2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

එක රැයකින් ලොව කැළඹූ ප්‍රියාටත් නඩු

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 162

අද වෙද්දී සමාජ මාධ්‍ය තුළ යමක් ජනප්‍රිය වන්නට ගතවන්නේ ක්ෂණයකි. සමාජ මාධ්‍ය නිසා ජනප්‍රියත්වයට දේශසීමා මායිම් නැත. ඇසින් පෑ ඉඟි බිඟියක් නිසා ලෝකය පුරාම ජනප්‍රිය වූ යුවතියක් සිටී. ලබන මාසයේදී තිරගත වීමට නියමිත මලයාලම් සිනමා සිත්තමක් වන ‘ඔරු ආදර් ලව්’ චිත්‍රපටයේ චිත්‍රපට දර්ශනයකට පෙනී සිටින ප්‍රියා ප්‍රකාශ් වොරියර් නම් මේ යුවතිය මේ ජනප්‍රියත්වය අත් කරගත්තේ දින කිහිපයක් තුළදී වීම ද විශේෂත්වයකි. එනම් සතියක් තුළ ඇගේ ඉන්ටර්ග්‍රෑම් ගිණුමෙහි රසික සංඛ්‍යාව මිලියන 2.5ක් ඉක්මවීමට ද ඇගේ ඇස් ඉඟිබිඟිය හේතුවී තිබුණි. 

මේ ඉඟිබිඟිය සටහන්ව තිබුණේ ඔරු ආදර් ලව් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ලෙස එළිදැක්වුණු මණික්‍ය මලරයා පූවි නම් ගීතයේ ය. මේ චිත්‍රපටය පාසල් ප්‍රේමය වටා ගෙතෙන්නකි. එහිදී පාසලේ යම් උත්සවයක් අවස්ථාවකදී තරුණියක් සහ තරුණයෙකු අතර ඇස් දෙකෙන් සිදුවන ප්‍රේමාන්විත කතාබහකදී ප්‍රියාගේ මේ අපූරු ඇස් ඉඟිබිඟිය දකින්නට ලැබුණි. 

තම පළමු සිනමා පටය වන ඔරු ආදර් ලව් චිත්‍රපටයට රංගනයෙන් දායක වන ප්‍රියාගේ වයස තවමත් අවුරුදු දහ අටකි. එක් රැයකින් අන්තර්ජාලය හරහා ජනප්‍රියත්වය පත්වීම ගැන ඇය ඉන්දීය රූපවාහිනී නාළිකාවක් සමඟ මෙසේ පවසා තිබුණි. 
“මගේ ජීවිතය එක රැයකින් වෙනස් වුණා. දැන් ගොඩක් අය මාව අඳුනනවා. ඒ වගේම මණික්‍ය මරලයා පූවී සින්දුවටත් ඉතාම හොඳ ප්‍රතිචාර තිබෙනවා” 
මේ අතර බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය තාරකාවන් වන ශාරුක්, රන්වීර් සිං, සිද්ධාර්ත් මල්හෝත්‍රා මෙන්ම දීපිකා පදුකෝන් යන අයට තමාගේ විශේෂ කැමැත්තක් ඇති බව ද එහිදී ප්‍රියා හෙළිකර තිබුණි.  
කෙසේ වෙතත් මලයාලම් සිනමා ලෝලීන් අතර පමණක් නොව මුළුමහත් ඉන්දියාවේමත්, ලංකාවේ මෙන්ම වෙනත් විදෙස් රටවලත් රසිකයින් රැසකගේ ආකර්ෂණය දිනාගැනීමට සමත්වූ ප්‍රියාගේ මේ ඇස් ඉඟිබිඟිය රුගත් ගීතය, මේ වනවිට ඉන්දියාව තුළ අලුත් කැළඹීමක් නිර්මාණය කර තිබේ. 

මීට මාස කිහිපයකට පෙර පද්මාවතී චිත්‍රපටයට එල්ලවූවාක් මෙන් විරෝධයක් ඔරු ආදර් ලව් චිත්‍රපටයට ද ඉන්දියාවේ එක් ජන කොටසකින් විරෝධයක් එල්ල වී තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ ‘මණික්‍ය මලරයා පූවි’ නම් ගීතයෙන් තම ශාස්තෘවරයාට අපහාසයක් සිදුවන බව ය. එය අදාළ ගීතයේ පදරචනයේ ඇති ගැටලුවක් බැවින් එම ගීතය තහනම් කළ යුතුව ඇතැයි අදාළ ජන කොටසේ මතය වී තිබේ. එහෙත් ප්‍රියා ප්‍රකාශ්ට හෝ චිත්‍රපටයට රංගනයෙන් දායක වන සෙසු කිසිවෙකුට එරෙහිව අදහස් දැක්වීමක් සිදුකොට නැත. මේ සම්බන්ධව තෙළඟනා ප්‍රාන්ත පොලිසියට පැමිණිල්ලක් පවා මේ වන විට ගොනු කොට තිබේ. 

කෙසේ වෙතත් මේ ප්‍රශ්න හමුවේ ප්‍රියා ද පසුගියදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියා ය. ඇය එහිදී කරුණු දක්වා තිබුණේ ‘මණික්‍ය මලරයා පූවී’ ගීතය තහනම් කරන ලෙස ඉල්ලා සිටීම අසාධාරණ ඉල්ලීමක් බවයි. ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති බවත් ඇය අධිකරණය හමුවේ පවසා තිබුණි. 
ඔරු ආදර් ලව් චිත්‍රපටය මේ වසරේ ජූනි මාසයේදී තිරගත වීමට නියමිත ය. 

► Text — Rajitha

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00