මොනවද මේ දවස්වල කරන අලුත් නිර්මාණ?
මේ දවස්වල විකාශනය වන තව දුරයි ජීවිතේ නාට්‍යයෙත් රන් හිරු රැස් නාට්‍යයෙත් රඟපානවා. ඉතින් ඒ නාට්‍ය දෙකේ රූගත කිරීම්වලට මේ දවස්වල සහභාගී වුණා.
කියමුකෝ බලන්න ඔබේ ළමා කාලය ගෙවුණේ කොහොමද කියලා?
මගේ පුංචි කාලේ ගෙවුණේ රාජගිරියේ. මගේ අම්මයි තාත්තායි දෙන්නම කලාවට බොහෝම ළැදි දෙන්නෙක්. පොඩි කාලේ ඉඳන් සංගීතයට නැටුමට හුරුවක් තිබුණා. අපේ තාත්තා පුළුවන් හැමවෙලේම ඉංග්‍රීසි චිත්‍රපට බලන්න එක්කගෙන ගියා. ඒ ආභාෂයත් මට ලැබුණා. මම කතෝලික. ඉතින්... කතෝලික පසුබිමක හැදුණු වැඩුණු නිසා පල්ලියේ ආභාෂය ලැබුණා. පුංචි කාලේ ඉඳන් මම කලාවට ආස කළා. මගේ පවුලේ හය දෙනෙක් ඉන්නවා. මම තමයි මද්දුමයා. මට අයියා, අක්කා, මල්ලිලා දෙන්නයි, නංගියි ඉන්නවා. ඒ නිසා මම ඇත්තටම ජීවිතේ කවමදාකවත් තනි වුණේ නැහැ. ජීවිතේ තනි වුණු අවස්ථා තිබ්බට මගේ සහෝදර සහෝදරියන් හිටපු නිසා ඒ තනිකම මට දැනුණේ නැහැ.
පුංචි කාලේ කොයි වගේ චරිතයක්ද?
පුංචි කාලේ මම හරිම දඟයි. හරියට දඟ කොල්ලෙක් වගෙයි. මම උඩ නගිනවා. සයිකල් පදිනවා. ටීක් බෝල ගහනවා. එහෙම ටීක් බෝල ගහලා පොඩි ළමයින්ව පරද්දනවා. මම ළඟ ටොයියෝ හිටියා. කව්වෝ හිටියා. මට තාම මතකයි මම ළඟ තිබුණු ලොකු බිස්කට් ඇලුමිනියම් පෙට්ටියක් පිරෙන්න ටීක් බෝල තිබුණා. ඉස්සර මල්ලිලා දෙන්නත් එක්ක ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් අම්මගෙන් බැණුම් අහ අහා ටීක් බෝල ගහන්න යට ගවුම පිටින් එළියට බහින්නේ. ඒ යන්නෙත් අර ටීක් බෝල පෙට්ටිය උස්සගෙනමයි. මම ඒ පෙට්ටියේ ඉන්න මගේ කව්වෝ ටික අරගෙන ගිහින් ගහලා අලුත් ටොයියෝ ටික එකතු කරගන්නවා. මල්ලිගේ යාළුවෝ අනේ උඹලගේ අක්කාට එන්න එපා කියපල්ලකෝ. අපිට බැහැනේ පරාද වෙන්න. කියලා අනන්තවත් කියනවා. හැබැයි ගෙදර නවතින්නේ නැහැ. සමහර දාට අපි ටීක් බෝල සතයට දෙකට සහ දහයට සල්ලි ඔට්ටුවටත් ගහනවා. ඒ හැම වෙලේම දිනන්නේ මම.
ඔහොම සෙල්ලම් කරද්දී අම්මගෙන් බැණුම් අහලා තරවටු කරලා එහෙම නැද්ද?
අම්මෝ අනන්තවත් තියෙනවා. ඒ කාලේ අම්මගෙන් බැණුම් අහපු නැති දවසක් නැති තරම්. ඒ කාලේ මම කියන දේ අහන්නේ නැහැ. ටිකක් මුරණ්ඩුයි. ඉස්සර සල්ලිවලට ටීක් ගහලා දිනලා ඒ සල්ලි මම අයින් කරගන්නවා. ඉතින් දවසක් අම්මට හොඳටම තරහා ගියා. අම්මලා පොඩි කාලේ පාවිච්චි කරපු පසු කාලයේදී පාළුවට ගියපු ළිඳක් අපේ ගේ පිටිපස්සේ තිබුණා. අම්මා කේන්ති ගිය දවසක මගේ ටීක් බෝල පෙට්ටියම අර පාළු ළිඳට ගිහින් අතහැරියා. විශ්වාස කරන්න. මම දවස් එකහමාරක් ඇඬුවා. නොකා නොබී හිටියා. බඩගින්න ඉවසන්න බෑ. ඒත් කේන්තියටම කෑවේ නෑ. කොහොමහරි තාත්තා මාව හුරතල් කරලා කරලා මගේ කේන්තිය අයින් කරලා කන්න දුන්නා.
ඒ මුරණ්ඩු චරිතයමද ඉස්කෝලෙදිත් තිබුණේ?
මම ඉගෙන ගත්තේ කැම්බල් පාක් එකේ තිබුණු ශාන්ත පාවුළු බාලිකාවේ. අද ඒක හඳුන්වන්නේ වෙනත් නමකිනුයි. ඉස්සර මගේ කොණ්ඩේ කොටම කොටයි. මට වලස් තොප්පියා* කිව්වහම කේන්ති යනවා. ඉතින් එලවගෙන ගිහින් ගහනවා. මම මොනතරම් දඟ, මුරණ්ඩු වුණත් ඉගෙනීමට දක්ෂයි. ඒ නිසා පාසැලේ මිස්ලා මට ආදරෙයි. මට මතකයි ඒ කාලේ අපේ තවත් ආසම සෙල්ලමක් තමයි බට්ටා පනින එක. දවසක් බට්ටා පනිද්දී මම පරාද වෙලා රණ්ඩු වුණා. ඒ වෙලාවේ මම පන්තියේ ළමයෙක්ගේ පුටුව උඩ නැගලා උඩත් පැන්නා. ගුටි කෑවේ නෑ. හැබැයි හිටවලා තිබ්බා. ඒ දවස්වල පන්තිවල සින්දු කියනවා. මිස් කෙනෙක් පන්තියේ නැති වෙන්න බැහැ ඩෙස්ක්වලට ගගහා සින්දු කියනවා. ඉතින් ඔහොම සින්දු පටන් ගත්තු ගමන් එහා පන්තියේ ටීචර් ඇවිත් *පන්තියෙන් මුලින්ම සින්දු කියන්න පටන් ගත්තේ කවුද* කියලා ඇහුවා. හැබැයි කවුරුවත් මාව පාවලා දුන්නේ නැහැ. ඒ සමහරවිට මම පාවලා දුන්නා කියලා දැනගත්ත ගමන් ගහයි කියලා හිතලද දන්නෙත් නැහැ. කොහොමහරි කවුරැවත් මාව පාවලා දුන්නේ නෑ. හැබැයි ටීචර් දැනගත්තා සින්දු කියන්න පටන් ගත්තේ මම කියලා. එදා මුළු දවසම මාව හිටවලා තිබ්බා.
පුංචි කාලේ හීනය වෙලා තිබ්බේ රංගන ශිල්පිනියක් වෙන්නද?
නෑ. මගේ කැමැත්ත වැඩිපුරම කිව්වේ එක්කෝ ඩොක්ටර් කෙනෙක් වෙන්න. එහෙම නැත්නම් ටීචර් කෙනෙක් වෙන්නයි. හැබැයි මම පොඩි කාලේ පවුලේ ඉදිරිපත්වීම අතින් අංක එක. නත්තලට අපේ ගෙදරට නෑදෑයෝ ආවම මම තමයි නටන්නේ. මගේ ආසම සින්දුව තමයි සුදු සඳ එළියේ කියන ගීතය. අපේ පරණ ගෙදර දොරට කර්ටන් එකක් දාලයි තිබුණේ. අපේ අයියා ඒ කර්ටන් එක අරිද්දී මම හරි ලස්සනට අත් දෙක එකතු කරගෙන වැඳගෙන ආචාර කළා. සින්දුව කිය කියා නටනවා. අයියා කිරි ටින් ළංකරගෙන ඩොල්කි ගහනවා. අක්කා හැඳි දෙකකින් තාලේ දානවා. ඒ ඉස්සර රේඩියෝ එකේ වැඩිපුරම යන්නේ හින්දි සින්දුයි. ඉතින් මම ඒ සින්දුවලට තනියම රඟපෑවා.
එතකොට ඔබ කොහොමද වේදිකාවට සම්බන්ධ වුණේ?
හෙන්රි ජයසේනයන්ගේ කුවේණි නාට්‍යයේ දඩයක්කාරයා වුණ ශිල්පියා අපේ අම්මා ටිකක් හඳුනනවා. ඔහු මාර්ගයෙන් මම තීලිජස්ගේ නාට්‍යයකට සම්බන්ධ වුණා. නිළියෙක් ආපු නැති වුණාම මම ඒ චරිතය රඟපෑවා. ඒ කාලේ හෙන්රි ජයසේන වේදිකා නාට්‍යකටම නළු නිළියක් හොයන්න පටන් ගත්තා. ඊට පස්සේ මම පළවෙනි නාට්‍යය හැටියට ජනරංජන මනරංජන කියන නාට්‍යයෙන් වේදිකා ගත වුණා. ඊට පස්සේ නාට්‍ය කිහිපයකටම අවස්ථාව ලැබුණා. ගුවන් විදුලියේ රුකියාව ලැබුණා. අහස් මාලිගා නාට්‍යය වෙනුවෙන් මට සම්මානයක් පවා ලැබුණා. ඒ පටන් ගත්තු පටන් ගැන්ම තමයි මේ.
ඔබ ප්‍රවීණ හඬකැවීම් ශිල්පිනියක්?
ගුවන් විදුලියේ ශිල්පිනියක් හැටියට ඉඳිද්දී විත්‍රපටවලටත් හඬ කැවීම් කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ පුරුද්දත් එක්ක අසූ ගණන්වල රූපවාහිනිය ඒමත් සමඟ ටයි මහත්තයාව බොහෝම ළඟින් හඳුනාගන්න ලැබුණා. ඒ හැඳුනුම්කම් මත හැම නිර්මාණයකටම වගේ මට කතා කළා. ඒ අතරින් ඔෂීන්ගේ හඬ කැවීම් කරන්න ලැබීමත් මගේ භාග්‍යයක්. ඒ වගේම සුසුරන්, හයිඩි, මල්ගුඩි දවස වගේ නිර්මාණවලට දායක වෙන්න ලැබුණා.
රූපවාහිනියේ මුලින්ම මට සම්බන්ධ වෙන්න ලැබුණේ කළුවරේ ජරමරේ කියන නාට්‍යයෙයි. ඒක පළමු වතාවට පරාක්‍රම නිරිඇල්ල රූපවාහිනියට කොටස් හතරකට රූපවාහිනී මාධ්‍යයකට විදිහට කෙරුවා. ඊට පස්සේ රන් කහවනු, වැටත් නියරත් වගේ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා.
ජීවිතේ බොහෝ අමතක නොවන මතකයන් එක්ක ජීවිතේ ගෙවද්දී දයා තෙන්නකෝන් කියන ප්‍රවීණ රංගන ශිල්පියාත් ඔබේ ජීවිතයට සමීප වෙනවා?
මුලදී මම විවාහ වෙලා හිටියේ ආරියවිමල් සමඟයි. ඔහුව මට මුලින්ම හමු වුණෙත් නාට්‍යවලදීයි. ජීවිතේ හිතපු නැති මොහොතක ආරියවිමල් මියගියා. කවදාවත් එහෙම වෙයි කියලා හිතුවේ නෑ. ඒත් වුණා. ඒකයි ජීවිතේ කියන්නේ. ආරියවිමල් නැති වෙලා අවුරුදු ගණනාවක්ම මම තනියම ජීවත් වුණා. කාලයක් ගෙවෙද්දී දයා තෙන්නකෝන් මගේ ජීවිතේට සමීප වුණා. මේ මාසයට මායි දයායි විවාහ වෙලා අවුරුදු විසි පහක් වෙනවා. කාලයක් අපි හැම දුකක්ම බෙදා ගත්තු හොඳ යාළුවෝ වුණා. ජීවිතේ කියන දේ වෙනස් වෙන්නේ අපි නොහිතන මොහොතකයි.
ඔබ ලැබුණු හැම නිර්මාණයක්ම බාර ගත්තේ නැහැ නේද?
නෑ.... ඇත්තටම නැහැ. තට්ටු ගෙවල් කරද්දී ටිකක් කාර්යබහුල වුණා. හැබැයි කතා කරන හැම දේටම මම ගිහින් නෑ. යන්නෙත් නෑ. ඇත්තටම මම වැඩියෙන්ම කැමති ගෙදරට වෙලා ඉන්නයි. මේ පැලයක් අතගගා ඒවාට සාත්තු කරගනෙ, ගෙදර වැඩක් කරගෙන අපිට ආස දෙයක් හදාගෙන කාගෙන ඉන්න එක තමයි වැඩියෙන්ම සතුට. අපි දෙන්නා හරිම සරල ජීවිතයක් ගත කරනවා.
මොනවද තියෙන බලාපොරොත්තු?
ලොකු බලාපොරොත්තු නැහැ. ඒත් මම තිර රචනා කරපු චිත්‍රපටයක් අපි රූගත කිරීම් කරලා අවසන් කළා. ඒකේ මමත්, ජගත් චමිල ඇතුළු තවත් රංගන ශිල්පීන්, ශිල්පිනියන් රඟපෑවා. තාම ඒකේ වැඩ ඉවර නැහැ. ඉතින් ලොකුම බලාපොරොත්තුව තමයි ඒ චිත්‍රපටය. බලමු.... ඊට අමතරව එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. දයා එක්ක ගෙවන මේ ජීවිතේ හරි සැහැල්ලුයි.
► Text - Dishani / Pic – Sumudu