2018 මාර්තු 10 වන සෙනසුරාදා

අපි දුවන්නේ වේදිකාවේ ප‍ෙට්‍රල්වලින්

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 73

ශ්‍යාම් මේ දවස්වල ටිකක් කර්යබහුලයි වගේ?
ඔව්.. මේ දවස්වල ටිකක් කාර්යබහුලයි.නැතිව බැරි මිනිහෙක් කියන රාජිත දිසානායකගේ වේදිකා නාට්‍යය රට පුරා ප්‍රදර්ශනය වෙනවා. ඒ නාට්‍යයට රාජ්‍ය සම්මාන ලැබුණට පස්සේ නාට්‍යයට වැඩි ඉල්ලුමක් පවතිනවා. ඒ නිසා දර්ශන වාර කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව රාජිත දිසානායකගේම තවත් වේදිකා නාට්‍යයක් වුණු ආදර වස්තුව වේදිකා නාට්‍යයටත් මේ දවස්වල සීමිත දර්ශන වාර කිහිපයකට ප්‍රදර්ශනය වෙනවා. ඒ වේදිකා නාට්‍යයේ අලුත් නිෂ්පාදනයට තුමිදු දොඩන්තැන්නත් රංගනයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම අහස් මාලිගා ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වුණා.

අහස් මාලිගා ටෙලි නාට්‍යයේ රවී ට ආරාධනා ලැබුණම මොකද හිතුණේ?
ඒ ආරාධනාව මට කළේ නාට්‍යය අධ්‍යක්ෂක සහ රචකයායි. ඔවුන්ට ටිකක් වෙනස් විදිහේ චරිතයකින් මාව හඳුන්වලා දෙන්න උවමනාව තිබුණා. ඒ වගේම ජනප්‍රියව තියෙන මේ ටෙලි නාට්‍ය ආකෘතියට වෙනස් වුණු ටෙලි නාට්‍යයක් කරන්නත් ඔවුන්ට උවමනා වුණා. ඇත්තටම ජීවිතේ පළමු වතාවට තමයි මේ මෙගා නාට්‍යය මාලාවකට මම සම්බන්ධ වුෙණ්. ඇත්තටම මෙගා නාට්‍යවල පිටපත්වල තියෙන ලක්ෂණයක් හැටියට මට මෙගා නාට්‍යවලට සම්බන්ධ වෙන්න හිතුෙව් නැහැ. හැබැයි අහස් මාලිගා ඊට වෙනස්. එක එක චරිතවලට ඒ පසුබිමක් සහිතව කරන්න පුළුවන් දේවල් ටිකක් ලියවිලා තිබුණා. ඒ නිසා අහස් මාලිගාවට සම්බන්ධ වුණා.

රවී නපුරු චරිතයක් නේද?
ඔව්... රවී කියන්නේ නපුරු දුෂ්ඨ චරිතයක්. මට පෞද්ගලිකව එකිනෙකට වෙනස් වූ චරිත නිරූපණය කරන්න ආසාවක් තිබුණා. කාලයක් මට හිතුණු දෙයක් තමයි මම එකම විදිහේ චරිතවලට කොටු වුණු කෙනෙක් කියලා. ඒ නිසා වෙනස් වුණු චරිතයක් කරන්න මගේ ආසාව වගේම සමහර අධ්‍යක්ෂකවරු සහ නිෂ්පාදකවරුන්ට මගේ වෙනස පෙන්නනන පුළුවන් වෙච්චි නිර්මාණයක් විදිහට මම මේ චරිතය බාරගත්තා.

කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම ඒක මෙගා නාට්‍යයක් වුණාට ඒ දර්ශන කාලයේදීම ගොඩාක් මහන්සි වෙන්න ඕනේ. අධ්‍යක්ෂකවරයා, කැමරාකරුවා සහ සියල්ලන්ම ඒ රූප රාමු ප්‍රමිතියකට ගන්න ගොඩක් මහන්සි වෙනවා. ඉතින් අද වෙද්දී ඒ චරිතයට මට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.

ශ්‍යාම් කියන්නේ වේදිකාව, පුංචි තිරය, සිනමාව කියන රූප තුනේම සිටින කලාකරැවෙක්නේ.. වැඩිපුරම කැමති, වැඩිපුරම හිත නතර වෙන්නේ කොතනද?
වේදිකාවට තමයි තවමත් මට වැඩිපුර කැමැත්තක් තියෙන්නේ. ඒ වගේම මම සිනමා රංගයටත් කැමතියි. වේදිකාවේ මගේ අංගනය දැකපු බොහෝ දෙනෙකුගේ අදහස වුණේ සිනමාවෙත් මගේ රංගන හැකියාවක් තියෙනවා කියලා. කැමරාවට මගේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා කියලයි බොහෝ දෙනා කිව්වේ. රංගන ශිල්පීන් විදිහට අපිට අභ්‍යාස කරන්න ලැබෙන, අපේ කුසලතාවයන් දියුණු කරගන්න ලැබෙන හොඳ මාධ්‍යයක් විදිහට වේදිකාවට මම ගොඩක් කැමතියි. හිතන විදිහට වේදිකාවෙන් ලැබෙන පෙට්‍රල්වලින් තමයි තාමත් රංගන ශිල්පියා දුවන්නේ කියලා. ඒක නැතිව ගිය දවසට වාහනය දුවන්නේ නැති වෙයිද කියලත් හිතන තරමට වේදිකාවෙන් ලොකු ශක්තියක් ලැබෙනවා.

සිනමාවේ අද දකින බොළඳ පෙම්වතාට වඩා වෙනස් වුණු චරිත ඔස්සේ සිනමාව ස්පර්ශ කරන්න ශ්‍යාම්ට අවස්ථාව ලැබුණා නේද?
ඔව්... මම ලැබෙන හැම නිර්මාණයක්ම බාර ගන්නෙත් නැහැ. අනික මාව රංගන ශිල්පියෙක් විදිහට සිනමාව ඇතුළේ නිර්මාණවලට සම්බන්ධ කරගත්තේම නව යෞවන විය පහුවුණාට පස්සේ. ඒ නිසා ඒ බොළඳ පෙම්වතාගේ චරිතයට මාව තෝරගත්තෙම නැහැ. අවුරුදු පනස් ගණන්වල ඉන්න ඛාන්ලා අදටත් පෙම්වතුන් විදිහට රඟපානවා. වාණිජ චිත්‍රපටයක වුණත් චරිත නිරෑපණය කරන්න තියෙනවානම් මම සම්බන්ධ වෙන්න කැමතියි. ප්‍රේමය නම් චිත්‍රපටයේ වෙනස් විදිහට චරිතයක් කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ ගැන මට සතුටුයි. සරල නිර්මාණවල චරිත කරන්න මම ටිකක් අකමැතියි.

කොහොමද ශ්‍යාම් ඔයාගේ පෞද්ගලික ජීවිතේ...
ඉතාම හොඳින් ඒ ජීවිතෙත් ගෙවෙනවා. මගේ බිරිඳ සඳුනි ජයසේකර. එයා සෞන්දර්ය විෂයට සම්බන්ධ කෙනෙක්. නර්තන උපාධියක් ලබපු කෙනෙක්. අපිට එක පුතෙක් ඉන්නවා. ඒ තුමිත ප්‍රනාන්දු. ඉතින් අපි නොබෝ කාලයකින් ජා-ඇල අපේම නිවසකට පදිංචියට එනවා.

මොනවද ශ්‍යාම් තියෙන බලාපොරොත්තු?
වේදිකා නාට්‍යය කිහිපයකටම ආරාධනා ලැබුණා. හැබැයි තවම ඒවා මම බාර ගත්තේ නැහැ. ආයේ මට රාජිත දිසානායකගේම අලුත් නිර්මාණයකට ආරාධනා ලැබෙනතුරු බලාගෙන ඉන්නවා. ඊට අමතරව චිත්‍රපටයකට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා.

► Text – Jayamali  Pic – Sumudu & Internet

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00