2018 මාර්තු 10 වන සෙනසුරාදා

පවුලයි දරුවයි බලාගන්නෙ කවුද?

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 108

ළඟදි බණ්ඩාරගම පැත්තෙ ටෙලිනාට්‍යයක් රූපගත කරමින් තිබුණ කාලෙක ඒ පැත්තට ආවලු අහිගුණ්ඨික සාස්තර කියන කාන්තාවෝ දෙන්නෙක්.

දවල් කෑමෙන් පස්සෙ පොඩි විවේකයකුත් තිබුණ නිසා ඒකෙ රඟපාන ප්‍රධාන නළුවෙක් මේ සාස්තරකාරියට කතා කරලා තියෙනවා. ඔහුගෙ අත බලපු ගමන් අර ගෑනිගෙ මූණට හිනාවක් ආවලු.

මහත්තයට නම් තියෙන්නෙ හරිම වාසනාවන්ත අතක්. වැඩිකල් යන්න ඉස්සර මහත්තයට ලස්සන, සල්ලිකාර තරුණ නෝනා කෙනෙක් බඳින්න ලැබෙනවා. ඒක කාටත් වළක්වන්න බෑ. කියලා කියපු ගමන් ළඟ හිටපු තවත් නළුවෙකුට මළ පැන්නලු.

යකෝ එහෙනම් මුගේ ගෑනිටයි ළමයි දෙන්නට වෙන්නෙ මොකද්ද කියලා මේ අතම බලලා කියපන්. කියලා කිව්වලු.

 

මෙහෙමත් සංරක්ෂණයක්

චිත්‍රපටයක් කියන්නෙ මිනිස්සුන්ට විනෝදාස්වාදය බෙදාදෙන මාධ්‍යයක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ.
ඒ සඳහා චිත්‍රපට ගීත කොතරම් විශාල දායකාත්වයක් ලබාදී තිබෙනවාද? ඒත් සිනමාවට ආදරේ බව සමාජයට පෙන්වන ඇතැම් හිත් පිත් නැති ඊනියා චිත්‍රපට සංරක්ෂකයින් විසින් චිත්‍රපට ගීත විනාශ කරන ප්‍රවණතාවයක් කාලයක පටන් ඇති වී තිබෙනවා.
පැරැණි චිත්‍රපටවල රූපවාහිනී විකාශය සඳහා අයිතිය ලබාගන්නා මෙවැනි කූට ව්‍යාපාරිකයෙක් ගැන අපේ සිනමාවේ සිටින කාගේත් අවධානය යොමුවෙලා තියෙනවා.

ඔහු අයිතිය ලබාගත් පැරැණි චිත්‍රපට රූපවාහිනී නාලිකාවල විකාශය වෙද්දී ජනප්‍රිය ගීත තියෙන්නෙ හරියට ඒකෙ භාගයයි. ඉතුරු භාගෙ කපා අයින් කරලා. සමහර ලස්සන, ජනප්‍රිය සින්දු චිත්‍රපටයෙන් සම්පූර්ණයෙන් අයින් කරලා. මෙවැනි නීච ක්‍රියාවන් ගැන හොයලා බලන්න මේ රටේ නීතිය මදි බවයි බොහෝ අය කියන්නෙ. ඔහුගෙන් මේ බව විමසූ විට ඔහු පවසන්නෙ මුලු ගීතයම චිත්‍රපටයේ අඩංගු වුණොත් කට්ටිය ඒවා රෙකොඩ් කරගනියිලු.
මේවා ඉතින් ඔහු මේ ලෝකයේ යනකොට අරන් යන නිසා පරෙස්සම් කරලා තියාගන්න එක හොඳයි කියලයි කට්ටිය කියන්නෙ.

 

වහන්නද? අරින්නද?

ඔන්න සති 3ක කාලයක් එක දිගටම නුවරඑළියෙ ෂූටිං ඉවර වෙලා 10 දෙනෙක් විතර කොළඹ එන්න වෑන් එකකින් පිටත් වුණාලු ටිකක් රෑ වෙලා.

කිලෝමීටර් 5ක් වත් එන්න ලැබුණෙ නෑලු ඒකෙ හිටිය ශිල්පිනියන් දෙන්නෙකුගෙ බරබරේලු. එක්කෙනෙක් කියනවා වෑන් කේ ජනේලෙ වහන්න කියලා. අනිත් කෙනා කියනවා අරින්න කියලා. දැන් රියදුරු මහත්තයටත් මේක ලොකු ප්‍රශ්නයක්ලු.
මේකෙ යන අනිත් අයට කිසිම ප්‍රශ්නයක් නැහැනෙ. මොකද ඔය දෙන්නගෙ විතරක් මේ කන්දොස්කිරියාව. හරි මම ඒකට හොඳ විසඳුමක් දෙන්නම්. දේනනම කැමති වෙන්න ඕනෙ. නැත්නම් මම මෙතනින් අඩියක් වාහනේ හොලවන්නෙ නැහැ, රියදුරු තැන කිව්වලු.

කිලෝමීටර් 20ක් ජනේලෙ ඇරගෙන යනවා. ඊළඟ කිලෝමීටර් 20 ජනේලෙ වහගෙන යනවා. කැමති නම් යමු, නැත්තම් මම ආපහු ලොජ් එකට ගිහින් බස්සනවා.
ඒත් එක්කම කොළඹට එනකම් දෙන්නටම හොඳටෝම නින්ද ගියාලු.

 

පිස්සුද මැණික ඒකට ගෙවනවනේ

ඔහු ජනප්‍රිය විවාහක නළුවෙක්. ඔහුගේ තරුණ පෙනුම නිසා ඔහුට ලැබෙන්නෙම පෙම්වතාගෙ චරිතමලු. ඔන්න කාලෙකට පස්සෙ ඔහු ගෙදර ඉන්න දවසක නෝනත් එක්ක ටී වී බල බලා හිටියලු. මෙයා රඟපාන ටෙලිනාට්‍යයකුත් ඒ අතරතුර ගියාලු.
එකපාරටම නෝනා ඔහුගෙන් මාර ප්‍රශ්නයක් ඇහුවලු.

අනේ ඇයි ඔයාට බැරි අර ටෙලියෙ වගේ මට ආදරේ කරන්න?
පිස්සුද මැණික? ඔයා දන්නවද මට ඒකට කොච්චර ගෙවනවද කියලා? ඔහු උත්තර දුන්නලු.

 

► Text - Mithra