2018 මාර්තු 10 වන සෙනසුරාදා

දැහැන

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 387

හැම හැන්දෑවකම බොරැල්ල කනත්ත ළඟ වාහන පෝලිමේ රැඳෙද්දී මගේ ඇස් දෙක ගිහින් නවතින්නේ බොරැල්ල කනත්තේ. ඇස් දෙකට හසුවන අවසාන සීමාව දක්වාම මගේ නෙත් ගැටෙන්නේ සොහොන් කොත්. භය සුන්දරත්වය වගේම ශෝකය කියන්නෙත් රසයක්. හරිම වින්දනීය භාව පූර්ණ රසයක්. සොහොන් බිමකත් විඳින්න පුළුවන් රසයක් ගැබ්වී තියෙනවා. ඒක හරිම සංවේදනාත්මක හැඟුම්බර රසයක්. අපි කවුරුත් කවදා නමුත් අවසානයේ මේ මහ පොළවට සින්න වෙන භෞතිකයක්. ඒත් මේ ලෝකයේ මරණය කියලා දෙයක් නෑ. මරණය කියලා දෙයක් දකින්නේ සම්මුති මරණය තුළ මරණය දකින අය විතරයි. ජීවත්වීම කියන්නේ අනන්ත සංසාරේ භව යාත්‍රාවක්. කවුරුත් දන්නේ නෑ ආව දවසවත් යන දවසවත් කියන්න. මේ මුළු සංසාරයම යාම් ඊම් මහා එකතුවක සුවිසැරියක් විතරයි.

බොරැල්ල කනත්තේ සොහොන් කොත් දිහා බලාගෙන ඉද්දී මගේ හිතට එක එක විදිහේ හිතුවිලි ඇවිත් යනවා. ජීවිතේ එක එක විදිහට විඳපු දැකපු මිනිස්සු ඒ සොහොන් කොත් ගැඹුරේ අද එකම නින්දේ. ජීවිතය තුළ අසමානයෝ මරණය තුළ සමානයන් බවට පත්වෙලා. ජීවත් වෙච්ච සමාජ තත්ත්වය පෙන්වන එකම සාධකය සොහොන් කොතේ ස්වභාවය විතරයි. අපි එන දවසේ යන දිනයත් ලියාගෙන එනවා. ඒත් මරණය කියලා දෙයක් නෑ. ජීවිතය කියන්නේ එක නවාතැන්පොළක් විතරයි. අපි ඒ නවාතැන අත්හැරලා තවත් නවාතැනකට යනවා. අපි අත්හරින්නේ සිරුර විතරයි. අපි කවුරුත් සංසාරය අත්හරින්නේ නෑ. සිරැරින් නිදහස් වන ශක්තිය ඒ සංසාරය රැහැන් පටකින් වෙලා ගන්නවා වාගේ ශක්තිමත්ව වෙලා ගන්නවා. සම්මුති මරණය තුළ මියයන බොහෝ දෙනා සැබෑවටම මිය නොයන්නේ ඒ යථාර්ථය තුළ.

එක දවසක් රෑ 12ට අපි ගියා බොරැල්ලේ කනත්තට. එදා රෑ එළිය වැටෙනකම් අපි හිටියේ  ඒ සොහොන් බිමේ. කළුවර, පාළුව, නිහඬත්වය සමඟ මළවුන්. සොහොන් කොත්. මේ සියල්ල අතරේ කුඩු ගණිකා ඇතුළු ජාවාරම් ගොඩක්. කොළඹ තිත්ත කළුවර සොහොන් බිම මඟහැරලා නෑ. ඒ සොහොන් බිමේ තියෙනවා කවුරුත් නොනිදන සොහොන් ගෙයක්. එක්තරා සල්ලිකාරයෙක් තමන් ජීවත්ව ඉන්න කාලෙම ඒ සොහොන් ගේ හදලා ජීවත්ව ඉන්න කාලෙ සැරින් සැරේ එතෙන්ට ඇවිත් නැවතිලා ඉඳලා ගිහින්. ඒත් පසුකලෙක ධනය පිරිහී ගොස් ඔහු මියගිහින් තියෙන්නේ මහමඟ. සදාකාලික නින්ද උදෙසා ඔහු ඉදිකළ සොහොන් ගෙයට මරණයෙන් ඉනික්බිති ඔහු රැගෙන එන්න කෙනෙක් ඉඳලා නෑ. ඒ සොහොන් ගෙය අදටත් ඔහු එන තෙක් මඟ බලන් ඇති. ඒ සොහොන් ගෙයි උපත තිබුණට විපත හිස්. ජීවිතය මොනතරම් නම් සරදමක්ද කියලා වෙලාවකට හිතෙනවා.

මේ පාරේම වහනය එලවාගෙන ගිය අයත් මේ සොහොන්බිමේ නිදාගෙන ඉන්නවා ඇති කියලා වාහනයේ කවුළුවෙන් එහාට ඇස් යොමද්දී මට හිතෙනවා. කොච්චර ආදරෙන් කොච්චර බැඳීමෙන් ළඟ හිටියත් හැමෝටම එන්න පුළුවන් ගිහින් ඇරලවන්න විතරයි. ඒ සමුගැනීමේ වේදනාව ඔයා හිතන්නේ දැනෙන්නේ ජීවත් වෙලා ඉන්න අයට විතරක් කියලද? නැහැ. සම්මුති මරණය තුළ විතරයි අපි මැරෙන්නේ. ඉන් එහාට මරණය කියලා දෙයක් නෑ. මට හිතෙන්නේ සමුගැනීමේ වේදනාව ජීවත්ව ඉන්න කෙනාට වැඩියෙන් දැනෙන්නේ මැරුණු කෙනාට. 

I Saara

Pic - Sumudu