සනත්ගේත් මල්කාන්තිගේත් ජීවිතය ආලෝකමත් කළ දියණියට අනුරාධා කියන නම ලැබුණේ විශේෂිත කෙනෙක්ගෙන්. එහෙමද...?
ඔව්.. අපේ දුව ඉපදුණාට පස්සෙ එයාට තියෙන නමට සුබ අකුරු විදිහට තිබුණේ අ සහ නි කියන අකුරුයි. ඒ කාලේ අපේ පවුලට බොහොම සමීප හිතවතෙක් තමයි කරුණාරත්න අබේසේකර. ඉතින් මම කරු අයියට කිව්වට පස්සෙ එයා තමයි නිශාමනී අනුරාධා කියන නම දැම්මේ. හැබැයි හුඟාක් අය දුවට කතා කළේ අනුරාධා කියලයි.
එතකොට දූ අනුරාධා ගීතය නිර්මාණය වුණේ කොහොමද..?
දූ ඉපදිලා මාස ගාණකට පස්සෙ දවසක් මම උදේ වාහනයක් පදවගෙන ගමනක් යමින් හිටියෙ. මට එහා පැත්තෙ අසුනේ මල්කාන්තිත් හිටියා. මට එකපාරටම දූ අනුරාධා කියලා තාලෙට කියවුණා. මම ඉක්මනට වාහනය පැත්තකින් නවත්තලා ඒ තාලය ස්වරවලින් මල්කාන්තිට කියලා කොළයක ලියවගත්තා. ඇත්තටම අදටත් මම දන්නෙ නෑ, දූ අනුරාධා කියන තාලය මගේ හිතට එදා කොහොම ආවද කියලා. ඉතින්.. මම ඒ තාලය ගෙදර ගියපු ගමන් අපේ හිතවත් ගීතරචක බුද්ධදාස ගලප්පත්තිට කිව්වා. එයා තමයි දූ අනුරාධා කියන ගීතයට ඉතිරි පදවැල් ටික හරි අපූරුවට නිර්මාණය කළේ.
එදා ඔබ ගයපු දූ අනුරාධා ගීතයට ප්‍රතිඋත්තරයක් විදිහට තව අපූරු ගීතයක් නිර්මාණය කරලා තියෙනවා නේද...?
ඔව්.. මගේ දුව ඒ දූ අනුරාධා ගීතයට ගායනා කරන පිළිතුරු ගීතයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මට ඒ ගීතය ඇහුවට පස්සෙ හරි සතුටක් දැනුණා. ඒ ගීතය පදරචනා කළේ විදුර ඩයස් අභයගුණවර්ධනයි. ගීතය සංගීතවත් කරලා තියෙන්නෙ සංගීතවේදි නදීක ගුරුගේ. ඒ ගීතය ඇහුවට පස්සෙ මට හරි සතුටුයි. එයා අපිව හරියට අගය කරනවා. ඇත්තටම අනුරාධා දුව වගේ දරුවෙක් මටයි මල්කාන්තිටයි ලැබීම හරිම වාසනාවක්.
දූ අනුරාධා
ඉමියුරු ගීයක් වෙද කුමන
මා ඇමැතුමැ මිස ඔබැ නදින
මා ඇමැතුමැ මිස ඔබැ නදින
ඉමියුරු ගීයක් වෙද කුමන
දූ අනුරාධා
ඔබා සවන ළය - ළය අසන
ඔබේ මිහිරි තරවටු පතන
ඔබ ඉඹ ඔබැ සුවඳින් පිපෙන
මම මැ මිස ලොවැ අන් කවුරැද
දූ අනුරාධා
ඔබේ නදින් සුසරව නිතින
සදානන්ද ඉසියුම් තතින
ගැයෙන ඔබේ අස වෙණ ලෙසින
මම මැ මිස ලොවැ අන් කවුරුද
ඔබ සුවහසක් දරුවන්ට දැනුම ලබාදුන් ඇදුරුතුමෙක්. නමුත් ඔබ අනුරාධාට වෙනමම ඒ දැනුම ලබාදුන්නේ නැහැ කියන්නේ ඇත්තද...?
කවදාවත් නෑ. ඒක මගේ දුව හොඳටම දන්නවා. මම දුවට මගේ දුව කියලා වෙනම උගන්වලා නෑ. මම කවදාවත් මගේ දැනුම සඟවලා උගන්වලා නෑ. මගේ ගෝලයන් එක්කම මම දුවට ඉගැන්නුවා. එයා ඒ දේ හොඳට ඉගෙන ගත්තා. ගෝලයෝ එක්කම වාඩිවෙලා දුව මගෙන් සංගීතය ඉගෙන ගත්තා. ඒ විතරක් නෙවේ, මගේ ගෝලයෝ පවා පසු කාලයේ දී දුවට ඉගැන්නුවා. මම ඉගෙන ගත්තු දැනුම කිසිදෙයක් හංඟන්නේ නැතිව උගන්වපු නිසා තමයි මගේ ගෝලයන්ටත් ඒ දැනුම නිසියාකාරව ලැබුණේ.
මීට වසර ගණනාවකට උඩදී ඔබේ ඒකපුද්ගල සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. ඒ ස්වර්ණ කුණ්ඩල නමින්...?
ඔව්.. මගේ ප්‍රථම ඒකපුද්ගල සංගීත ප්‍රසංගය පැවැත්වුණේ 1974 අවුරුද්දෙදී. එම ස්වර්ණ කුණ්ඩල සංගීත ප්‍රසංගය ප්‍රසංග වාර 250කට අධික ප්‍රමාණයක් පැවැත්වුවා. ඒ හැම ප්‍රසංගයකටම හොඳ රසික ප්‍රතිචාරයක් ලැබුණා. ඊටපස්සෙ 1982 අවුරුද්දෙදී අනුරාධා නමින් තවත් ප්‍රසංගයක් ආරම්භ කළා. 2015 වසරේ දී ඇරඹුවේ මේ ප්‍රථම වසන්තයයි සංගීත ප්‍රසංගයයි.
ඔබ විසින් ගායනා කරන ගීත අතරින් ප්‍රසංගවලදී වැඩි ඉල්ලුමක් ලැබෙන්නේ මොන ගීතවලටද...?
මම නම් මම ගායනා කරන හැම ගීතයකටම එක වගේම ආසයි. හැබැයි බොහෝ දෙනෙක් එදා මෙදා තුර ගීතයට කැමතියි. හැම ප්‍රසංගයකදීම මගෙන් මේ ගීතය අනිවාර්යයෙන්ම ඉල්ලනවා.
එදා මෙදා තුර කඳුළට විවර වූ දෑස් පියන් පත් කවුළු වසා
ළයේ ගලාගිය ස්නේහයේ සුව සිනා පිරූ රත් දෙතොල් පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා
දෑස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත්වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබේ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමැයි ඒ සුවඳින්
ඊයේ ඉපදී අද මියයන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ
එය සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වුණ ගීතයක් නේද...?
ඔව්.. දවසක් එක්තරා මහත්තයෙක් මාව මුණගැහෙන්න ආවා. ඔහුගේ අතේ ගීත පිටපතක් තිබුණා. හැබැයි ඒ තමයි ඔහුගේ පළවෙනි නිර්මාණය. පදවැල් ටිකක් වෙනස්. හිතට දැනෙනවා. ඒ පදවැල් තමයි එදා මෙදා තුර කඳුළට ගීතය. ඔහු එකල ටිකක් මැදිවියට ළංවුණු මනුස්සයෙක්. ඔහු ගෑනු ළමයෙක්ට ආදරේ කළා. ගෑනු ළමයා තේ වතු තියෙන ගම්මුලාදෑනියෙකුගේ දුවක්. මේ මහත්තයා වැඩ කරලා තියෙන්නෙ කොළඹ. හැබැයි අර ගෑනු ළමයත් කොළඹ රස්සාවක් කරලා. දෙන්නා හරිම ආදරෙන් ඉඳලා. නමුත් මේ සම්බන්ධය ගෑනු ළමයගේ තාත්තට ආරංචිවෙලා. දවසක් මේ මනුස්සයට නොදන්වාම ගෑනු ළමයගේ තාත්තා කෙල්ලව ගෙදර එක්කගෙන ගිහින්. අද වගේ ඒ කාලේ ෆෝන් නෑ. හරිම දුකෙන් ටික දවසක් ගෙවෙද්දී මෙය දුටු වහාම ඇවිත් යන්න කියලා ගෑනු ළමයගේ තාත්තගෙන් ටෙලිග්‍රෑම් එකක් ලැබිලා. අපේ සම්බන්ධයට කැමති ඇති කියලා හිතපු මේ මනුස්සයා හරි ලස්සනට ඇඳගෙන ගෑනු ළමයගේ ගෙදර යද්දී දැකලා තියෙන්නේ සුදුකොඩි වැල් දෙකක්. ආදරය කරපු ගෑනු ළමයා ජීවිතෙන් සමුගෙන තිබුණා. ඒ ගීතය තමයි එදා මෙදා තුර කියන ගීතයට පාදක වුණේ.
ඔබ විසින් ගායනා කරපු තුන්මන් හන්දිය අද මා පමණයි ගීතයත් සත්‍ය සිදුවීමක් අළලා නිර්මාණය වුණු ගීතයක් නේද...?
ඔව්.. ඒ ගීතයත් සත්‍ය සිදුවීමක් අළලා නිර්මාණය වූවක්. ඒ ගීතය ලිව්වේ ප්‍රණීත් අභයසුන්දරයි. අපේ ගමේ පන්සලේ ඒ කාලේ හැම අවුරුද්දෙම පෙරහරක් පවත්වනවා. ඒ කාලේ මම හොඳ ඉලන්දාරියා. ඒ කාලේ එක හාදයෙක් හිටියා, මගේ හොඳ යාළුවෙක්. එයා හැබැයි ටිකක් දුප්පත් පවුලක ඉලන්දාරියෙක්. හැබැයි ඉගෙන ගන්න මාර දක්ෂයා. ඉතින් එයා අපේ ගමේ ලොකු සල්ලි තියෙන පවුලක ගෑනු ළමයෙක්ට ආදරේ කළා. කෙල්ලත් ලස්සනයි. මම උසස් පෙළ කරලා ඉන්දියාවට ආවා. අර යාළුවා කැම්පස් ගියා. අවුරුදු දහයකට විතර පස්සෙ මම මගේ යාළුවව ආයෙමත් ගමේ අර සංක්‍රාන්ත පෙරහරේ දී හමුවුණා. මුළු ගමම පන්සලේ. යාළුවා එක්ක ආගිය තොරතුරු කතා කරද්දී එදා එයා හිටියේ හරිම සතුටින්. ඒකට හේතුව තමයි අර කෙල්ලත් එන නිසා. කොහොමහරි ටික වෙලාවකින් මම දකිද්දී මගේ යාළුවා පන්සල් වත්තේ ඈත කෙළවරක බිත්තියට ඔළුව තියාගෙන ඉන්නවා. මචං.. එයා කියනවා මේක කරන්න බෑ.. කණගාටු වෙන්න එපා.. සංසාරේ හැටි ඔහොම තමයි... කියලා කෙල්ල කියලා.
ඒ සිදුවීම තමයි පසු කාලයේදී තුන්මන් හන්දියෙ අද මා පමණයි කියන ගීතය නිර්මාණය වුණේ. ඒ ගීතයට මම හරි ආසයි.
තුන්මන් හන්දියෙ අද මා පමණයි
අපෙ පන්තිය වෙන කවුරුත් නෑ
මගෙ නැතිබැරිකම් අඩුවක් වී නම්
තරහ වුණත් මම තරහා නෑ
අනන්ත කරදර කඳුළේ දියකර
මට ඔබ දුන් දුක වැඩියත් නෑ
බිඳ දා ගියමුත් අපෙ ළෙන්ගතුකම
ඔබ ගැන අහිතක් හිතන්න බෑ
පෙරහර ගිය පසු හිත හිත ඔබ ගැන
ඇඬුවා හිස බිත්තියේ ගසා
සංසාරේ හැටි ඔහොමයි කියලා
කියන්නෙ ඇයි මට සිනාවෙලා
දූ අනුරාධා සංගීත ප්‍රසංගයට දැන් ඔබ සූදානම් වෙනවා නේද...?
ඔව්.. දූ අනුරාධා සංගීත ප්‍රසංගයට මගේ දුව තමයි මූලිකවෙලා හැම වැඩක්ම හොයලා බලලා කරන්නේ. ඒ වෙනුවෙන් මංගල බොතේජු, විදුර ඩයස් වගේම නෙරංජලා නංගි, සකුන්තලා නංගිත් ගොඩක් උදවු කරනවා. ඇත්තටම මේක අනිත් ප්‍රසංග වගේ ප්‍රසංගයක් නෙමේ. ලොකු වෙනසක් මේකෙ තියෙනවා. ඇත්තටම මට හරි සතුටුයි මගේ දුව ඇතුළු මේ කණ්ඩායම මහන්සිවෙලා මේ වගේ ප්‍රසංගයක් කිරීම ගැන. මේ ප්‍රසංගය මාර්තු මාසයේ 11 වැනිදා සවස 6.30ට නෙළුම් පොකුණ වේදිකාවේ දී පැවැත්වෙනවා.
දූ අනුරාධා ප්‍රසංගයේ බර කරට ගත්තු අනුරාධාගෙනුත් අපි ප්‍රසංගය ගැන අදහස් විමසන්න අමතක කළේ නෑ.
මේ ප්‍රසංගයේ තාත්තා අම්මා තනි තනි ගීත ගායනා කරනවා වගේම යුග ගායනා කිහිපයකුත් තියෙනවා. තාත්තාගේ ගීත කොටස් විදිහටත් ගායනා කරනවා. අපි මුහුණු පොත ආශ්‍රයෙන් සමීක්ෂණයක් කළා. ඒ අතරින් බොහෝ දෙනෙක් ඉල්ලපු ගීතවලටත් අපි අවස්ථාව ලබලා දෙනවා.
වැඩිපුරම ඉල්ලීම් කරලා තිබුණේ මොන ගීතවලටද...?
එදා මෙදා තුර, දුලීකා, ඈත එපිට වගේ ගීත බොහෝ දෙනෙක් වැඩිපුර ඉල්ලලා තිබුණා.
තාත්තා ගායනා කරන ගීත අනුරාධාත් ගායනා කරනවා කියලයි ආරංචි...?
ඔව්.. මේ ප්‍රසංගයේ වැඩිපුරම තියෙන්නේ තාත්තගේ ගීත. ඒ ගීත තාත්තා ගායනා කරනවාට අමතරව මමත් ගායනා කරනවා. ඒක පළමු වතාවට තමයි සිදුවෙන්නෙ. තාත්තා කෙනෙකුගේ ගීත දුවෙක් ගායනා කරනවා හරිම අඩුයිනෙ. ඉතින් ඒ අපූරැ අත්දැකීමත් එදාට විඳින්න පුළුවන් වේවි.
තාත්තා ගායනා කරන ගීත දැනටමත් තෝරගෙන අවසන්ද..?
ඔව්.. ඔව්.. තාත්තාට අපි ගීත ටික කිව්වාම තාත්තා හැමදාම කරන පුරුද්දක් තියෙනවා. තාත්තට ප්‍රසංගවලට ආරාධනා ලැබුණාම තාත්තා එයාගේ ඩයරියේ ගායනා කරන ගීත ටික ඒ දිනය යටින් ලියාගන්නවා. ඉතින් අපි එදා ඒ ගැන තාත්තට කිව්වාම තාත්තා එදා අපිට ඩයරිය දීලා ඒ දවස යටින් මම ගායනා කරන්න ඕනෙ ගීත ටිකත් ලියන්න කියලා කිව්වා.
මේ දවස්වල ගීත පුරුදු පුහුණු වෙනවද...?
ඇත්තටම මේ ප්‍රසංග සංවිධාන වැඩත් එක්ක තුන්දෙනාට එකතුවෙලා පුරුදු පුහුණු වෙන්න තාම අවස්ථාවක් ලැබුණේ නෑ. මේ ප්‍රසංගය සංගීතවත් කරන්නෙ නාද වාද්‍ය මණ්ඩලයයි. තාත්තව අපි ගොඩක් වෙහෙසවන්නෙ නෑ. ඒ නිසා සංගීත කණ්ඩායම මූලික පුහුණුවීම් කරනවා. ඒ සංගීත කණ්ඩායමට අමතරව දැනට සංගීත ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණතම වාද්‍ය ශිල්පීන් පස්දෙනෙකුත් අපි ප්‍රසංගයට එකතු කරගත්තා. ඊට අමතරව මේ ප්‍රසංගයේ අත්වැල් ගායනයට එකතු වෙන්නෙ තාත්තගේ අලුත් ගෝලයෝ. ඒකත් විශේෂ සිදුවීමක්. ඉතින්... අපි ආරාධනා කරනවා තාත්තගේ ගීතවලට ආදරය කරන ආදරණීයන්ට මේ ප්‍රසංගය නරඹන්න මාර්තු 11 වැනිදා නෙළුම් පොකුණට එන්න කියලා.
► Text - Dishani
pic - Dayan witharana