2018 මාර්තු 03 වන සෙනසුරාදා

දර්ශිගේ බතික් බකිං‍හම් මාළිගයටත්

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 304

ශ්‍රී ලංකාව තුළ බතික් කර්මාන්තය දශක කිහිපයක් මුළුල්ලේම පවත්වාගෙන ගිය ව්‍යාපාරයක් වුවද, එයට නව ජීවයක් ලැබුණේ මීට වසර 10කට හෝ 12කට පෙර බව පිළිගත යුතු සත්‍යයකි. එතෙක් මෙම කර්මාන්තය යැපුනේ ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන්ගෙන් සැදුම්ලත් වෙළෙඳපොළ ඉලක්කකොට ගෙනය. බතික් කලාවේ නව මානයන් නව ඉසව්වන් සොයා යමින්, ජාත්‍යන්තර වශයෙන් එම විෂය හදාරමින්, තම කාර්ය භාරය දැඩි කැපවීමෙන් ඉටු කළ බුද්ධි බතික්ස් නිර්මාතෘ බුද්ධි කීර්තිසේන මහතාගේ දියණිය දර්ශි කීර්තිසේනට සුවිශේෂී ගෞරවය හිමිවිය යුතුය.

2005 වසරේදී පමණ බතික් කලාවට නව ජීවයක් ලබා දුන් දර්ශි, අපේ බතික් කලාව ජාත්‍යන්තරයට රැගෙන යමින් අප රටට විශාල කීර්තියක් ලබා දුන්නාය. ඒ හේතුව නිසාම දර්ශි කීර්තිසේන ශ්‍රී ලංකාවේ බතික් රුජින යන විරුදාවලියට ද හිමිකම් කීවාය.

විලාසිතා නිර්මාණකරණය පිළිබඳව ජාත්‍යන්තර උපාධියක් ද හිමි දර්ශි, පසුගියදා එංගලන්තයේ බකිංහම් මාලිගයේ ඇගේ බතික් නිර්මාණයන් ප්‍රදර්ශනය කරන්නට තරම් වාසනාවන්ත වූයේ බකිංහම් මාලිගයේ එවන් ප්‍රදර්ශනයක් පැවැත්වූ මුල්ම හා එකම ශ්‍රී ලාංකික විලාසිතා නිර්මාණ ශිල්පිනිය වීමේ භාග්‍යය ද උදා කර ගනිමිනි.

තම මව් රටට සුවිශාල අභිමානයක් ගෙන දුන් ඒ සුවිශේෂී මොහොත පිළිබඳව ඇගේ හඬ අවදි කරන්නට හදසර කළ ඇරයුමට දර්ශි පැවසුවේ එම අවස්ථාව ඇගේ පෞද්ගලික ජීවිතයට මෙන්ම වෘත්තීය ජීවිතයට ද අමරණීය අවස්ථාවක් වූ බවය.

ඔබ බතික් කලාවට යොමු වන්නේ ඔබේ මවුපියන්ගේ අඩි පාරේ යමින්. ඒත් ඔබ එයට නැවුම් මානයන් රැසක් එකතු කළා?
ඇත්තෙන්ම මේක මගේ මවුපියන්ගෙන් උරුම වූවක්. ඒත් ඒ කාලේ බතික් ඇඳුම්වල බොහෝ වෙලාවට දකින්න ලැබුණේ සම්ප්‍රදායික මුහුණුවරක්. ඒවා ඇත්තටම ඉලක්ක කරලා තිබුණේ විදෙස් සංචාරකයින්ට මිසක් අපට නෙවෙයි කියලා මට හිතෙනවා. තරැණ අවධියේ මාත් ඇන්දේ පිටරටින් ගෙන්වපු බතික් ඇඳුම්. කාලයක් යනකොට මට හිතුණා ඇයි මම අඳින්න කැමති වර්ගයේ බතික් ඇඳුම් අපට හදන්න බැරි කියලා. එංගලන්තයේ විලාසිතා නිර්මාණකරණ උපාධිය ලබාගෙන මම ලංකාවට ඇවිත් බ්‍රැන්ඩික්ස් ආයතනයේ අවුරුදු පහක් විතර සේවය කළා. ඒ දැනුම, අත්දැකීම් හා අධ්‍යනයන් සමඟ මම නව බතික් නිර්මාණ කරන්න පටන් ගත්තා. විවිධ රෙදි වර්ග උපයෝගී කරගෙන බතික් නිර්මාණ කළා. සාරි බතික් කලාවත් ආරම්භ කළා. ලංකාවට බතික් කර්මාන්තයට එයින් විශාල පිබිදීමක්, පුනර්ජීවයක් ලැබුණා කියලයි මට හිතෙන්නේ.

ඉන් පස්සේ ඔබ බතික් කලාව ඔබේ ජීවිතයේ කොටසක් කරගන්නවා?
ඔව්. 2006 දී අපි කොළඹ CRESCAT එකේ බුද්ධි බතික්ස් සාප්පුව විවෘත කරනවාත් සමඟ එය අති සාර්ථක වුණා. 2007 දී COLOMBO FASHION WEEK එකට මගේ බතික් නිර්මාණ ඉදිරිපත් කළා. හැම වසරකම මම මගේ නිර්මාණ CFE එකට ඉදිරිපත් කරනවා. ඒ වගේම මගේ නිර්මාණ විශ්ෂ්ට ඇගයීම්වලට ලක්වෙනවා. 

ඔබ ජාත්‍යන්තර ප්‍රදර්ශන රුසකුත් පවත්වා තිබෙනවා නේද?
ඔව්. අමෙරිකාවේ, ඉන්දියාවේ, චීනයේ, ඉතාලියේ ඇතුළු රටවල් කීපයක මගේ බතික් ප්‍රදර්ශන පවත්වලා තියෙනවා. ඒවාට ඉහළ ප්‍රතිචාරයන් ලැබුණා. මම දැනට MAS LINEA AQUA ආයතනයේ විලාසිතා උපදේශකවරියක ලෙසත් සේවය කරනවා.

බකිංහම් මාලිගයේ ඔබට හමු වූ සුවිශේෂී පුද්ගලයන් ගැන මතකය අවදි කළොත්?
රටවල් කීපයක නියෝජිතවරියන් මෙම සුවිශේෂී ප්‍රදර්ශනයට ECO AGE ආයතනය ආරාධනා කළා. ශ්‍රී ලංකාවෙන් ඇරයුම් ලැබුණේ මට. බකිංහම් මාලිගයේ එක් අයකුට ඉදිරිපත් කරන්නට තිබුණේ එක් නිර්මාණයක් විතරයි. එම ප්‍රදර්ශනය නැරඹීමට කේම්බ්‍රිජ් ආදිපාදවරිය, අමෙරිකාවේ සුප්‍රසිද්ධ VOGUE සඟරාවේ ප්‍රධාන කතෘවරිය ඇතුළු ගෝලීය විලාසිතා ලෝකයේ සුපිරි තරු පැමිණ සිටියා.

සිංහල සිනමා ලෝකයේ හුරුපුරුදු චරිතයක් වන කීර්තිසේන මහතාගේ දියණිය දර්ශි කිසි දිනෙක කීර්තිය පසුපස ගිය කෙනකු නොවන බව ඇය හොඳින් දන්නා හඳුනන අය සාක්ෂි දරනු ඇත. 

ඒත් ඇගේ පියා තරම් ඇය ගැන දන්නා වෙනත් කිසිවකු සිටිය හැකිද? සිටීනම් සැබැවින්ම ඇගේ මව විය යුතුය.
බුද්ධි බතික්ස් ආයතනය ආරම්භ කළ දර්ශිගේ පියා බුද්ධි කීර්තිසේන මහතාගෙන් අප විමසුවේ දර්ශිගේ කුඩා කාලය පිළිබඳවය.

ඒ කාලේ මම බුද්ධි බතික්ස් ආරම්භ කළේ මගේ බිරියත් එක්ක. අඩු වැඩි වශයෙන් අපට හොඳ ආදායමක් තිබුණා. දර්ශි කුඩා කාලයේ පටන්ම අපේ කර්මාන්ත ශාලාවේ බතික් වැඩ ගැන හරි උනන්දුවෙන් හිටියේ. මට මතකයි එයා චූටි කාලේ පොඩි රෙදි කෑලි අරන් එයාම බතික් මෝස්තර දාලා එයාගේ බෝනික්කන්ට අන්දනවා. අපේ බල්ලන්ට අන්දනවා. ඒ ආභාෂය තුළිනුයි ඇය අද මේ තරම්  දුර ගමනක් ඇවිත් සම්මානනීය තත්ත්වයට පත්වෙලා ඉන්නේ. අද ඇගේ බතික් සාරි ඉන්දියාවටත් යවනවා. 

අසූව දශකයේ මුල් කාලයේ සිදු වූ ජූලි කලබල නිසා අපේ රටේ බතික් කර්මාන්තයට විශාල පහරක් වැදුණා. මොකද අපි ඒ කාලේ වැඩියෙන්ම බතික් ඇඳුම් විකුණුවේ විදෙස් සංචාරකයන්ට. සංචාරක ව්‍යාපාරය කඩා වැටීමත් සමඟ බතික් කර්මාන්තයේ නියැළී සිටි පුරෝගාමීන් පවා මේ ව්‍යාපාරය අතහැර දැම්මා. මම පුළුවන් මට්ටමකින් කරගෙන ගියා. ඒත් දර්ශිගේ දායකත්වය නිසයි බතික් කර්මාන්තයට නව පිබිදීමක් ඇති වුණේ. අතහැර දමා තිබූ සමහර බතික් ව්‍යාපාර පවා යළි හිස ඔසවමින් මේ ක්ෂෙත්‍රයේ යළි වර්ණවත් කරන්න පටන් ගත්තා. මගේ දුව දර්ශි ගැන ඇත්තෙන්ම මම ආඩම්බර වෙනවා වගේම සිනමා ලොවේ වැජඹෙන මගේ පුත් බූඩි ගැනත් මම ආඩම්බර වෙනවා. බුද්ධි කීර්තිසේන කීය. 

► Text — Ramesh Uvais