අද දවස සාර්ථක වෙන්න කියලා ඔයත් හැමදාම උදේට දෙවියන් බුදුන් වෙනුවෙන් පහනක් තියනවද? දෙවියන්ගෙන් බුදුන්ගෙන් ඉල්ලනවද? ඇයි ඔයා ඔයාගේ ආත්ම ශක්තියට වඩා ඔයාගේ ආත්ම විශ්වාසයට වඩා තවත් පාර්ශ්වයක් විශ්වාස කරන්නේ. ඒක ඔයාගේ අයිතියක්. ඒ නිසා මම හිතනවා ඒ ප්රශ්නය කාගෙන්වත් අහන්න මට අයිතියක් නෑ. ඒත් අපි දවසේ මොන අරමුණක් වෙනුවෙන්ද පහනක් පත්තු කරන්නේ? බුදුන් දෙවියන් යදින්නේ? පන්සලේ ඝන්ඨා නාදය කෝවිලේ කවිල් හඬ පල්ලියේ පූජා නාදය උදේට හවසට ඇහෙන දෙවියන් වඳින පුදන ගාථා පිරිත් ඇසෙන කියන දෙසන රටක පොදු සමාජය අභ්‍යන්තරයෙන් හමන කුණු ගඳ පතුරු හරින්නේ මනුෂ්‍යත්වයේ විතරක් නෙවෙයි දහිරියේ සහ බලාපොරොත්තුවේ.
මේ සමාජය ඇතුළෙ එක එක ව්‍යාපාරිකයන් ඉන්නවා. මල් ශාලාවක් කරන මනුස්සයත් උදේම දෙවියන්ට බුදුන්ට පහන තියලා ව්‍යාපාර දියුණුව ප්‍රාර්ථනා කරනවා. ඒ ව්‍යාපාරිකයාගේ ව්‍යාපාර දියුණුව කියන්නේ තවත් පුද්ගලයෙක්ගේ මරණය. එයාගේ ව්‍යාපාරය දියුණු වෙන්න නම් මිනිස්සු මැරෙන්න ඕනෑ. අනිත් කාරණය ප්‍රාණය නිරුද්ධ මළසිරුරක් අත්හරින්න මිනිස්සුන්ගේ මහා ලෝභකමක් තියෙනවා. කොයිතරම් බැඳීමකින් ආදරයකින් හිටියත් අපි ජීවිතයේ යථාර්ථයෙන් පලා යා යුතු නෑ. මරණය නිශ්චිතයක් වග අපි දන්නවා. සෑම කෙනෙක්ම මේ ලෝකයට එන්නේ තමන්ගේ ජීවිතය කියන පුස්තකයේ නිෂ්පාදිත දිනයක් වගේම අවලංගු වෙන දිනයකුත් ලියාගෙන. කොහේ කොතැනක කුමක් කරමින් හිටියත් ඒ නියම කළ දින අප නික්ම යා යුතුයි. සමුගැනීමකදී හඬා නොවැටී ළඟින් හිඳින තුරා බැල්මකින්වත් වෙනසක් නොකර ආදරය කරන යුතුකම ඉටු කරන්න. මුස්ලිම් සංස්කෘතිය තුළ ප්‍රාණ විරහිත සිරුර තවත් කුණු කර කර තියාගෙන ඉන්නෙ නෑ. ඔවුන් එක දවසකින් ඒ දේ අත්හරිනවා. ඒ වගේ සම්ප්රදායක් අපටත් තිබුණා නම් මඟුලක් ගන්න නිස්කාරණේ වැයකරන මුදල් කන්දරාව තරම්ම නැති වුණත් අපි ගත්තෙත් හොඳම මිනී පෙට්ටියක්. බොන්න දුන්නේ අහවල් කැෆේ. කෑම දුන්නේ අහවල් බුෆේ. ලොකු ලොකු අය ගොඩක් ආවා. පත්තර පිටු ගණන් මරණ දැන්වීම් දැම්මා. වගේ ලොකුකම් උද්දච්චකම් වෙනුවෙන් මිනිය සේල් කරන ක්‍රමය සමාජයෙන් තුරන් කරන්න තිබුණා.
හන්දි ගණේ මිනී පෙට්ටි සාප්පු ඉදි නොවෙන්න තිබුණා. පිළිකාකාරක රසකාරක යහමින් දාලා නොයෙක් ආහාර නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන්, පිළිකාවේ ඉඳන් සකල රෝගයන්ට පාර කියන මත්පැන් දුම්වැටි නිෂ්පාදනය කරන්නන් හෝගෑවිල්ලේ දියවැඩියාවට මඟ කියන්නන් කී නොකී මේ කවුරු කවුරුත් ඉල්ලන ව්‍යාපාර දියුණුව පිටිපස්සේ හැංගිච්ච ප්‍රාර්ථනාව තමයි කෙලවුණත් කාරී නැත. වැඩි වැඩියෙන් මේවම කාපිය බීපිය කියන එක. පෞද්ගලික වෛද්‍ය සේවාව කරන දොස්තර මහත්තුරුන්ගේ හිතේ හැංගිච්ච ප්‍රාර්ථනය අනේ අද දවසේ වැඩි වැඩියෙන් මිනිස්සු ලෙඩ වෙයන් කියන එක. මිනිස්සු ලෙඩ නොවුණොත් දොස්තරලත් හිඟමනේ. අනිත් පැත්තෙන් දොස්තරලත් ඕන. ලෙඩක් හැදුණු වෙලාවට දෙවිවරු වෙසින් දැනෙන්නේ දොස්තරලා. මේ යාන්ත්‍රණය හරි පුදුමයි. ඝාතකයෙක් ලේ සුවඳට ඉව අල්ලද්දී පික්පොකට් කාරයෙක්, හොරෙක් ගේමකට ඉව අල්ලනවා. අපි උඹලගේ දෙවිවරු කියලා ජන්ද කාලෙට කියන්න පෙන්වන්න හදන මිස්ටර් ක්ලීන්ලගේ වේසයෙන් ඉඳගෙන පට්ට හොර න්‍යායෙන් කරන්න ඕන අසමජ්ජාති වැඩ ඕන එකක් කරන විකුණන්න පුළුවන්නම් මහජනතාවගේ වකුගඩු ටික හරි විකුණන දේශපාලනඥයෝ අපිට සාදු න්‍යායෙන් ලීලේ පානවා. අවසානේදී හිතෙනවා සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන කිසිම එකෙකුට හදවතින්ම ඒ ප්‍රාර්ථනාව කරන්න පුළුවන්ද කියලා .
අපේ රටේ භක්තිකයෝ වගේම ආගමික නායකයෝ පූජකයොත් මාර ආසයි හන්දි ගාණේ පන්සල් කෝවිල් පල්ලි හදන්න. ප්‍රතිමා හදන්න. අවුරුදු ගාණේ පෙරහරවල් තියන්න. ඒවා හදන්න හදන්න සංහිඳියාව සාදුධර්ම හදවතින් හදවතට මෝරනවා කියලා හිතනවා නම් අපේ රටේ සියලු සත්ත්වයෝ මේ වෙද්දී අඩුම තරමේ සෝවාන් පලයටවත් පත්වෙලා තියෙන්න ඕන. ස්වර්ගයට ඔන්න මෙන්න අඩිය තියාගත්ත ගමන් ඉන්න ඕන. ඒ හදන්න වියදම් කරන කෝටි ගණන් සල්ලි මේ රටේ වතුර ටිකක් බොන්න ටැප් එකක්, අසූචි මුත්‍රා ටික සිරුරින් අහකට කරන්න වැසිකිළියක් නැති මිනිස්සු වෙනුවෙන් ඉගෙන ගන්න පොතක් පැන්සලක් ගන්න, වේලක් කන්න නැතුව ඉන්න අසරණ මිනිසුන් දරුවන් වෙනුවෙන් වැය කරන්න දුප්පත් පාසලක් ගොඩනගන්න වැය කරන්න. ඒක පිනක් දානයක් විතරක් නෙවෙයි ප්‍රායෝගික සංවර්ධන ක්‍රියාදාමයක ඇරඹුමක් වෙයි.
නළල අත් දෙකේ තියාගෙන සාදු සාදු කීවට නිවන් යන්න බෑ. අල්තාරය මත තුන් තිස් පැය දෙවියන් යැද්දත් ස්වර්ගයට යන්න පවු සමාකරගන්න බෑ. එහෙනම් නිවුටන්ගේ තුන්වැනි නියමයත් පට්ට බොරු. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා කියලා එරමිණිය ගොතාගෙන බවුන් වඩමින් ප්‍රාර්ථනා කරන්න ඉස්සර සියලු කෙසේ වෙතත් එකෙක් හෝ සුවපත් කිරීම වෙනුවෙන් පුරවැසියෙකු ලෙස ඔබේ අල්පමත්රික යුතුකමක් හෝ ඉටු කරන්න. අඩුමම තරමේ ස්වයං විනය ඇතිකර ගැනීමෙන්වත් එහි දායකයෙකු වෙන්න.
► Saara