2018 මාර්තු 03 වන සෙනසුරාදා

මම චූන් වුණේ කෙසෙල් බඩෙන්

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 450

ඉසුරු මේ දවස්වල වැඩ වැඩියි වගේ නේද...?
ඔව්... ටිකක් විතර වැඩ වැඩියි. මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයක වැඩ කරගෙන යනවා ඒ අතරින් කොන් කළ දෝණි, පිනි, පැහැසරා කියන නාට්‍ය තුනේ මේ දවස්වල රඟපානවා. 

රංගන ශිල්පියෙක් වගේම ඉසුරු හඬකැවීම් ශිල්පියෙක් විදිහටත් කටයුතු කරනවා නේද...?
ඔව්.. හඬකැවීම් ශිල්පියෙක් විදිහටත් වැඩ කරනවා. හැබැයි මේ දවස්වල නාට්‍යවල වැඩ නිසා ඒවා මඟහැරුණා. 

පුංචි කාලේ ආසාවෙන් හිටියේ නළුවෙක් වෙන්නද...?
මෙහෙමයි. හීනයක් කියන දේ ඇතිවෙන්න තරම් මම පුංචි කාලේ නළුවෙක් කියන කෙනෙක් දැකලා තිබුණේ නෑ. මගේ ගම මාතර වැලිගම ඇතුළට වෙන්නයි තියෙන්නෙ. ඉතින් අපේ ගම්වල ඒ කාලේ විදුලිය තිබුණේ නෑ. ඒ නිසා මම පුංචි කාලේ නළුවෙක් ටී.වී එකේ දැකලා තිබුණේ නෑ. හැබැයි මම ඉදිරිපත් කිරීම කියන එක පුංචි කාලේ ඉඳන් පුරුදු වුණා. මගේ ආච්චි පුංචි කාලේ ඉඳන් මට කතාන්දර කියලා දෙනවා. මට මතක හැටියට ආච්චි දාහක් වගේ ගාණක් කතාන්දර කියලා දීලා ඇති. ඒ නිසා මම ඒ කතාන්දරවලට ආස කළා. අපේ ගමේ පොඩි දේටත් ඇදුරුකම් කරනවා. තොවිල්, දහඅට සන්නිය, ගම්මඩු නිතරම අපේ ගමේ තිබුණා. ඒවා අදටත් තියෙනවා. ඉතින් ඒ දේවල් දැකලා මම ගෙදර ඇවිත් ඒවා කරනවා. කෙසෙල් බඩවලින් මූණවල් හදාගෙන අපි නටනවා. ඒ චූන් එක තමයි මාව නළුවෙක් වෙන්න බලපාන්න ඇත්තේ. එහෙම නැතිව නළුවෙක් වෙන්න කියලා නාට්‍ය එහෙමත් ලොකුවට බලලා තිබුණේ නෑ. මගේ තාත්තා මුලින් යුද හමුදාවේ සේවය කරලා තියෙනවා. පස්සෙ තාත්තා කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා. අම්මා හොඳ ගෘහණියක්.

කලාවට එන්න හීන නොදැකපු ඉසුරු කලාවට එකතු වුණේ කොහොමද...?
මම ඉගෙන ගත්තෙ මාතර රාහුල විද්‍යාලයේ. ඉස්කෝලෙ ගියාම මම ඔය ඉදිරිපත් කිරීම් කළා. මම රංගනය පාසල් සංගීත ගුරුවරිය වුණ විශාකා මිස්ගෙන් ඉගෙන ගත්තා. විශාකා මිස් මාව පාසලේ එක එක නාට්‍යවලට සම්බන්ධ කරගත්තා. පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ මම යුද හමුදාවට සම්බන්ධ වුණා. දෙවැනි ලුතිතන්වරයෙක් විදිහට සේවය කරද්දී මම 2008 වසරේ දී යුද හමුදාවෙන් ඉවත් වුණා. හමුදා ඇකඩමියෙත් මම රංගනය කළා.

හිටපු කෙල්ලො නැතිවුණ එක හොඳයි. නැත්තම් මේ ගේම ගහන්න වෙන්නෙ නෑ

හමුදා ඇකඩමියේ හිටපු ඉසුරු පුංචි තිරයට එකතු වුණේ කොහොමද...?
හමුදාවෙන් ඉවත් වෙලා මම එක්තරා ප්‍රසිද්ධ දේශපාලනඥයෙක්ගේ සම්බන්ධීකරණ ලේකම් විදිහට වැඩ කළා. ඔය කාලයේ දී එක්තරා සාදයක දී ඇතිවුණ කතාබහක ප්‍රතිඵලයක් විදිහට තමයි චරිත් අයියගේ දෙන්නට දෙන්නා කියන නාට්‍යයට මම සම්බන්ධ වුණේ. ඒ නාට්‍යයේ ඇත්තටම මට රඟපාන්න චරිතයක් තිබුණෙත් නැති තරම්. හැබැයි ඒ නාට්‍යයට සම්බන්ධවීමත් සමඟ මගේ ගමන ඇරඹුණා.

ඔය ගමනේ දී ඉසුරු බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙන්නත් ඇති...?
අම්මෝ ඔව්... නොසෑහෙන කට්ටක් කෑවා. නිර්මාණ හතළිහක පනහක විතර නිකම් හිටගෙන විතරක් ඉන්න තිබුණ අවස්ථා ඕන තරම්. උදේට එනවා. හවසට ආයේ යනවා. ඒ කාලේ අද තරම් වැඩිය කවුරුත් උදව් කරන්නෙ නෑ. හැබැයි ඒ කාලේ ඒ කාපු කට්ට මරු. මෙහෙමනේ... මම ආපු ගමන් මට ප්‍රධාන චරිතයක් දුන්නනම් මම ඒ කිසිදෙයක් දන්නෙ නැහැනෙ. හැබැයි දැන් මම මේ එන පඩිපෙළ හොඳට දන්නවා. මම මේ තැනට ආවේ පඩියෙන් පඩිය නැඟලා. එකපාරටම පඩි හතර පහ පහුකරගෙන ආවේ නෑ කවදාවත්. ගෙඩි තියෙන ලොකු ගහක් වලක හිටෙව්වට වැඩක් නෑ. ගහ මැලවිලා යනවා ඒකෙ මුල් තියෙන්නෙ වෙන තැනක නිසා. හැබැයි ඇටයක් පැළ කළොත් ඒක හෙමිහිට පැළවෙනවා. මම මේ ගමන ආවේ හෙමිහිට. අදටත් මම ඒ කටු කාපු අතීතයට හරි ආදරෙයි.

ඉසුරු තාමත් තනිකඩයා...?
ඔව්... මගේ ජීවිතේ ප්‍රේමවන්තියෝ නම් ඉඳලා තියෙනවා. මම මුලින්ම ප්‍රේම කුරුල්ලෙක් වුණේ පාසල් යන කාලෙදීයි. සාමාන්‍ය පෙළ ලියන්න ඔන්න මෙන්න කියලා මම ගෑනු ළමයෙක්ට ආදරේ කළා. අද හිතෙනවා ඒ සම්බන්ධය නැතිවුණු එක හොඳයි කියලා. ඒ සම්බන්ධය තිබුණානම් මම ජීවිතේ මේ ගේම ගහන්නෙ නැහැනෙ. ඒ කාලේ ඒ දේවල් නැතිවුණ එක ජීවිතයට පට්ට අවුල් වුණාට කාලයක් ගිහින් ඒ නැතිවුණ ඒවා දිහා ආපහු හැරිලා බලද්දී හොඳයි කියලා හිතුණා. මම දැනුත් හිතන්නෙ එහෙමයි. දැන් නැතිවෙන දේවල් නැතිවුණ එකට අවුල් වුණාට ඇත්තටම ඒක හොඳයි. මම නළුවෙක් වෙන්න මේ කාපු කුණුවල හැටියට ඒ කාලේ ඒ ගෑනු ළමයත් පව්. දැන් සමහර වෙලාවට හිතෙනවා ගෑනු ළමයෙක් ජීවිතේට දැන් හිටියොත් හොඳයි කියලා. බලමු ඉතින් නේද...?

මොනවද තියෙන අලුත් බලාපොරොත්තු...?
මගේ ජීවිතේ එහෙම ලොකු බලාපොරොත්තු නෑ. අපිට මොනවා වෙයිද කියලා දන්නෙ නෑ. මම නළුවෙක් වෙනවා කියලා හිතන් හිටපු මිනිහෙක් නෙමෙයිනෙ. ඉතින් අද මගේ ජීවිතේ ගලාගෙන යනවා. ලැබෙන හැමදේම සතුටින් බාරගන්නවා. හැබැයි දැන් මගේ ජීවිතේ ආත්ම තෘප්තිය රංගනයයි. මගේ ෆිල්ම් හතක් ඉදිරියට එන්න තියෙනවා. චිත්‍රපට තුනකට තව ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් බලමු නේද...? හැමදේම හරිම සතුටින් කරගෙන යනවා. 

► Text -Dishani /  Pic -  Sumudu