල කෝමාලිගල් කියලා චිත්‍රපටයක් තිබුණා. දවස් අනූපහක් එකදිගට පෙන්නපු, ඉතා සාර්ථක දමිළ චිත්‍රපටයක් විදිහට ඒ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. ඒකත් හාස්‍යජනක චිත්‍රපටයක්. ඊටපස්සෙ ගොඩක් චිත්‍රපට තිරගත වුණා. මෑත කාලයේ දමිළ චිත්‍රපටයක් ලෙසින් තිරගත වෙන අලුත්ම චිත්‍රපටය තමයි කෝමාලි කින්ස්. මේ චිත්‍රපටයට කෝටි තුනක් පමණ වියදම් වෙලා තියෙනවා. 

කෝමාලි කින්ස් දමිළ අයට වගේම සිංහල අයටත් නැරඹීමට පුළුවන් නේද..?
ඔව්.. කෝමාලි කින්ස් පෙබරවාරි මාසේ විසිතුන් වැනිදා සිනමාහල් පනහක පමණ තිරගත වෙනවා. මේක ශ්‍රී ලංකාවේ හැදුණු ලාංකික දමිළ චිත්‍රපටයක්. මේක සම්පූර්ණයෙන්ම ලංකාවේ නිෂ්පාදනයක්.

ඇයි එහෙම කියන්නෙ...?
මේ චිත්‍රපටය වෙනුවෙන් නිෂ්පාදකවරුන් හත්දෙනෙක් සහභාගි වුණා. ඒ හත්දෙනාම ලාංකිකයන්. අධ්‍යක්ෂකවරයාත් ලාංකිකයෙක්. මේකෙ වැඩ කරපු නළු නිළියන්, කාර්මික ශිල්පීන් ශිල්පිනියන් හැමෝම ලාංකිකයන්. කවුරුවත් ඉන්දියාවෙන් ගෙනත් මේකෙ වැඩ කළේ නෑ.

හතළිස් ‍දෙවසරකට පසු ලංකාවේ දෙමළ චිත්‍රපටයක්

නමුත් ශ්‍රී ලාංකිකයන් හැමදෙනාටම දමිළ භාෂාව තේරෙන්නෙ නැහැ. ඒ වෙනුවෙන් යම් විකල්පයක් තියෙනවද..?
ඔව්.. අනිවාර්යයෙන්ම. මේ චිත්‍රපටය දමිළ චිත්‍රපටයක් වුණාට සිංහල භාෂාවෙන් වගේම ඉංග්‍රීසි භාෂාවෙන් උපසිරසි සහිතව තමයි තිරගත වෙන්නෙ. ඒ නිසා චිත්‍රපටය දමිළ වුණාට ඕනෑම කෙනෙකුට තේරෙන විදිහට තමයි කරලා තියෙන්නෙ. දමිළ කියලා මේ චිත්‍රපටය එක භාෂාවකට කොටු කරලා නෑ.

චිත්‍රපටයට ඔබ ඇතුළුව රංගනයෙන් දායක වුණේ කවුද...?
මේ චිත්‍රපටයේ රාජා ගනේෂන්, දර්ශන් ධර්මරාජ්, පී.ජේ. ගනේෂන් වගේම ප්‍රියන්ත සිරිකුමාර අයියත් රඟපානවා. අනිත් හැම රංගන ශිල්පියෙක් ශිල්පිනියක්ම වගේ ආධුනිකයන්. ඒ හැමෝගෙම පළවෙනි චිත්‍රපටය. හැබැයි එහෙමයි කියලා මේක ආධුනික නිර්මාණයක් කියලනම් පේන්නෙ නෑ. අපි හැමෝම මහන්සිවෙලා හොඳ නිර්මාණයක් කළා.

මේක කින් රත්නම්ගේ පළමු අධ්‍යක්ෂණය නේද...?
ඔව්.. ඒක ඇත්ත. ඒ විතරක් නෙමේ. මේ චිත්‍රපටයට සංගීතය සපයලා තියෙන්නේ ශ්‍රීරාම් සචී කියන සංගීතවේදියයි. ශ්‍රීරාම්ගේත් පළමු දායකත්වය තමයි මේ. කැමරාකරණය කළ මහින්ද ඔබේසිංහගේත් පළමු කැමරාකරණය. ඇත්තටම ඒ වගේ බොහෝ විශේෂ දේවල්වල එකතුවක් තමයි කෝමාලි කින්ස් කියලා කියන්නෙ. හැබැයි හරිම සහයෝගයෙන් එකමුතුවෙන් අපි අන්තිමට හොඳ චිත්‍රපටයක් කළා.

චිත්‍රපටය රූගත කිරීම් කළේ කොහේද...?
මේ චිත්‍රපටය යාපනය, මඩකලපුව, උඩරට පළාතේ වගේම කොළඹ ආශ්‍රිත බොහෝ ප්‍රදේශවල රූගත කිරීම් කළා. චිත්‍රපටය නරඹන කාලසීමාව ඇතුළත ලංකාවේ තියෙන ලස්සන පළාත් ඔක්කොම මේ හරහා දැකබලාගන්න පුළුවන්. ඉතින් මම මගේ ආදරණීය රසික රසිකාවියන්ට කෝමාලි කින්ස් බලන්න එන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. 

► Text – Jayamali