හැරී කුමරුගේත් මේගන් මාකල්ගේ විවාහ මංගලෝත්සවය දිනෙන් දින ළංවෙමින් තිබේ. විවාහ මංගල්‍යය පැවැත්වෙන්නේ මේ වසරේ මැයි මස 19 වැනිදාට බව මේ වනවිට පළවන ආරංචි මාර්ග අනුව තහවුරු වී තිබේ. එසේ රාජකීය විවාහයට මාස කිහිපයක් ඉතිරිව තිබියදී ඒ වෙනුවෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ද හොලිවුඩ් නිර්මාණ ශිල්පීන් පිරිසක් එක්ව සිටිති. Harry + Meghan: A Royal Romance ලෙස නම් කර ඇති චිත්‍රපටයේ රූගත කිරීම් මේ වනවිටත් ආරම්භ වී තිබේ.
හැරී කුමරුගේත් මේගන්ගේත් ආදරය පදනම් කරගත්ත ද මේ චිත්‍රපටය තුළ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සිදුවීම් රැසක් ඇතුළත් වීමට නියමිතය. විශේෂයෙන්ම හැරී සහ විලියම් කුමාරවරුන්ගේ මව වූ ඩයනා කුමරියගේ චරිතයට මෙම සිනමා පටයට එක්කර තිබේ. මේ චරිතවලට දායකවන නළු නිළියන් පිළිබඳව පසුගිය සති කිහිපය පුරාවටම හොලිවුඩය තුළ සුවිශේෂී කතාබහක් නිර්මාණය විය. ඒ ඒ චරිතවලට සරිලන සමාන රූපකායකින් යුත් නළු නිළියන් තෝරාගැනීමට ද නිෂ්පාදන කණ්ඩායම සමත් වී තිබේ.
මෙහිදී කැපී පෙනෙන්නේ කේම්බ්‍රිජ්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය ලෙස සැලකෙන විලියම් කුමරුගේත් කේට් කුමරියගේත් ඔවුන්ගේ දූ පුතුන් වන ජෝර්ජ් සහ චාලට් කුමරියගේත් චරිතය. මෙම චිත්‍රපටයේ බොහෝ සිදුවීම්වලට විලියම් කේට් චරිතවල දායකත්වය ඇති නිසාම ජෝර්ජ් සහ චාලට් චරිතවලට ද වැඩි තැනක් ලැබී ඇති බව සඳහන්වේ.
හැරී කුමරුගේ චරිතයට පණ පොවන්නේ මරේ ෆ්‍රේසර් නම් ස්කොට්ලන්ත ජාතික නළුවෙකු විසිනි. ඉතාමත් සීමිත චිත්‍රපට සංඛ්‍යාවකට පමණක් දායක වී ඇති ඔහු සිනමාවට නවකයෙකු ලෙස සැලකීම වැරදි නැත. මේගන් මාකල්ගේ චරිතය භාර වී ඇත්තේ ජැමෙයිකානු නිළියක වන පැරිසා හේන්ලිට ය.
වසර කිහිපයක් පුරා මේරූ හැරී මේගන් ආදර කතාවේ වැදගත් සිදුවීම් රැසක් මේ චිත්‍රපටයට පාදක වී ඇති බව වාර්තාවේ. එක්සත් ජනපදයේදී යහළුවන්ගේ මැදිහත්වීමෙන් දෙදෙනා මුණගැසුණු ආකාරය, දෙදෙනා අතර ආදරයක් ඇතිවුණු ආකාරය, අමෙරිකානු දික්කසාද කාන්තාවක වූ මේගන් සහ හැරී නම් රජකුමරු අතර සම්බන්ධතාවය ගොඩනැංවුණු ආකාරය, පැපරාසීන් නිසා මුහුණ දෙන්නට සිදුවුණු ගැහැට ආදී කරුණු බොහෝමයක් මේ සිනමා පටයට වස්තු බීජ සපයා ඇතැයි ද දැනගන්නට තිබේ.
මේ වනවිටත් කැනඩාවේ වැන්කුවර්හි රූගත කිරීම් සිදුකෙරෙන, හැරී මේගන් ආදර අන්දරය රැගත් මේ සිනමා පටය, රාජකීය විවාහ මංගලෝත්සවයට සමගාමීව ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.
► Text — Rajitha